රිය අනතුරුත් බොවෙන රෝගයක්ද?…2022 පළමු පැය 48ට මරණ 14යි

619

මෙවර අවුරුදු උදාවත් එක්ක රිය අනතුරු විශාල වශයෙන් වැඩි වෙලා…

ආසියාවේ මාර්ග රිය අනතුරු බහුල රටවල් අතර අපේ රට ඉදිරියෙන් ම සිටී…

මාර්ග රිය අනතුරු ජාතික ව්‍යසනයක් විදිහට දකින්න ඕනෑ…

දඩ ගහලා, උසාවි දාලා රියැදුරන්ගේ මානසික තත්ත්වය වෙනස් කරන්න බෑ…

අලූත් අවුරුද්ද උදා විය. රිය අනතුරු වැඩි විය. කොරෝනා අමතක කර සවාරි ගිය ඇතැම් තරුණ, තරුණියන් මහ මඟ මිය ගියහ. විනයක් නැති රටක මිනිසුන්ගේ නොහික්මුණු ගති පැවතුම් ලබන්නා වූ 2022 නව වසරට ද එලෙසින්ම රැගෙනවිත් ඇති බව බණ්ඩාරගම, වැල්මිල්ල, නරිකන්ද පාමුල දී පසක් කර තිබිණි. ඒ බණ්ඩාරගම වල්ගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රියැදුරෙක් ලෙස සේවය කළ විසිඑක් හැවිරිදි සංකල්ප සඳරුවන් ආදරණීය පෙම්වතිය වූ 19 හැවිරිදි සුන්දර මූර්ති සුභාෂිණි සිවකුමාරිව ද යතුරුපැදියේ නංවාගෙන මිතුරන් සමග රේස් පැදීමට ගොස් සිදු වූ අනතුරෙන් දෙදෙනා ම එකම තැන මිය යෑමත් සමග ය.

දෙසැම්බර් 31 වැනිදා රාත‍්‍රී 10ට පමණ නිවසින් පිට වූ තරුණ යුවළ තවත් හිතවතුන් දෙදෙනකු සමග පානදුර මුහුදු වෙරළට ගොස් පැය කිහිපයක් එහි සතුටු වී අලූයම් කාලයේ නැවත බණ්ඩාරගම ට පැමිණ තිබිණි. නිවසට යෑමට තම පෙම්වතිය ඇවිටිලි කළ ද සඳරුවන් කමැති වී නැත. අවසානයේ සඳරුවන්ගේ පෙරැත්ත කිරීම මත අකමැත්තෙන් තම පෙම්වතිය සහ හිතවතුන් දෙදෙනා කැස්බෑව ප‍්‍රදේශයේ සංගීත සංදර්ශනයක් නැරඹීට ගොස් තිබිණි. එම සංගීත සංදර්ශනය අවසාන වී තිබූ බැවින් නිවෙස්වලට යෑමට පැමිණි සඳරුවන් යුවළට සහ හිතවතුන්ට බණ්ඩාගම ප‍්‍රදේශයේදී යතුරුපැදිවලින් පැමිණි තවත් හිතවතුන් පිරිසක් රේස් පැදීමට කතා කර තිබිණි. අභියෝගය පිළිගත් සඳරුවන් තම පෙම්වතිය ද රැගෙන තිත්ත කළුවරේ යතුරුපැදි රේස් පැදීමට ගියේය. බණ්ඩාරගම නගරයේ සිට අතුරු මාර්ගයක ටික දුරක් ගිය සඳරුවන්ට රේස් පැදීමට කතා කළ තරුණ පිරිස අතින්, පයින් ආරක්‍ෂිත හිස් වැසුම්වලින් තදබල ලෙස පහර දී ඇති බව ද වාර්තා වේ.

සතුට, ත‍්‍රාසය, භීතිය, කෝපය සිත්වල තුරුලූ කරගත් සඳරුවන් පෙම්වතිය ද නංනවාගෙන අලූයම 1ට පමණ යතුරු පැදියෙන් නිවස බලා ඉගිලී තිබිණි. එහෙත් නරිකන්ද ඔවුන්ට පසුකර යෑමට නොහැකි විය. පැයට කිලෝ මීටර් සීයක පමණ වේගයෙන් ධාවනය කර තිබූ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී, දෙදෙනා ම අඩි කිහිපයක් ඉදිරියට විසි වී අසල තිබූ ගල් බැම්මක වැදී බරපතළ තුවාල ලබා එතැනම මිය ගොස් තිබිණි. එම මාරාන්තික අනතුර සිදු වී ඇති අයුරු දකින සහ අසන ඕනෑම කෙනකු කම්පා වනබව සැබෑ ය. ඒ ? තිස්සේ යතුරුපැදි රේස් පැද වූ හිතුවක්කාර තරුණයා ගැන නොවේ. යතුරුපැදියේ පිටුපස සිට ඔහුගේ බඳ වට වැළඳ ගෙන ගිය අහිංසක තරුණිය ගැන ය. එමෙන් ම හිතුවක්කාර ගමන් ගොස් අකාලයේ මියැදෙන්නේ මෙරට ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබාදීමට සිටින තරුණ, තරුණියන් බව හැෙඟනවිට ය. පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා සහ ජනවාරි මස පළමු වැනිදා දෙදින තුළ සිදු වී ඇති රිය අනතුරුවලින් මියගිය පුද්ගලයන් සහ සදාකාලික ආබාධිතයන් වූ පුද්ගලයන් බහුතරය තරුණ තරුණියන්ය. එමෙන් ම පෙර උත්සව කාලවලට වඩා මෙවර නව අවුරුදු උදාවත් සමග මාර්ග රිය අනතුරුවල වර්ධනයක් පෙන්නුම් කෙරේ. එහෙයින් උත්සව සමයේදී මෙවැනි ඛේදජනක තත්ත්වයක් නිර්මාණය වීමට බලපා ඇති කරුණු කාරණා විමසා බැලීමට මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ආර්. එල්. ඇන්ටන් ද මෙන්ස් මහතා ට අපි කතා කළෙමු. මේ පෙළෙගැසෙන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු කියන කතාව ය.

රිය අනතුරුත් බොවෙන රෝගයක්ද?…2022 පළමු පැය 48ට මරණ 14යි

‘‘සාමාන්‍යයෙන් උත්සව කාලවලදී රිය අනතුරු වැඩි වීමේ ප‍්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් ම උත්සව කාලවල දී සතිඅන්ත නිවාඩු දිනවල දී රිය අනතුරු බහුලව සිදු වෙන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල. ඒත් මෙවර අවුරුදු උදාවත් එක්ක රිය අනතුරු අසාමාන්‍ය ලෙස වැඩිවීමක් පෙන්නුම් කරනවා. ජනවාරි 01, 02, 03 තෙදින තුළ මාර්ග රිය අනතුරු විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ජනවාරි 01, 02 වැනි දින දෙක සති අන්තයට වැටීමත් සමග නිවෙස්වල හිරවෙලා හිටිය මිනිස්සු විශාල වශයෙන් විනෝද ගමන් බිමන් ගියා. විනෝද සාද පැවැත්වුවා. වැඩිපුර මාර්ග රිය අනතුරුවලට මුහුණදීලා තියෙන්නෙත් විනෝද ගමන් ගිය, බීමත්ව යතුරුපැදි, වාහන පැදවූ පුද්ගලයන්…’’

‘‘ජනවාරි 01 වැනි දා උදේ 6.00 සිට 03 වැනි දා උදේ 6.00 වනවිට මාර්ග රිය අනතුරු 73ක්් සිදු වී මාරාන්තික අනතුරු 13න් පුද්ගලයන් 14දෙනකු මිය ගිහින් තියෙනවා. 13දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. 07දෙනකු සුළු තුවාල ලබන තත්ත්වයට පත්වෙලා තියෙනවා. පෙර වර්ෂවල දී වගේ ම මෙවරත් මාර්ග අනතුරු බහුලව වාර්තා වෙලා තියෙන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවලින්. කෑගල්ල පොලිස් බල ප‍්‍රදේශයෙන් එක මරණයක් වාර්තා වෙලා තියෙනවා. මුලතිව් පොලිස් බල ප‍්‍රදේශයෙන් මරණ දෙකක් වාර්තා වෙලා තියෙනවා. වව්නියාව, අම්පාර, පොලොන්නරුව පොලිස් බල ප‍්‍රදේශවලින් මරණ එක බැගින් වාර්තා වෙලා තියෙනවා. ඇඹිලිපිටිය, රත්නපුර ප‍්‍රදේශවලින් මරණ දෙකක් වාර්තා වෙලා තියෙනවා. මීගමුව, නුගේගොඩ, පානදුර, ගාල්ල පොලිස් බල ප‍්‍රදේශවලින් මරණ එක බැගින් වාර්තා වෙලා තියෙනවා. මේ දින කිහිපයේ දී තමයි රිය අනතුරු බහුලව සිදු වුණේ. අපේ රටේ මාර්ග අනතුරු වැඩියෙන්ම වාර්තා වුණු 2017, 2018 වර්ෂ දෙකට සාපේක්‍ෂව ගෙවී ගිය කාලයේදී යම් පාලනයක් තිබුණා. කොරෝනා ව්‍යසනයත් සමග රට වසා තැබුණු නිසා ඒ අවම වීම සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්න බෑ. මාර්ග අනතුරු අවම කිරීමට රටක් වශයෙන් අපිට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒ වගේම මේ තත්ත්වය ජාතික ව්‍යසනයක් විදිහට අපි දකින්න ඕනෑ…’’ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයාට මෙවැනි දැක්මක් තිබීම ගැන අප සතුටු විය යුතුය. එහෙත් රටේ මාර්ග පද්ධතිය තුළ සිදුවන අනතුරු අවම කිරීමට තවමත් ස්ථිර වැඩපිළිවෙළක් නැතිවීම ගැන අපට ඇත්තේ බියකි. මාර්ග අනතුරු හේතුවෙන් මිනිසුන් මැරෙන, අබ්බගාතයන් වෙන රටක සමාජ තත්ත්වය විමසා බැලීමට සභාපති මානසික සෞඛ්‍ය පදනම, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රදාස පෙරේරා මහතාව දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කරගත්තෙමු. මේ මහාචාර්යවරයා කියන කතාව ය.

‘‘පහුගිය උත්සව කාලවල සිදු වෙච්ච මාර්ග රිය අනතුරුවලට සාපේක්‍ෂව මෙවර අවුරුදු උදාවත් එක්ක වෙච්ච රිය අනතුරුවල බිහිසුණු ස්වභාවයක් මම දකිනවා. මාර්ග නීති කඩකිරීම, බීමත්කම, මානසික ආතිතය, මානසික අවපීඩනය සහ උන්මද තත්ත්වයන් පවා සමහර අනතුරුවලට හේතුවෙලා තිබෙනවා. ඒකට ප‍්‍රධාන හේතුව කාලයක් රට තුළ පැවැති සංචරණ සීමා සම්පූර්ණයෙන්ම ඉවත්වී උත්සව සමයත් සමග ලැබුණු නිවාඩුවට ජනතාව උපරිමයෙන් විනෝදවීමට යෑම. මිනිස්සු රට පුරා ඇවිඳින්න පටන් ගත්තා. විනෝද ගමන් ගියා. විශාල වශයෙන් මත්පැන් පානයට යොමු වෙලා තිබුණා. මෙවර උත්සව සමයේදී විශාල මත්පැන් අලෙවියක් සිදු වෙලා තියෙන විත්තියත් දැනගන්න ලැබුණා. මද්‍යසාර ඇබ්බැහිය විනෝදයත් සමග එකට බැඳෙන දෙයක්. මත්පැන් පානයත් සමග සිහි විකල් වී ආවේගශීලීත්වය වැඩි වෙලා මාර්ගය තුළ අනාරක්‍ෂිත රිය ධාවනය වැඩි වෙලා තිබුණා…’’

ඒ වගේ ම විවිධාකාර වූ මානසික ගැටලූ හිතේ ගුලි කරගෙන මානසික ආතතියෙන් රිය ධාවනය කරන පුද්ගලයන් නිසා මාර්ග අනතුරු ඇතිවන ප‍්‍රවණතාවයත් වැඩියි. ඉන්දියාවේ පරීක්‍ෂණ මට්ටමින් ඒ ගැන ඔප්පු කරලා තියෙනවා. මේ වනවිට අපේ රටේ ආර්ථික පීඩනය සහ ජීවත්වීමේ සටන විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ තුළින් නිර්මාණය වී තිබෙන පෝලිම් සංස්කෘතිය තුළ ජනතාව දැඩි මානසික පීඩනයකට පත් වී සිටිනවා. විශේෂයෙන්ම වෘත්තීය රියැදුරන් කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දරු පවුල ජීවත් කරවීමට ඔවුන්ට විශාල අරගලයක් කරන්න වෙලා තියෙනවා. මේ මානසික ආතතියත් සමග වෘත්තීය රියැදුරන් වුණත් වාහනය අතට ගන්නේ දහසක් ප‍්‍රශ්න හිතේ ගුලි කරගෙන. ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහිලා කරන දේ පවා අමතක වෙනවා. එවැනි රියැදුරන් අතින් සිදුවන මාර්ග රිය අනතුරු බහුල වෙලා තියෙනවා. ඒ වගේ ම කල්පනාවෙන්, අවධානයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට වඩා අපේ රටේ ඉන්නේ පළපුරුද්දට රිය ධාවනය කරන පුද්ගලයන්. එවැනි රියැදුරන්ගේ මානසික සෞඛ්‍යය බිඳ වැටීම අනතුරකට අත වැනීමක්. ඒ වගේ ම යෞවනයකු මෝටර් රථයක් අතට ගත්තට පස්සෙ සංයමය අඩු වෙනවා. සෑම මොහොතකම ඔහු උත්සාහ කරන්නේ උපරිම වේගයෙන් වාහනය ධාවනය කරවන්න. මාර්ගයේ ධාවනයවන වෙනත් වාහන, මාර්ග නීති ගැන ඔහුට මතකයක් නෑ…’’

රිය අනතුරුත් බොවෙන රෝගයක්ද?…2022 පළමු පැය 48ට මරණ 14යි

‘‘මේ රටේ මාර්ග පද්ධතිය තුළ මෙවැනි අනාරක්‍ෂිත රිය පැදවීම් කොතෙකුත් වෙනවා. ඒත් සමාජගත වෙන්නේ එවැනි රිය පැදවීමේදී සිදුවන අනතුරු පමණයි. එම අනතුරුවලින් සිදු වූ තුවාල ලැබීම් සහ ජීවිත අහිමිවීම් පමණයි. ඒ වෙනකොට සිදුනොවිය යුතු දේවල් සිදු වී අවසානයි. එම අනතුරුවලින් අපරීක්‍ෂාකාරීව රිය ධාවනය කළ පුද්ගලයන් පමණක් නොව, නිවැරදි සතිමත්භාවයෙන් රිය ධාවනය කරන රියැදුරන් මෙන් ම පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අසරණ මගීන් ද අනතුරට පත් වී බරපතළ තත්ත්වයට පත් වෙනවා. වාහන පදවන එක් රියැදුරෙකුගේ නොසැලකිල්ලෙන් තවත් පුද්ගලයන් කිහිපදෙනකුගේ ජීවිත අහිමි වෙන්න පුළුවන්. මේ අවාසනාවන්ත අනතුරු නිසා මියැදෙන්නේ රටේ මානව සම්පත. විශේෂයෙන් ම මේ රටේ සමාජ සංවර්ධනයට උරදෙන තරුණ ශ‍්‍රම බළකා ය. මේ ජීවිත අහිමි වීම සමාජයට පමණක් නොව, රටේ ආර්ථිකයට ද විශාල බලපෑමක් සිද්ධ කරනවා. අනතුරක් සිදුකරන පුද්ගලයාගේ පමණක් නොව, අනතුරට පත්වන පුද්ගලයන්ගේ පවුල් ද අවුල් වෙලා දැඩි ප‍්‍රපාතයකට ඇද වැටෙනවා. ඔවුන් ජීවිත කාලයම විඳවන තත්ත්වයට පත් වෙනවා. එවැනි පවුල් සම්බන්ධයෙන් මට ඇති උදාහරණ එමට යි. ඒ පවුල්වල විඳවීම අතිශය ඛේදජනකයි. ඒ මිනිසුන්ගේ විඳවීම මාධ්‍ය තුළින් සමාජගත කරන්න ඕනෑ. අනතුරු වැළැක්වීමට ඒක සමාජයට හොඳ පණිවුඩයක් වෙනවා…’’

‘‘ඒ වගේම මහ මඟ රිය ධාවනය කරන රියැදුරෙකුට සතිමත්භාවය අත්‍යවශ්‍යයි. නිවැරදි සිහිය, සෑම මොහොතකම දෑස් පිරිසිදුව තබාගැනීම, සිත පිරිසිදුව තබාගැනීම, ශරීරය නිරවුලව පිහිටුවා ගැනීම අනිවාර්ය යි. ඒත් අද අපේ රටේ රිය ධාවනය කරවන බහුතරයකට මේ ගුණාංග නෑ. ඒ නිසා වෘත්තීය රියැදුරන්ට වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතුයි. නිවැරැදි එළැඹි සිහිය, අවධානය, සතිමත්භාවය සහ රියැදුරු වෘත්තීය ගැන රට පුරා විසිරී සිටින රියැදුරන්ට අවබෝධාත්මක වැඩසටහන් කරන්න ඕනෑ. ඒ තුළින් අපි කවුද? අපි මොකක්ද කරන්නේ. පදවන වාහනය මොකක් ද? ඒ වාහනය ක‍්‍රියාත්මක කරවන්නේ කොහොම ද? කොපමණ වේලාවක් ධාවනය කරනවා ද? රිය ධාවනය කරවන මොහොතේ අපි තුළ තිබෙන මානසිකත්වය මොකක් ද? මේ කරුණු කරණා පදනම් කරගෙන තමන්, අනෙකා සහ සමාජය පිළිබඳ රියැදුරන්ට අවබෝධය ලබා දෙන්න ඕනෑ. බටහිර ලෝකයේ රටවල රියැදුරන්ට නිරන්තරයෙන් මෙවැනි අවබෝධාත්මක වැඩසටහන් කරනවා. ඒ නිසා ඒ රටවල රිය අනතුරු විශාල වශයෙන් අවම කරගෙන තිබෙනවා. දඩ ගහලා, උසාවි දාලා රියැදුරන්ගෙන් මානසික තත්ත්වය වෙනස් කරන්න බෑ. ඒ තුළින් වෙන්නේ ඒ මිනිසුන්ගේ මානසික ආතතිය තව, තවත් වර්ධනය කිරීමක්. මානසික සෞඛ්‍ය දුර්වල කිරීමක්…’’ මහාචාර්යවරයාගේ අදහස් දැක්වීමට අනුව මාධ්‍ය තුළින් සිදු විය යුත්තේ රිය අනතුරු හේතුවෙන් ශරීර කුඩු වී, රුධිරය ගලන මළ සිරුරු රූප පෙට්ටි තුළින් ලොවට ප‍්‍රදර්ශනය කිරීම නොවේ. මෙරට රිය අනතුරු අවම කරගැනීමට රියැදුරු උපදේශනාත්මක වැඩසටහන්වලට වැඩි ඉඩක් ලබාදීම ය.

එමෙන්ම ආසියාවේ මාර්ග රිය අනතුරු බහුල රටවල් අතර අපේ රට ඉදිරියෙන් ම සිටින බව වාර්තා වේ. මෙරට මාර්ග පද්ධතිය තුළ සෑම විනාඩි 15කට වරක් රිය අනතුරක් සිදු වේ. සෑම විනාඩි අනූවකට වරක් බරපතළ රිය අනතුරක් වේ. සෑම පැය තුනකට වරක් වාහනයකට යට වී එක් පුද්ගලයෙක් මිය යයි. සෑම දිනක ම මිනිස්සු හත්, අට දෙනෙක් මහ මඟ මැරෙති. සෑම දිනක ම මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් තුන්, හතරදෙනකු පූර්ණ ආබාධිතයන් බවට පත් වෙති. පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීම මැරෙන තෙක් විඳවීමකි. පවුලේ ඥාතීන් ද විඳවීමකි. එමෙන්ම නිහඬව රට පුරා පැතිරි ගොස් තිබෙන ‘මාර්ග අනතුරු රැල්ල’ ගැන මඳ සිහියෙන් රිය ධාවනය කරන ‘කකුල් දෙකේ බූරුවන්ට’ අල්ප මාත‍්‍රයක හෝ අවබෝධයක් ලබාදිය හැකි නම් මෙරට මාර්ග රිය අනතුරු අවම කරගත හැකි ය.

එහෙත් මෙරට මාර්ග අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් ම ස්ථාපිත රාජ්‍ය ආයතන තිබුණ ද එයින් ඇති ඵලක් නැත. එමෙන් ම මරුවිකල්ලෙන් සුඛෝපභෝගී මෝටර් රථ පදවමින් මහ මඟ මිනිස්සු යට කර මරා දැමූ ‘පිළියන්දල නෝනලා’ ශරීර ඇපමත ගෙදර යන රටේ, ගමේ බණ්ඩාගේ වරදින් මහ මඟ රිය අනතුරක් සිදු වෙන්න ඔහු හිරේ ය. මුදල්, බලය ඉදිරියේ නීතිය සුරුට්ටු වෙන රටක විනය ගැන කතා කර ඵලක් නැත. ආර්ථික අවපාතයෙන් සම්බෝලයක් බවට පත් වී තිබෙන සමාජය තුළ ජීවත්වන මිනිසුන්ගේ විකල් ගති පැවතුම් ගැන ද කතා කර ඵලක් නැත. දැන් මහ මඟ අනතුරු යනු ඇතැම් නිලධාරීන්ට මුදල් ගැරීමට ඇති තවත් එක් තෝතැන්නක් පමණි. මෙවැනි රටක ජීවත්වන අසරණ ජනතාව පව් ය…

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment