රිෂාඩ්ට නඩු දෙකෙන්ම ඇප

146

මෙහෙකාර සේවයේ යොදවා සිටි ජූඞ් කුමාර් ඉෂාලිනි දැරිය කෲරත්වයට පත්කිරීම හා වධ හිංසාවට ලක්කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ පස්වෙනි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (14) නියෝග කළාය.

සැකකරු සම්බන්ධයෙන් මෙම නඩුකරයට අදාළව සිදුකළ විමර්ශන මේ වනවිට අවසන් කර ඇති බවත් ඔහු ඇතුළු සෙසු සැකකරුවන්ට නුදුරේදීම සුදුසු අධිකරණයක් හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා අධිකරණයට පැවසීය. ඒ අනුව අධිකරණයේ අභිමතය පරිදි සැකකරු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන්නේ නම් තම දෙපාර්තමේන්තුව විරුද්ධත්වයක් නොදක්වන බව ද රජයේ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට කීවේය.

විමර්ශන අවසන් වී ඇති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ සිය සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එන්. එම්. සහීඞ් සහ නීතිඥ ප‍්‍රසාද් සිල්වා මහත්වරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව විදේශ ගතවීම වළක්වන නියෝගයක් පනවා සැකකරු ඇප මත මුදා හැරීමට අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

මේ අතර සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ බෝම්බකරු සමඟ සමීප සබඳතා පවත්වා එකී ත‍්‍රස්තවාදී ක‍්‍රියා සඳහා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රිෂාඞ් බදුර්දීන් මහතා දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (14) නියෝග කළේය.

සෑම සති දෙකකට වරක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කොන්දේසියක් පනවා රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

එම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ වනවිට බොහෝ දුරට අවසන් වී ඇති බැවින් විත්තියේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණයේ අභිමතය පරිදි කටයුතු කිරීම පිළිබඳව තම දෙපාර්තමේන්තුව විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment