රිය අනතුරු මෙච්චර වැඩි ඇයි?

2303

අප රටේ මහමඟ සිදුවන රිය අනතුරු බෙහෙවින් ඉහළ යමින් තිබෙන බව ප‍්‍රකට කාරණයෙකි. ඒ හේතුවෙන් අහිමිවන මිනිස් ජීවිත ගණන සහ අත් පා හෝ වෙනත් ශරීරාංග අහිමිව ආබාධිත තත්ත්වයට පත්වන පිරිසද අති විශාලය. ශාරීරික හානි සිදුව තුවාල ලබා ඔත්පලව ජීවිත කාලය පුරාවට රෝගීව වේදනා විඳින පිරිසද ඊට නොදෙවෙනිය. අපට දිනපතාම පාහේ අසන්නට දකින්නට ලැබෙන රිය අනතුරු බොහොමයක් රිය පදවන රියැදුරන්ගේ වරදින් සිදුවන ඒවා බව අනාවරණය වෙයි. පසුගිය සතියේ පමණක් අසන්නට ලැබුණු රිය අනතුරු කිහිපයක් පිළිබඳව තොරතුරු සාරාංශ වශයෙන් මෙහි සටහන් කිරීමට අදහස් කළේ ආසන්නතම සිදුවීම් නිසාය. එසේ වුවද මෙම පුවත් බොහෝවිට මේ වනවිට පිලූණුවූ ඒවා විය හැක. මක්නිසාද ඉන් පසුවත් තව බොහෝ රිය අනතුරු නිසැකයෙන්ම රටේ සිව්දෙස මහ මඟ සිදුවනු ඇති නිසාවෙනි. එම නිසා රිය අනතුරු යනු දිනෙන් දින වරින්වර අලූත් වෙමින් රටේ කොතැනක හෝ සිදුව අපව තැතිගන්වන භයානක අපරාධ විශේෂයෙකි.

කළුතර දිස්ත‍්‍රික්කයට අයත් මතුගම ඕවිටිගල මහ විදුහලේ සේවය කළ 29 හැවිරිදි ගුරුවරියක ඉකුත් අඟහරුවාදා (15 දා) රිය අනතුරකින් මියගොස් ඇත්තේ ඉතාමත් අවාසනාවන්ත අන්දමටය. ඇය තමන් විසින් පදවාගෙන ගිය යතුරුපැදිය ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී අනතුරට ලක්ව මහා මාර්ගයේ ඇද වැටීමෙන් පසුව ඒ සමඟම කැබ්රථයට පිටුපසින් පැමිණි ලොරි රථයකට ඇයගේ හිස යටවී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ. අනතුර සිදුවීමෙන් පසු කැබ් රථයේ රියැදුරා නොනවත්වා කැබ්රිය ධාවනය කර ඇති බවත් එම නොහික්මුණු රියැදුරා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කරයි. පොලිසියට මෙම තොරතුරු හෝ අනාවරණය කරගැනීමට හැකියාව ලැබී ඇත්තේ අනතුර සිදුවූ ස්ථානය අසල පිහිටි වෙළෙඳසලක සවිකර තිබූ ආරක්‍ෂක කැමරා පද්ධතියක සටහන්වී තිබූ රූප රාමු ඔස්සේ විමර්ශන ආරම්භ කිරීමෙනි.

ගම්පහ, අස්ගිරිය, වල්පොල මාර්ගයේ යතුරුපැදියක් සහ බවුසරයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් 41 හැවිරිදි පියාට සහ ඔහුගේ 06 හැවිරිදි දියණියට මරු කැඳවූ දුක්මුසු සිදුවීම අසන්නට ලැබෙනුයේ ගම්පහ පොලිස් වසමෙනි. තම හය හැවිරිදි දියණියද සමඟ මේ පියා යතුරුපැදියකින් කිරිඳිවිට දෙස සිට උඩුගම්පොල දෙසට යමින් සිටියදී ප‍්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි බවුසරයක ගැටී මෙම අනතුර සිදුවී ඇත. එම අනතුරින් මියගිය පියා සහ දියණිය ගම්පහ උග්ගල්බඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණයවී තිබුණි.

රිය අනතුරු මෙච්චර වැඩි ඇයි?

මේ අතර පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා පුත්තලම කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේදී දෙදෙනකු ගමන් ගනිමින් සිටි යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙකට ගැටී යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනාම මරුමුවට පත්වී ඇත. එම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවූ පුද්ගලයන් දෙදෙනා මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනකු බවත් කිසියම් අවශ්‍යතාවයක් සඳහා පුත්තලමේ පිහිටි කාර්යාලය වෙත ගොස් ආපසු එමින් සිටියදී එම අනතුරට මුහුණපා තිබේ. එම මාරක රිය අනතුරට හේතුව වෑන් රථයේ රියැදුරුට නින්දයෑම බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

දඹුල්ල මාතලේ ප‍්‍රධාන මාර්ගයේ කපුවත්ත ප‍්‍රදේශයේදී යතුරුපැදියක මෝටර් ගේඩරයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් 37 හැවිරිදි දෙදරු පියකු නොකල්හි දිවිගමන නිමාකළ දුක්මුසු සිදුවීමද අසන්නට ලැබුණේ ඉකුත් සතියේය.

දඹුල්ල කපුවත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටි හෙතෙම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භටයකු ලෙස සේවය කරමින් සිටි අතර මෙම අනතුර සිදුව ඇත්තේ ඔහුගේ නිවෙසට ආසන්නයේදී බව කියති. උදේ 9.45ට පමණ දඹුල්ල නගරය දෙස සිට යතුරුපැදියෙන් සිය නිවෙසට යමින් සිටියදී එය සිදුව ඇත්තේ ඉතාමත් අවාසනාවන්ත අන්දමටය. එනම් දඹුල්ල මාතලේ මාර්ගය පුළුල් කිරීමේ මාර්ග සංවර්ධන කටයුතු නිසා මේ දිනවල දඹුල්ල, කපුවත්ත ප‍්‍රදේශයේ වාහන ධාවනය සිදුකරනු ලබන්නේ මාර්ගයේ එක් පසෙකින් පමණි. මාර්ග කම්කරුවකු විසින් සංඥා පුවරුවක් ඔසවා දඹුල්ල දෙසින් පැමිණි වාහන නැවැත්වූ අවස්ථාවේ මෙම ගුවන් හමුදා භටයාද සිය යතුරුපැදිය නවත්වා ඇත. මෙවිට මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරන පෞද්ගලික ඉදිකිරීම් සමාගමට අයත් මෝටර්
ගේඩරයක් වේගයෙන් පැමිණ ඉදිරියෙන් තිබූ යතුරුපැදිය සහ එහි පැදිකරුද යටකරගෙන ගොස් තිබේ. එම අනතුරට හේතුව මෝටර් ගේඩරයේ ක‍්‍රියාකරුට එහි වේගය පාලනය කරගැනීමට නොහැකිවීම බව දඹුල්ල මහ රෝහලේ පැවැති මරණ පරීක්‍ෂණයේදී අනාවරණයවී තිබුණි. මෙම සිදුවීමේ අනෙක් දුක්මසු කාරණය නම් මියගිය ගුවන් හමුදා භටයාගේ මෘත දේහයට අවසන් බුහුමන් දක්වන්නට ඔහුගේ ඥාතීන් හිතමිතුරන් බොහෝ දෙනකුට අවස්ථාව නොලැබීමයි. එයට හේතුව මෘත දේහය දඹුල්ල මහ රෝහලේදී පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක්කළ අවස්ථාවේ කොවිඞ් ආසාදිතයකු බව තහවුරුවීමෙන් පසුව නිරෝධායන නීති යටතේ අවසන් කටයුතු සිදු කිරීමය.

අප ඉහතින් සඳහන් කළ මතුගම ප‍්‍රදේශයේ පාසල් ගුරුවරියට මරු කැඳැවූ අනතුර වැනි මාරක රිය අනතුරක් මීට පෙර පොලොන්නරුව අරලගංවිල බෝගස්වැව ප‍්‍රදේශයේදී සිදුව තිබුණි. අධ්‍යාපන උපකාරක පන්තියකට සහභාගිවී ආපසු සිය නිවෙස් බලා පා ගමනින් යමින් සිටි පාසල් ළමුන් 12 දෙනකු මහා මාර්ගයේ අධික වේගයෙන් පැමිණි කැබ් රථයෙක ගැටී අනතුරට ලක්වීමෙන් එක් සිසුවකු එම ස්ථානයේදී මියගොස් අනෙක් ළමුන් 11දෙනා අත්, පා කැඞී බිඳී බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත වීමයි. අධික වේගයෙන් කැබ් රථය පදවාගෙන ආ එම මදාවි රියැදුරා අනතුර සිදුවීමෙන් පසු කැබ් රථයද ඒ ස්ථානයේ දමා පලාගොස් තිබුණි. අනතුර සිදුවූ ආකාරය ඒ ස්ථානය අසල පිහිටි වෙළෙඳසලක සවිකර තිබූ ආරක්‍ෂක කැමරා පද්ධතියේ සටහන්වී තිබූ රූප රාමුවලින් පැහැදිලිව නිරීක්‍ෂණය කර ගැනීමට පොලිසියට හැකිවූ අතර ඒ ඔස්සේ විමර්ශන ආරම්භකර අපරාධකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබුණි.

රිය අනතුරු සිදුවීමට විශේෂයෙන්ම බලපා ඇත්තේ නොසැලකිල්ල බව බොහෝවිට අනාවරණය වන්නකි. මත්පැන් පානය කර රිය පැදවීමද එම නොසැලකිල්ලටම අයත්වෙයි. නොසැලකිලිමත්ව රිය පදවන රියැදුරා මහමඟ ගමන් ගන්නා අනෙක් රථ වාහන හෝ මිනිස් ජීවිත තුට්ටුවකට හෝ සලකන්නකු නොවේ. බීමත්ව රිය පදවන එවැනි මදාවි රියැදුරන් අන් අයගේ ජීවිත තබා තමන්ගේ ජීවිතය ගැන පවා නොසළකන බව දකින ඕනෑම අයෙකුට එම කුලප්පු ධාවන විලාශයෙන් මනාව පෙනීයයි. බීමතින් රිය පැදැවීම, අධික වේගයෙන් රිය පැදැවීම මරුවා කැඳවන බවට අවවාදාත්මක පුවරු මහා මාර්ග අයිනේ සවිකර තිබෙනු කොතෙකුත් දකින්නට ඇතත් අපේ රටේ රියැදුරන් ඒවා පිළිබඳව අවධානයක් යොමුකරන බවක් හෝ සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත. වාහනයක් පදවාගෙන යන හික්මීමක් නැති රියැදුරකු යනු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුටත් වඩා භයානක යැයි හැඳින්වීම වැරදි නැත.

රියැදුරන් බොහෝ අවස්ථාවල නීති ගරුක නොවීම රිය අනතුරු බහුලවීමට එක් හේතුවකි. මාර්ග නීති කඩකරමින් මාර්ග සංඥා නොතකා රිය පදවන රියැදුරන් අප බොහෝවිට දැක ඇත්තෙමු. ඇතැම්විට ඒවා සරල කාරණා ලෙස ඔවුන් සලකනවා විය හැක. අපේ රටේ දිනපතා සිදුවන මාරක රිය අනතුරු අතර යතුරුපැදි අනතුරට ලක්වීමෙන් සිදුවන ඒවාද ඉදිරියෙනි. යතුරුපැදිකරුවන්ගේ අධික වේගය, බීමතින් පැදවීම, ආරක්‍ෂක හිස් වැසුම් නොමැතිව යෑම ආදිය එම අනතුරුවලට මූලික වශයෙන් බලපා තිබෙන බව කිව හැක. ආරක්‍ෂක හිස් වැසුම් පිළිබඳ කාරණයේදී බොහෝ විට වැඩිහිටියන් හිස් වැසුම් පැළැඳ සිටියද දරුවන් අනාරක්‍ෂිතව රැගෙන යනු අප බොහෝවිට දැක ඇත්තෙමු. ආරක්‍ෂක හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය නාගරික සමාජයට වඩා ගම්බද ප‍්‍රදේශවලදී බහුලව දකින්නට තිබේ. පාසල්වලට දරුවන් ඇරලවීමට හෝ ආපසු කැඳවාගෙන ඒමට යන දෙමාපියන් වැඩිහිටියන් බොහෝ දෙනකු ආරක්‍ෂාකාරී බව නොසලකන බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

මේ අතර මහමඟ දිවෙන ඇතැම් වාහනවල තිබෙන දෝෂ තත්ත්වයන්ද රිය අනතුර සිදුවීමට බොහෝ සෙයින් බලපාන බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්‍ෂකවරුන් පෙන්වාදෙති. මගී ප‍්‍රවාහන බස් රථ, පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන්, බස් ආදියෙහි පවතින අඩුපාඩු පෙන්වා දෙමින් ඒවා නිවැරදි කර ගැනීම සඳහා රියැදුරන්ට උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මගිින් ක‍්‍රියාත්මක කරනු ලබන්නේ එම නිසා යැයි මෝටර් රථ පරීක්‍ෂකවරු කියති. එමෙන්ම අලූතින් රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේදී එය වසර එකහමාරක පරිවාස කාලයකට යටත් කළයුතු බවට මෝටර් රථ ප‍්‍රවාහන පනතේ සඳහන්ව ඇතැත් එය රටේ ක‍්‍රියාත්මක නොවන්නක් බවයි ඔවුන් පවසන්නේ. එම කාල සීමාව තුළ රියැදුරා ආධුනික රියැදුරකු බව අන් අයට දැනගැනීම සඳහා කොළ පැහැති එල් බෝඞ් එකක් වාහනයේ සවිකර රිය පැදවීම කළයුතුය. එම පරිවාස කාලය අවසන් වනතෙක් ඒ රියැදුරන්ට අධිවේගී මාර්ගවල රිය පැදැවීමටද අවසර නොලැබේ. රියැදුරු බලපත‍්‍ර සම්බන්ධයෙන් එවැනි නීති පොතේ ඇතැත් එය ක‍්‍රියාත්මක භාවයට නොපැමිණීම ශික්‍ෂණයෙන් යුතු රියැදුරු පරපුරක් මේ රටේ බිහිකිරීමට ඇති බවත් බාධකයෙකි.

නීති ගරුක රියැදුරකු යනු ජන සමාජයට ඉතා වටිනා සම්පතක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහු තමන්ට මෙන්ම අනුන්ටද ආදරය කරන්නෙකි. රිය පැදැවීමේදී අනුගමනය කළයුතු නීති රීති, ආචාර ධර්ම පිළිපදිමින් මහ මඟ ගමනාගමනයෙහි යෙදීම තුළ තමන්ගේ මෙන්ම අන් අයගේත් ආරක්‍ෂාව නිතැතින්ම තහවුරු වන බව සහතිකය. එහෙත් එවැනි රියැදුරන් අප වෙසෙන සමාජයේ සිටිනුයේ ඉතාම අතළොස්සක් පමණක් යැයි කීම නිවැරදිය. නීති රකින රියැදුරන්ට වඩා නීති කඩන රියැදුරන්ගේ ගණන අසීමාන්තිකව ඉහළ යෑම නිසා රටේ රිය අනතුරු බහුලව සිදුවන බව පැහැදිලිව පෙනීයයි. කුමන ආකාරයකින් හෝ රටක මානව සම්පත අකාලයේ රටට අහිමිවීම යනු මිල කළ නොහැකි පාඩුවකි. රිය අනතුරු හේතුවෙන් ආබාධ සහිත තත්ත්වයට හෝ ජීවිත කාලය පුරාවට රෝගීව සිටීමට සිදුවීමෙන් දුෂ්කරතා විඳින පිරිස ඉහළ අගයක් ගැනීම යනු රටේ ආර්ථිකයට තදින් දැනෙන පාඩුවක් සිදුකරයි. එහෙයින් රටක් සංවර්ධනය කරා යන ගමනේදී මහමඟ සිදුවන රිය අනතුරුද විශාල බාධාවක් බව කිවයුතුය. එහෙයින් එම හානි අවමකර ගැනීමට හැකි ආකාරයෙන් දායකවීම ප‍්‍රධාන වශයෙන්ම රියැදුරන්ගේ පුරවැසි වගකීමකි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment