රිෂාඞ්ගේ ඔළුව කොමෝඞ් එකේ එබීම ගැන අපගේ විරෝධය

1069

මෙතෙක් කතාව
 
ගෙවීමට ඇති විදේශ ණය වාරිකය සහ පොලියෙන් ඩොලර් බිලියන සියයක් ගෙවාගත් ආණ්ඩුව මේ මොහොතේදී ඉදිරි ණය වාරිකයට මුදල් සොයාගන්නා තෙක් නිදහසේ හුස්ම ගනිමින් සිටී. එහෙත් අප අවට කරදර බොහෝය. රටේ ආර්ථික අර්බුදය තවමත් එසේම පවතී. කොවිඞ් 19 ඉතා වේගයෙන් තවදුරටත් පැතිර යයි. දැනට කිරීමට ඉතිරිව ඇත්තේ ලෙඬේ හැදෙන එකාට හැදෙන්නට ඉඩ හැර ඉස්පිරිතාලේ යන එකාට එසේ යන්නට ඉඩ දී ලෙඩා මළොත් වහාම ආදාහනය කර පණ පිටින් සිටින අය දිගටම වැඩ කිරීමය. සමහරවිට අපගේ මේ ප‍්‍රවේශය ඉතාම දුෂ්ට විය හැකිය. එහෙත් ඉන්දියාව වැඩ කරන්නේත් මේ කියන පිළිවෙළටයි. ලංකාව හරි පුදුම රටකි. මේ රටේ ජනයා තුළ ඇති සියලූ කරදර අමතක වීමට සලස්වමින් පසුගිය දිනක කිලෝ පන්සීයක ආරුනූල් පොකුරක් කහවත්තෙන් පහළ විය. මැණික් සංස්ථාව කියන්නේ මේ ගල ඩොලර් මිලියන 200 ක් වටින බවයි. අපගේ දැනුමට අනුව මේ ගල මිය ගිය ගලකි. ඒ අනුව එය රුපියල් මිලියනයක්වත් නොවටී. එහෙත් භූගෝල විද්‍යාත්මක වටිනාකමක් ඇති මෙවැනි දේවල් එකතු කරන ස්මිත්සෝනියන් ආයතනය වැනි ඇමරිකන් කෞතුකාගාරයක් කවර හෝ මිලක් වැයකොට මේ ගල මිලදී ගැනීමට ඉඩ ඇත. අවුරුදු කෝටි හය හත පැරණි පොසිල බවට පත් ඩයිනොසෝර් බිත්තර කැබලි ඩොලර් මිලියන තිහ හතළිහ ගෙවා මිලට ගන්නා ඔවුහු ඒවා ස්වකීය කෞතුකාගාර තුළ ප‍්‍රදර්ශනය කරති. කෙසේ හෝ වේවා මිතුරු මිතුරියනි මැණික් ගලේ කතාව නිසා රිෂාඞ් බදියුදීන්ගේ කෲර බිරිඳ සහ දූෂක මස්සිනාලා පිළිබඳ පුවත අමතක වීමට ඉඩ නොදිය යුතුය.
 
අද එතැන් සිට
 
රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ ශ්‍යාබ්දීන් අයේෂා ය. හතළිස් හත් හැවිරිදි මේ කාන්තාවට පිරිමි සහෝදරයන් එකකුට වැඩි ගණනක් සිටින බව දැනගන්නට තිබේ. දැනට මෙයින් එකකු වන මොහොමඞ් හනීෆ් ගැන කතාවක් කියමු. 2007 දී දැරියක දූෂණය කළ මේ තිරිසනා අවුරුදු පහළොවකට හිරේ ගියේය. එහෙත් එයින් අවුරුදු නවයකට පසු ඔහු හදිසියේම නිදහස් විය. ඒ කාලයේ පැවතුනේ යහපාලන ආණ්ඩුවයි. රිෂාඞ් ඒ ආණ්ඩුවේ ඇමැති කෙනෙකි. අවුරුදු පහළොවක සිර දඬුවමක් විඳිමින් සිටි රිෂාඞ්ගේ මස්සිනා හදිසියේම නිදහස් වුණේ කෙසේද? පසුගියදා රිෂාඞ්ගේ ගෙදර කුඩා අඳුරු කාමරයක් තුළදී පුළුස්සා හෝ පිලිස්සී මිය ගිය දහසය හැවිරිදි ඉශාලිනී ජූඞ් ද විටින් විට දූෂණය විය. ඒ කාලයේදී රිෂාඞ්ගේ බිරිඳගේ සහෝදරයකු ඒ ගෙදර සිටියේය. මේ සහෝදරයා දැනටමත් පොලිස් අත්අඩංගුවේ සිටින අතර ඔහුගෙන් හෝ රිෂාඞ්ගේ බිරිඳගෙන් හෝ බිරිඳගේ පියාගෙන් හෝ ගෙදර ඩ‍්‍රයිවර්ගෙන් හෝ නිසි කට උත්තර ගැනීමට බොරැල්ල පොලිසිය කවදාවත් උනන්දු වූයේ නැත. අපරාධකරුවන්ගෙන් කට උත්තර ලබා ගැනීමේ තාක්ෂණික ක‍්‍රම පොලිසිය සතුව ඇත. සමහරවිට පොලිස්කාරයන් අත තිබෙන බයිසිකල් චේන්, දෙකේ දෙකේ පොලූ, ගිනියම් යකඩ කූරු යනාදිය දකින සැණින් සාපරාධී ගැහැනු සහ සාපරාධී පිරිමි ඇත්ත කතා කරන්නට පටන් ගනිති. එහෙත් ඈලි මෑලි ලෙස ලෑලි කෑල්ලක් මෙන් සිටි බොරැල්ලේ පොලිසියට සාපරාධී සැකකරුවන්ගෙන් කටඋත්තර ලබා ගැනීමට තබා ඔවුන් අත්අඩංගුවට ගැනීමටවත් මුලදී බැරි විය. බදියුදීන්ලාගේ කතන්දරයේ ගැටලූ සහගත තැන් බොහොමයක් තිබේ. ඉශාලිනී ජූඞ් දූෂණය කර පුළුස්සා මරා දමා ඇති බව ආරංචි වූ සැනින් රිමාන්ඞ් හිරගෙදර සිටි රිෂාඞ් බදියුදීන්ට පපුවේ අමාරුවක් සැදින. ඔහු කොළඹ මහා රෝහලට ගෙන යන ලදුව මර්චන්ට්ස් වෝර්ඞ් එකේ මුදල් ගෙවා ප‍්‍රතිකාර කරන කාමරයක් ඉල්ලා සිටියේය. මෙසේ මුදල් ගෙවන කාමරයකට සිරකරුවකු දැමූ විට ඔහුගේ සුව දුක් බැලීම සඳහා එම කාමරයට රිංගීමට පවුලේ අයට හැකිය. මර්චන්ට්ස් වෝර්ඞ් කාමරයක් ලැබුණේ නම් රිෂාඞ් බැලීමට ඔහුගේ ස්ත‍්‍රී දූෂක මස්සිනාලගේ සහෝදරිය වූ ශ්‍යාබ්දීන් අයේෂා ස්ථිර වශයෙන්ම පැමිණෙනවා ඇත. එවිට කාමරය තුළට වී ඊළඟ පියවර පිළිබඳව කුමන්ත‍්‍රණය කිරීමට මේ දෙදෙනාට හැකි වන්නේය. එහෙත් රිෂාඞ්ට මර්චන්ට්ස් වෝර්ඞ් එක දීමට උසාවිය කැමති වූයේ නැත. එසේම රිෂාඞ්ට හැදුනු ඉලව් පපුවේ අමාරුවකුත් නැත. ඔහු කළේ පපුවේ අමාරුවට දෙන බෙහෙත් සඟවා තබාගෙන ඒවා වැසිකිළියේ ජනේලයෙන් එළියට විසි කිරීමය.
 
රිෂාඞ්ගේ ගෙදර සේවය කළ මෙහෙකාර තරුණියන් දෙදෙනකු මීට පෙර මියගොස් ඇත. ඉන් එක් දැරියක් බම්බලපිටියේදී දුම්රියට පැන්නාය. අනෙක් දැරිය හදිසියේම රෝගීව මිය ගියාය. ගෙදර සිටින මෙහෙකාරිය වැසිකිළිය නිසි ලෙස සෝදා නැත්නම් ඇගේ කෙහෙවල්ලෙන් අල්ලා මුහුණ කොමෝඞ් එකේ එබීමට රිෂාඞ්ගේ බිරිඳ පුරුදුව සිටි බව සාක්ෂිවලින් ඔප්පු වී තිබේ. ඉඳුල් පිඟන් නිසි ලෙස නොසේදී නම් සේවිකාවන්ගේ මුහුණට ඉඳුල් වතුර ගැසීමට රිෂාඞ්ගේ බිරිඳ පුරුදුව සිටි බව කියනු ලැබේ. මේ කතන්දර ඇත්ත නම් අප රිෂාඞ් බදියුදීන්ට අනුකම්පා කළ යුතුය. මේ ගෘහය තුළදී වරදක් කර බිරිඳට හසුවන සෑම අවස්ථාවකදීම රිෂාඞ්ගේ ඔළුව කොමෝඞ් එකේ ඔබන්නට ඇති. ඉඳුල් වතුර ගහන්නටත් ඇති. ඒ අනුව අපට හැෙඟන පරිදි මාස දෙකක් තිස්සේ රිමාන්ඞ් හිරගෙදර සිටිමින් රිෂාඞ් ගතකොට ඇත්තේ ඉතා සහනදායි කාලයකි. අප මේ කතු වැකි ගොනු කරන්නේ දැනට අපට ලැබී ඇති තොරතුරු මත පදනම්ව ය. සාක්ෂි මදකමින් හෝ නීතියේ ඇති හිල් නිසා හෝ කිසියම් දවසක බදියුදීන් පවුල මේ නඩුවලින් නිදහස් වුණොත් ඊළඟට කොමෝඞ් තුළ මුහුණ ඔබාගන්නට සිදුවන්නේ මේ සියල්ල රටට හෙළි කළ අපටය.

advertistmentadvertistment
advertistmentadvertistment