රිෂාඩ් බන්ධනාගාරයේදී චන්ඩිපාට් දැම්මේ මොන හයියෙන්ද?

383

ඉෂාලිනීගේ මරණය ගැන තවත් තොරතුරු රැසක්

වැලිකඩ බන්ධනාගාරය තුළට වී මේ දිනවල තුම්මුල්ලේ පද්මෙගේ භූමිකාවට පණ දෙමින් සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාෂාඞ් බදියුදීන්ව ඔහුගේ සුපිරි නිවසේදී පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඞ් නම් වූ අහිංසක දැරියගේ මරණයට සම්බන්ධ නඩුවේ පස්වැනි විත්තිකරු ලෙස නම් කිරීමට අධිකරණය ඉකුත් සතියේදී කටයුතු කළේය. ඒ අනුව බදියුදීන් යනු මේ වන විට පාස්කු ප‍්‍රහාරය, ඉෂාලිනී මරණය සහ බන්ධනාගාර වෛද්‍යවරයකුට ප‍්‍රසිද්ධියේ මරණ තර්ජන කිරීම ආදී ලෙසින් බරපතළ සිදුවීම් තුනක චූදිතයකු ලෙස අපරාධ ලෝකයේ හැට්ටි‍්‍රක් එකක් තබා ඇති මෙරට ව්‍යවස්ථාදායකය නියෝජනය කරන එකම පොර බවටද පත්ව අවසන්ය. එක් අතකින් එය වාර්තාවකි.

අතීතයේ දිනක ප‍්‍රභාකරන්ට බියේ සිලි මල්ලක ඇඳුම් දෙකතුනක් දමාගෙන යාචකයකු පරිද්දෙන් කොළඹට පැමිණි බදියුදීන් පසුකාලීනව මෙරට දේශපාලනයට පිවිස මෙවන් වාර්තා කිහිපයක්ම තැබූ බව රහසක් නොවන්නකි. එහෙත් බදියුදීන්ලා එසේ වාර්තා පිට වාර්තා තබද්දී මේ රට තුළ කි‍්‍රයාත්මක මුඩුම සහ තුප්පහි දේශපාලනය හමුවේ හැමදාමත් සිදුවූයේ බෙල්ලට තොණ්ඩුව වෙනුවට මල්මාලා දැමීමය. රට කරවූ බලලෝභී දේශපාලනඥයන් ඡුන්ද ලක්‍ෂ හත අටක් හමුවේ හැමදාමත් බදියුදීන්ලා ඉදිරියේ කිසිදු හිරිකිතයක් නොමැතිව දෙකට නැමීම එයට හේතුව විය. එසේ නොවුණේ නම් රිෂාඞ් බදියුදීන් අද පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවකු නොවනවා පමණක් නොව සහරාන් හෂීම්ලා එවන් ප‍්‍රහාරයක් එල්ල නොකරන්නටද ඉඩ තිබිණි. එහෙත් රටේ සහ ජාතියේ අවාසනාවට දිගින් දිගටම සිදුවූයේ සිදු නොවිය යුතු දේමය. ඉෂාලිනී ජූඞ් දැරියගේ මරණය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක මූලික නඩු විභාගයට අනුව චූදිතයකු බවට පත් කෙරුණු රිෂාඞ් බදියුදීන්ට එහිදී එල්ල වී තිබෙන චෝදනාව වන්නේ ඔහුගේ නිවසේදී එම දැරිය කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම සහ එයට ආධාර අනුබල දීම යන්නය. කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු පෙන්වා දෙමින් කළ ඉල්ලීමකට අනුව රිෂාඞ් බදියුදීන් එසේ චූදිතයකු බවට පත් විය. මෙහිදී දිලීප පීරිස් මහතා අධිකරණය ඉදිරියේ ඉතාම වැදගත් ප‍්‍රකාශයක්ද කරනු ලැබීය. එම ප‍්‍රකශය වූයේ බදියුදීන්ගේ නිවසේදී ඉෂාලිනී දැරිය පිළිස්සී මිය යෑම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන ඉතාම අසීරු උඩුගං බලා පිහිනීමක් බවට පත්ව තිබෙන බවය. සැබවින්ම මෙම විමර්ශනය එසේ උඩුගං බලා පිහිනීමක් බවට පත්ව තිබෙන්නේ ඇයි? ඉෂාලිනීගේ සිරුරට ගිනි ඇවිලෙන්නේ කොළඹ හතේ පිහිටි බදියුදීන්ගේ නිවසේදීය. දැඩි ලෙස පිළිස්සුම් තුවාල සහිතව ප‍්‍රතිකාර සඳහා ඇයව රැගෙන යන්නේ කොළඹ ජාතික රෝහලටය. එහිදී ඇය පරීක්‍ෂා කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඇගෙන් ප‍්‍රකාශයක් පවා ලබා ගැනීමට නොහැකි වන්නේය. මෙම සිද්ධියේදී බදියුදීන්ගේ නිවස බොරැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ පැවති නිසා මූලික විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවේ බොරැල්ල පොලිසිය මගිනි. එසේ නම් බොරැල්ල පොලිසිය මේ විමර්ශනය ආරම්භ කළ යුතුව තිබුණේ කොතැනකින්ද?

එය සිදු විය යුතුව තිබුණේ බදියුදීන්ගේ නිවසෙනි. තුවාලකාරියගෙන් ප‍්‍රකාශයක් ලබාගත නොහැකි තත්ත්වයක් පැවතියේ නම් එය පසුවට තබා පොලිසිය මුලින්ම කළ යුතුව තිබුණේ බදියුදීන්ගේ නිවසේදී ඉෂාලිනීගේ සිරුරට ගිනි ඇවිළුනු ස්ථානය පරීක්‍ෂා කර බලා සැකකටයුතු යමක් සිදුව තිබේදැයි නිරීක්‍ෂණය කිරීමය. එහිදී නිවැසියන්ගෙන් නිවැරදි ලෙස ප‍්‍රකාශ සටහන් කර ගැනීමද පොලිසිය අනිවාර්යයෙන් සිදු කළ යුතුය. නිවසේ සීසීටීවී කැමරා ඇත්නම් එම දර්ශන ආදී වශයෙන් එකතු කළ හැකි සාක්‍ෂි තිබේ නම් ඒ පිළිබඳවද සොයා බැලිය යුතුය. පැහැදිලිවම කිවහොත් මෙවන් සිදුවීමකදී පොලිසිය කි‍්‍රයාත්මක වියයුතු වන්නේ යම් අපරාධයක් සිදුවූයේද යන සැකයට මුල්තැන දෙමිනි. එය මේ රටේ ජනතාවගේ මුදලින් පඩි ලබන පොලිසියේ ප‍්‍රබල වගකීමකි. එහෙත් ඉෂාලිනී සිරුරට ගිනි ඇවිලී දරුණු පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කළ අවස්ථාවේ බොරැල්ල පොලිසිය එකී වගකීම ඉටු කළේද? නැත. බොරැල්ල පොලිසිය මෙහිදී එකී වගකීම කිසිසේත්ම ඉටු කළේ නැත. බදියුදීන්ගේ රැස් ඉදිරියේ නිල ඇඳුමේ දෙවුර රැදි ධර්මචක‍්‍ර ගලවා නීතියේ දෙවගනගේ මුහුණට ඉන් දමා ගැසූ බොරැල්ල පොලිසිය කළේ තමන් විසින්ම භූමිතෙල් දමාගෙන ලයිටරයෙන් ගිනි තබා ගත්තා යැයි ඉෂාලිනී කී බවට කාලකණ්නි දොස්තරයකු රෝහල් ලේඛනයක තැබූ සටහනක් ගෙන පොලිස් පොතේ ලියා ෆයිල් එක වසා දැමීමය.

බදියුදීන්ගේ නිවසේ නිවැසියන් ධන බලය, දේශපාලන බලය හා පොලිස් නිලධාරීන් යොදාගෙන විමර්ශන නොමග යැවීමේ කි‍්‍රයාදාමයක් සිදු කර ඇති බවට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉකුත්දා අධිකරණය ඉදිරියේදී පැවසීමෙන්ද අනාවරණය වන්නේ බොරැල්ල පොලිසියේ නිරුවතය. බොරැල්ල පොලිසිය සිතුවේ ඉෂාලිනී මිය නොයනු ඇතැයි යන්නය. අවසානයේ ප‍්‍රතිකාර ලබා සුව වන ඇගේ මව ඇතුළු පවුලට බදියුදීන්ගේ පවුලේ අය ලබා දෙන මුදලක් හමුවේ සියල්ල අවසන් වනු ඇතැයි බොරැල්ල පොලිසිය කල්පනා කළේය. එකී පජාත සිතුවිල්ල නිසාම සිදුවිය යුතු බොහෝ දේ ඉෂාලිනී වෙනුවෙන් ඉටු නොකරන්නට බොරැල්ල පොලිසිය කටයුතු කර නැතිද? මේ මොහොත වන විට ඉෂාලිනීගේ මරණය හමුවේ මතුවී තිබෙන බරපතළ ප‍්‍රශ්නයක් වන්නේ ඇය සිරුරට ගිනි තබා ගත්තේද නැතහොත් කිසිවකු විසින් ගිනි තැබුවේද යන්නය. මේ ගැටලූවට විසඳුම් සෙවීමේදී ඉෂාලිනී සිරුරට ගිනි ඇවිළුනු මොහොතේ හැඳ සිටි ඇඳුම ප‍්‍රබල සාක්‍ෂි සපයන්නකි. එහෙත් මේ දක්වා ඒ පිළිබඳ අවධානය යොමු කර නිසි විමර්ශනයක් පවත්වා එය නඩු භාණ්ඩයක් කිරීමට පොලිසිය කටයුතු කර තිබේද? එසේම යමෙකු ඉෂාලිනීගේ සිරුරට ගිනි තැබුවේ නම් යම් පොරබැදීමක් සහ ගිනි ඇවිලීමෙන් පසුව දැගලීමක් සිදුවිය හැකිය. එහිදී ප‍්‍රබල සාක්‍ෂි බවට පත්විය හැකි යම් ආගන්තුක ද්‍රව්‍යයන් ඇගේ නියපොතු තුළ තිබුණා විය හැකිය. එහෙත් ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් ඉෂාලිනී මියගොස් සිරුර භූමදානය කරන තැන දක්වාම සිදුවේද? ඇතැම් විට ඉෂාලිනීගේ මළ සිරුර සම්බන්ධයෙන් විද්වත් මණ්ඩලයක් සිදු කළ දෙවැනි මරණ පරීක්‍ෂණයේදී මේ ගැන අවධානය යොමු වූවාද විය හැකිය.

එහෙත් ඒ වන විට ඇගේ නියපොතු අතරේ යම් සාක්‍ෂියක් සැගවී තිබුණා නම් ඒවා විනාශ වී තිබෙන්නටද ඇත. ඉෂාලිනීගේ සිරුරට ගිනි ඇවිළී බරපතළ තුවාල ලබා ඇයව රෝහල්ගත කළ මොහොතේ මෙවන් දේ පිළිබඳ අවධානය යොමු කෙරුණේ නම් අද දවසේ උභතෝකෝටිකයක් බවට පත්ව තිබෙන ඉෂාලිනීට වුණේ මොකක්ද යන ගැටලූවට විසඳුමක් ලැබීමට ඉඩ තිබිණි. එහෙත් මෙවන් ගැටලූවලට විසඳුම් සොයා ගැනීම පහසු කරනු වෙනුවට බොරැල්ල පොලිසිය කරනු ලැබුවේ අද සැකයට බඳුන් වී තිබෙන මුල් පශ්චාත් මරණ පරීක්‍ෂණයේ වාර්තාවේ සටහන් පොලිස් පොතේ ලිවීම බව දිලීප පීරිස් මහතා අධිකරණය ඉදිරියේදී පැවසීය. එසේම ඉෂාලිනී දැරිය දිගු කලක සිට ලිංගික ප‍්‍රවේශයන්වලට ලක්වී ඇති බව එහි සඳහන්ව තිබෙන බවක් හා ඒ පිළිබඳ විමර්ශන කරන ලෙස බොරැල්ල පොලිසියට දැනුම් දී ඇති බවක්ද එහිදී කියැවුණේය. සැකයට බඳුන් වූ එම මරණ පරීක්‍ෂණ වාර්තාවේ දැරිය මියයෑමට පෙර දූෂණයට ලක්වී නොමැති බවටද සඳහන්ව තිබී ඇත. ඉෂාලිනීගේ සිරුර සම්බන්ධයෙන් සිදු කළ දෙවැනි මරණ පරීක්‍ෂණයේ වාර්තාව අනුව ද ඇය දිගු කලක සිට ලිංගික ප‍්‍රවේශයන්ට ලක්ව ඇති බව සඳහන්ව තිබෙන බවද කී දිලීප පීරිස් මහතා දැනට බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් ඉෂාලිනීගේ මරණයේ සැබෑ තොරතුරු වසන් කිරීමට දිගින් දිගටම උත්සාහ දරා ඇති බවට පැහැදිලි සාක්‍ෂි පවතින නිසා ඇගේ මරණය මිනිස් ඝාතනයක් විය හැකි බවට ප‍්‍රබල සැකයක් මතුවී තිබෙන බවද සඳහන් කළේය. මෙහිදී බදියුදීන්ගේ බිරිඳ ආබ්දීන් අයේෂා ඇතුළු පවුලේ අයගේ තිරිසන්කම හොදින්ම පෙන්වා දෙන ආකාරයේ ප‍්‍රකාශයක්ද දිලීප පීරිස් මහතා විසින් අධිකරණයට පෙන්වා දුන්නේය. ඉෂාලිනීගේ සිරුරට ගිනි ඇවිලීමෙන් පසු නිවෙසේ හදිසියකට යන්නට එන්නට ති‍්‍රරෝද රථයක්වත් නොමැති පට්ට දුප්පතුන් වූ බදියුදීන්ගේ පවුලේ අය කරනු ලැබුවේ 1990 ගිලන් රථයකට කතා කිරීමය. මේ අවස්ථාවේ ගිලන් රථයේ සිටි හෙදි නිලධාරිනිය විසින් දැරියගේ සිරුර සිසිල්ව තබා ගන්නා ලෙසට දැනුම් දීමක් කර ඇතත් ගිලන් රථය නිවසට එනතුරුත් නිවැසියන් එම උපදෙස් අනුව කටයුතු නොකළ බවට සාක්‍ෂි ඉදිරිපත් වී තිබෙන බව දිලීප පීරිස් මහතා පැවසීය. ඇත්ත එය නම් බදියුදීන්ගේ පවුලේ අයගේ කෲරත්වය රටට කියන්නට මීට වඩා තවත් සාධක අවශ්‍ය නැත. මන්ද එය ඒ තරමටම තිරිසන් කි‍්‍රයාවක් වන නිසාය. ඉෂාලිනීට වෙනත් ස්ථානයකදී ගෑස් යොදා පුළුස්සා පසුව බදියුදීන්ගේ නිවසට රැගෙන එන්නට ඇතැයි යනුවෙන් බලවත් සැකයක් මතුවී තිබෙන බවද අධිකරණය ඉදිරියේ සඳහන් වුණ තවත් කතාවක් විය. එහෙත් මේ සියල්ල අද පොලිසිය කියන කතා සහ අපි අසන කතා බවට පත්ව ඇත. දෙවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණයකින්ද අනතුරුව යළිත් ඩයගම සුසාන භූමියේදී මිහිදන් කෙරුණු පුංචි ඉෂාලිනීව දූෂණය කළ එකා කවුදැයි අදටත් දැන ගැනීමට නැත. එසේම ඇයට ගිනි තැබුවාද යන කරුණ ගැටලූවක් බවට පත්ව ඇත. ඒ අතින් බලන කල මේ රටේ පොලිසිය මොනතරම් බංකොලොත් තැනක්ද? සැකයට බඳුන් වී ඇති මුල් මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් කියන පරිදි ඇත්තටම බදියුදීන්ගේ නිවසේදී ඇය දූෂණය වූයේ නැතිද?

අද පොලිසිය කියන කතා අනුව මීට පෙරදීද මේ නිවසේ සේවය කළ තරුණියන් දෙදෙනකුම බදියුදීන්ගේ මස්සිනාගේ කාම මෙවලම් ලෙස දූෂණයට ලක්වුණේ නම් ඉෂාලිනීට එවන් ඉරණමක් අත් නොවූ බව පිළිගත හැකි කතාවක් වන්නේ නැත. ඉෂාලිනීට ගිනි ඇවිළුනු බව දැනගත් වහාම බදියුදීන්ගේ නිවසට ගොස් ඇගේ ඥාතීන්ට මුදල් ලබා දෙන බවට පොරොන්දු වී විමර්ශන අඩාල කිරීමට මැදිහත් වුණු පොලිස් මූලස්ථානයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට එරෙහිව මේ දක්වා කිසිදු පියවරක් ගැනීමට පොලිසිය අසමත්ව ඇති බව දිලීප පීරිස් මහතා ඉෂාලිනීගේ නඩු විභාගය හමුවේ ඉකුත් දා අධිකරණයට පෙන්වා දුන් තවත් වැදගත් කරුණක් විය. එහිදී වැඩිදුරටත් ඔහු සඳහන් කරනු ලැබුවේ පොලිසියට ලැජ්ජාවක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි තමන් සිතන බවය. මෙහිදී නම් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට පෙන්වා දෙන්නට අපට කරුණක් ඇත. එය වන්නේ පැහැදිලිවම කිවහොත් ශී‍්‍ර ලංකා පොලිසියට ලැජ්ජාවක් නැතැයි යන්නය. ලැජ්ජාවක් ගෑවිලාවත් තිබුණේ නම් අහිංසක දැරියකගේ අභිරහස් මරණයක් ඉදිරියේ පොලිසිය මෙසේ නපුංශක හැසිරීමක යෙදෙන්නේද නැත.

සැබවින්ම පොලිස් මූලස්ථානයේ කොරෝනා මර්දන ඒකකය භාරව කටයුතු කරනු ලබන එදා බදියුදීන්ගේ නිවසේදී ඉෂාලිනීගේ සොයුරා අතට රුපියල් පනස්දහසක් දෙන්නට සැරසුණු මේ පොලිස් නාම්බා තවමත් රාජකාරියේ යෙදෙන්නේ කෙසේද? ඒ පිළිබඳ රටට පිළිතුරු දිය යුතු වන්නේ මීට ඉහතදී පාස්කු ප‍්‍රහාරය සම්න්ධයෙන් රීෂාඞ් බදියුදීන්ට චෝදනා එල්ල කරන්නට සාක්‍ෂි නැතැයි කියමින් ලිපියක් නිකුත් කළ වත්මන් පොලිස්පතිවරයාමය. අප එසේ කියන්නේ ඇක්ටින් අයිජීපී චන්දන වික‍්‍රමරත්න කාලයේ සාක්‍ෂි නැතැයි කියා නිදහස් කෙරුණු බදියුදීන් අයිජීපී චන්දන වික‍්‍රමරත්න යටතේ දැන් පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවකු ලෙස බන්ධනාගාරගතව සිටින නිසාය. ඉෂාලිනීගේ සොහොයුරාට මුදල් දී වැඬේ ගොඩදාන්නට ගිය මේ නින්දිත පොලිස්කාරයා තවමත් පොලිසියේ රාජකාරි කරනුයේ පොලිසියේ ඇති දණ්ඩ නීති සංග‍්‍රහයේ පිටු ගැලවී තිබෙන නිසාදැයි යන්න බරපතළ ගැටලූවකි. එයටද පිළිතුරු දියයුතු වන්නේ පොලිස්පතිය. ඉෂාලිනීගේ මරණය හමුවේ නින්දිත ලෙස හැසිරුණු පොලිස්කාරයකු අරබයා පොලිසියේ කි‍්‍රයාත්මක වීම මෙසේ නම් ඉෂාලිනීට සාධාරණයක් ඉටුවනු ඇතැයි සිතීමද විහිළුවකි. දිලීප පීරිස් මහතා අධිකරණයට කී පරිදි ඉෂාලිනී පිළිබඳ විමර්ශන හමුවේ පොලිසිය අද කරනුයේ උඩුගං බලා පිහිනීමක් නොව රටම මුලා කරමින් නිල ඇඳුම හැඳ සපත්තුත් දාගෙන පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමක් බව නම් රටටම දැනෙමින් තිබෙන්නකි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment