රිය අනතුරු රැසකට බලපාන පෙනීමේ දුර්වලතා

178

මේ වසරේ මේ දක්වා මාරක රිය අනතුරු 1,202 ක් වාර්තාවී ඇතැයි පොලිස් රථ වාහන අංශය සඳහන් කරයි. මෙලෙස රට තුළ රිය අනතුරු වැඩිවීමට බලපා ඇති හේතු පිළිබඳව අවධානය යොමු කළ විට ප්‍රධානම හේතුව වී ඇත්තේ අධික වේගයෙන් නොසැලකිලිමත්ව රිය පැදවීමයි. දෙවැනි හේතුව වී ඇත්තේ රියැදුරන්ගේ අක්ෂි දෝෂයන් ය.

අධික වේගයෙන් රිය පැදවීමට වඩා අනතුරුදායකවී ඇත්තේ අක්ෂි දෝෂය මාර්ගයේ ඉදිරිපස පැහැදිලිව නොපනේ නම් රිය අනතුරක් වීමට ඇති අවස්ථාව වැඩිය.

වර්තමානයේ අප රටේ රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා යොමුවුණ පුද්ගලයන්ගේ ඇස් පරීක්‍ෂාවට ලක් කරන්නේ අකුරු පුවරුව උපයෝගි කරගෙනය. එහි ඇති අකුරු කියවීමට අති හැකියාව පදනම් කරගෙනය.

අකුරු පුවරුව මගින් පුද්ගලයකගේ ඇසේ නිවැරදි දෘෂ්ටිය තක්සේරු කළ නොහැකිය. නිවැරිදි දෘෂ්ටිය ලෙස සලකන්නේ කලු සුදු පුවරුව මගින් ඇසේ පෙනීම පරීක්‍ෂාව (form vision) වර්ණ අන්ධතාවය පරීක්‍ෂා කිරීම colour vision) සහ පත්තර පෙනීම පරීක්‍ෂාව (field of vision) මගින් අසේ ක්‍රියාකාරීත්වය පරීක්‍ෂා කිරීමෙනි.

කලු සුදු පුවරු පරීක්‍ෂාව

මෙමඟින් සිදු කරන්නේ ඇසේ සුද, දුර දෘෂ්ටිකත්වය, අවිදුර දෘෂ්ටිකත්වය, විෂම දෘෂ්ටිකත්වය ආදිය පරීක්‍ෂා කිරීමය.

යම් පුද්ගලයකුට දියවැඩියාව රෝගය ඇත්නම් ඇසේ රුධිර නාල තුවාලවී තිබේ නම් හෝ ස්නායු දුර්වලතාවයක් ඇත්නම් මෙම අකුරු පුවරුව නිසි ලෙස නොපෙනේ.

වර්ණාන්ධතාව

රතු, කොළ, කහ යන ප්‍රධාන වර්ණ තුන වෙන්කර හඳුනාගැනීමට ඇසට හැකියාව ඇත්දැයි කියා මෙමඟින් පරීක්‍ෂා කරයි. යම් පුද්ගලයකුගේ ජානමය ගැටලුවක්, තැලසීමියාව, මැලේරියාව, වැනි රෝග සඳහා ගනු ලබන ඖෂධ, ලිංගික උත්තේජනය සඳහා ගනු ලබන ඖෂධ නිසා හෝ ඇසේ තුවාලයක් ඉදිමීමක් වැනි හේතුවක් නිසා ඇසට නිසි ලෙස මෙම ප්‍රධාන වර්ණ තුන හඳුනාගත නොහැකිව දුර්වලතා මතු වේ.

පරතෙර පෙනීම

අපගේ ඇසට, බෙල්ල හැරවීමකින් තොරව අංශක 180 ක කෝණයක් දක්වා ප්‍රදේශයක් ඇස කරකවා බැලීමට හැකියාව ඇත. නමුත් ස්නායු දුර්වලතාවයක් ග්ලෝකොමා තත්ත්වය නිසා, ස්නායු දුර්වලතා නිසා මෙම අංශක 180 ක කෝණයක් දක්වා ප්‍රදේශය පෙනීම දුර්වල වේ.

මෙලෙස පරතර පෙනීම දුර්වලවීමේදී එය එකවර සිදු නොවේ. මුලින්ම දෙපස ඇතිදේ පෙනීමේ දුර්වලතා මතු වේ. එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අවසානයේදි අංශක 90 ක කෝණයක හෙවත් ඉදිරිපස ප්‍රදේශය පමණක් පෙනීම සීමා වේ.

වර්තමානයේ රථවාහන රියැදුරන් සම්බන්ධව සිදුකර ඇති පරීක්‍ෂාවනට අනුව සියයට පනහකට අධික පිරිසකට වර්ණාන්ධතාවය සහ පරතර පෙනීම දුර්වලතා ඇති බව හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙම රියැදුරන්ට එකවර මාර්ග සංඥා පුවරු වරණ හඳුනාගත නොහැකි වේ. එනම් එහි ඇති රතු, කහ, සහ කොළ වර්ණ ක්‍ෂණිකව හඳුනා ගැනීමට ඇති හැකියාව දුර්වලය.

එසේම පරතර පෙනිම අඩු නිසා වාහනය දෙපසින් ගමන් කරන වාහන නිවැරදිව දැක ගැනීමට නොහැකිය.

වර්ණ සංඥාවලට අනුගත නොවී ඇතැම් රියැදුරන් රිය ධාවනය කරන විට මේ මනුස්සයාට ඇස් පේන්නේ නැති දැයි කියා බොහෝ විට විමසන්නේ එබැවිනි.

මගේ වම්පැත්තෙන් ධාවනයව වූ වාහනය හරියට දැක්කේ නැහැ කියා ඇතැම් රිය අනතුරු හමුවේ රියැදුරන් පවසන්නේ මෙවැනි පරතර පෙනීමේ දුර්වලතා ඇතිවිටදීය.

ත්‍රිරෝද රථ රියැදුරන් සම්බන්ධව දැනට සිදුකර ඇති අක්ෂි පරීක්‍ෂාවනට අනුව ඊට සහභාගි කරගත් කොළඹ දිස්ත්‍රික්කයේ රියැදුරන්ගෙන් සියයට 75 ක පමණ පිරිසකට වර්ණාන්ධතාවය සහ පරතර පෙනීමේ දුර්වලතා ඇති බව හඳුනාගෙන ඇත. එසේම බහුතරයකට දියවැඩියාව, ස්නායු දුර්වලතා සහ ඇසේ සුද මතුව ඇති බව අනාවරණය වී තිබේ.

රියැදුරු දෑතට දෙවි පිහිටයි, වාහනයේ ගමන් කරනා මගීන් රැකගන්න, ඔබේ දෑතට සවිය ලැබේවා කියා ඇතැම් වාහන වල සඳහන් කර ඇත.

එය ආශිර්වාදයක් කර ගැනීමට නම් රියැදුරන්ගේ ඇස් පෙනීම ද හොඳින් පැවතිය යුතුය. එනිසා වර්තමානයේ සිදුවන රිය අනතුරු ගණන වළක්වා ගැනීමට රථ වාහන පොලිසිය යෙදීම, මාර්ග සංඥා නීති ක්‍රියාත්මක කිරීම, දඩ මුදල් වැඩි කිරීම පමණක් ප්‍රමාණවත් නැති බව මේ අනුව වටහාගත යුතුය. මේ සියල්ලට පෙර රියැදුරන්ගේ ඇස් නිසි ලෙස පරීක්‍ෂාවට ලක් කළ යුතුය.

විශේෂ ස්තුතිය – අයිකෙයාර් දෘෂ්ටි විශේෂඥ පුහුණු ආයතනයේ අධ්‍යක්‍ෂ
දෘෂ්ටි විශේෂඥ නරේෂ් ප්‍රදාන් මහතාට

සකස්කළේ
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment