රිෂාඩ් මියගිය දැරිය කිසිදා දැක නැතිලු – නිවසේ සේවය කරන බව දන්නෙත් නැතිලු

260

* තැරැව්කරුට මස්සිනාට ඇප – රිෂාඩ්, බිරිඳ හා මාමණ්ඩිය යළි රිමාන්ඩ් –

* මාධ්‍යවේදී වෙස්ගත් ලේකම් ගැන විමර්ශන

දහසය හැවිරිදි මෙහෙකාර දැරියක් කෲරත්වයට පත්කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන්, ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියා ලබන 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (06 දා) නියෝග කළාය.

එම නඩුවේ පළමු වන සැකකරු වන එම දැරිය රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා රැුගෙනවිත් භාරදී තිබූ තැරැව්කරු හා හතරවන සැකකාර රිෂාඞ් බදුර්දීන්ගේ බිරි`දගේ සොහොයුරා ඇප මත මුදාහැරීමටද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

සෑම මසකම අවසන් ඉරිදා දින ඩයගම පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කරමින් පළමුවන සැකකාර පොන්නයියා බණ්ඩාරම් හෙවත් සංකර් නමැති තැරව්කරු රුපියල් ලක්‍ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හතර වන සැකකාර කිදර් මොහොමඞ් සියාබ්දීන් ඉස්මත් නමැති සැකකරු මුදාහැරීමට නියෝග කළාය.

සෑම මසකම අවසන් ඉරිදා මැදවච්චිය පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසටද එම සැකකරුට කොන්දේසියක් පනවනු ලැබූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඔහුට විදේශගතවීම වළක්වන නියෝගයක්ද නිකුත් කළාය.

මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටිමින් පෙර නඩු දිනයේදී අධිකරණයට පැමිණ පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කළ කරුණු දැක්වීම් පටිගත කළේ යැයි කියන රිෂාඞ් බදුර්දීන් මහතාගේ ලේකම්වරයා බව කියන පර්සානා හම්ඞ් නමැත්තා සම්බ්නධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරනා ලෙසටද එහිදී නියෝග කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම පුද්ගලයා සන්තකයේ තිබූ මාධ්‍ය හැදුනුම්පත නිවැරදි එකක් දැයි විමර්ශනය කරනා ලෙසට නියෝග කළාය. මෙය සීමායනිතව අධිකරණ කටයුතු සිදු කරන ස්ථානයක් වන බැවින් පිළිගත් මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන්ට හැර අවශේෂ වෙබ් අඩවි මාධ්‍යවේදීන් විවෘත අධිකරණය හමුවට පැමිණීම වළක්වන ලෙසටද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

පසුගිය 23 වැනිදා මෙහෙකාර දැරිය කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් වූ නඩුව කැඳවූ අවස්ථාවේදී රිෂාඞ් බදුර්දීන්ගේ ඥාතීන් හා නීතිඥවරුන් සම`ග අධිකරණයට පැමිණ තිබූ එම පුද්ගලයා විසින් තමා අධිකරණය හමුවේ දක්වන කරුණු පටිගත කර අධිකරණයෙන් පිටතට ගොස් වෙනස් පාර්ශ්වයක් වෙත එකී පටිගත කළ හ`ඩපට යවනා බවට තොරතුරු ලැබී ඇති බවත් වහාම ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී අධිකරණය කළ නියෝගය අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඒ වන විටත් අධිකරණ ශාලාවේ මාධ්‍යවේදීන් අසල අසුන්ගෙන සිටි ඔහු ඉදිරියට කැඳවා ඔහු කුමන මාධ්‍ය ආයතනයේ සේවය කරන්නේ දැයි විමසා සිටියහ.

රිෂාඞ් බදුර්දීන් මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කරන තමා යූ. ටී. වී. නමැති මාධ්‍ය ආයතනයේ විද්්‍යුත් මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කරන බවත් පවසමින් ඔහු එකී මාධ්‍ය ආයතනය නිකුත් කළ හැදුනුම්පතක් ඉදිරිපත් කළේය.

එකී හැදුනුම්පතට කිසිදු මාධ්‍ය බලධාරියකු විසින් අත්සන් තබා සහතික කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනා ලෙසත් පිළිගත් මාධ්‍ය ආයතන විසින් අධිකරණය හමුවේ තමන් කරනා කරුණු දැක්වීම් උපුටා දක්වමින් ප‍්‍රවෘත්ති පළකිරීම සම්බන්ධයෙන් තමා කිසිදු විරෝධතාවයක් නොදක්වන බවත් දිලීප පීරිස් මහතා කියා සිටියේය.

එම පුද්ගලයා තමාගේ ලේකම්වරයා ලෙස කටයුතු කරනා බව විත්ති කූඩුවේ සිටි සැකකාර රිෂාඞ් බදුර්දීන් මහතා එහිදී අධිකරණය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කළේය.

ඉන් පසුව ඔහු ඉදිරිපත් කළ මාධ්‍ය හැදුනුම්පත විමර්ශන නිලධාරීන් භාරයට ගත් අතර ඔහුගේ ප‍්‍රකාශයක් සටහන් කර විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.

ජූඞ් කුමාර් ඉෂාලිනී නමැති මෙහෙකාර දැරිය පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළ දිනයේ ඇගේ ඥාතීන් රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසට පැමිණි අවස්ථාවේදී රිෂාඞ් බදුර්දීන් මහතාගේ පවුලේ සාමාජිකයන් විසින් රිෂාඞ් බදුර්දීන්ගේ ආරක්‍ෂාව භාරව පෙර කටයුතු කළ ප‍්‍රධාන පොලිස් නිලධාරියකු හා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින එක්තරා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු එම නිවසට කැ`දවා තිබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. දැරිය ස්වාභාවික හේතුවක් නිසා ගිනි ගැනීමකට ලක්වූයේ නම් එලෙස හිතවත් පොලිස් නිලධාරීන් හා නීතිඥවරයකු කඩිමුඩියේ කැඳවීම ප‍්‍රශ්න සහගත බවත් එහිදී අධිකරණය හමුවේදී පැවැසූ දිලීප පීරිස් මහතා තමුන් එදින එම නිවසට ගිය බව එම නීතිඥවරයා හෝ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි කිසිදු නීතිඥවරයකු මේ දක්වා අනාවරණය කර නොමැති බවත් එහි සිටි සැකකරුවන්ගේ රියැදුරකු ලබාදුන් ප‍්‍රකාශයක් මගින් ඒ බව අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් අධිකරණයට පෙන්වා දුන්නේය. එම නීතිඥවරයා මේ වනවිටත් සැකකරුවන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනී සිටින නමුත් වෘත්තීය සදාචාරය සුරකමින් තමන් ඔහුගේ නම අධිකරණය හමුවේ ප‍්‍රකාශ නොකරන බවද පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මියගිය එම දැරිය සිය නිවසේ සේවය කළ බව තමා නොදන්නා බව හා ඇයව තමා කිසිදිනෙක දැක නොමැති බවට සැකකාර රිෂාඞ් බදුර්දීන් පොලිසියටම ප‍්‍රකාශයක් ලබාදී ඇතැයිද ප‍්‍රකාශ කළේය.

එකී දැරිය මියගිය සමයේ හෝ ඊට ආසන්න කාලයේ හතරවන සැකකරුවන සිය බිරි`දගේ සොහොයුරා සිය නිවසට නොපැමිණි බව හා ඒ සමයේ එහි සිටියේ තමන්ගේ ආරක්‍ෂාවට අනියුක්ත කර සිටි ආරක්‍ෂක නිලධාරීන් පමණක් බවට රිෂාඞ් බදුර්දීන් ප‍්‍රකාශයක් ලබාදී ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා 4 වන සැකකරු ද ඒ බව සනාථ කරමින් ප‍්‍රකාශයක් ලබාදී ඇති බව කීය.

එසේ නමුත් හතරවන සැකකරු ඒ සමයේ කොළඹ ගත කළ බව ඔහු භාවිත කළ ජංගම දුරකථනයේ කුලූණු වාර්තා අනුව තහවුරු වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය. ඔහු භාවිත කළ ජංගම දුරකථනය නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි අයුරින් විනාශ කර ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා රිෂාඞ් බදුර්දීන් මෙන්ම ඔහුගේ මස්සිනා ඇතුළු පවුලේ සෙසු සැකකරුවනුත් දුරකථන විනාශ කර දැමීම සම්බන්ධයෙන් නම් දැරූ අය බවද පෙන්වා දුන්නේය.

මෙවන් වාතාවරණයක් මත රිෂාඞ් බදුර්දීන් නිවසේ සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරා අක‍්‍රීයවීම සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවත් විමර්ශනවලට බාධා කිරීම සඳහා එකී සී. සී. ටී. වී. දර්ශන මකා දමා හෝ විකෘති කර ඇති බවට පැමිණිල්ලට බලවත් සැකයක් මතුවී ඇති බවත් අධිකරණයට පෙන්වා දුන්නේය. බන්ධනාගාරය තුළදීම වෛද්‍යවරයකුට මරණීය තර්ජන එල්ල කර බැණවැදී ඇති සැකකාර රිෂාඞ් බදුර්දීන් බන්ධනාගාරය තුළ සිට දුරකථන මාර්ගයෙන් නඩුවට අදාළ පාර්ශ්වවලට හා විමර්ශනවලට යම් යම් ආකාරයේ බලපෑම් කර ඇති බවට මේ වන විට ඉදිරිපත්වී ඇති නිල නොවන වාර්තා අනුව ඒත්තු වන්නේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

බන්ධනාගාරය තුළ සිටින අයකුව තබා අවට මාර්ගයේ ගමන් කරන්නකුට හෝ දුරකථන ඇමතුමක් ලබාගත නොහැකි වන සේ සුරක්‍ෂණ සංඥා අක‍්‍රීය කර තිබියදීත් එලෙස බන්ධනාගාරය තුළ සිටම ඇමතුම් ලබා ගැනීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කළ යුතුව ඇතැයිද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය කළ යුතු බවත් විමර්ශන අවසන් වනතෙක් එකී සැකකරු ඇතුළු සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් පැමිණිල්ල තරයේ විරුද්ධ වන බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රිෂාඞ් බදුර්දීන් බන්ධනාගාරය තුළදී ජංගම දුරකථන භාවිතා කිරීම ඇතුළු ක‍්‍රියා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර කරුණු වාර්තා කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඔහු රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්කර ඇත්තේ අධිකරණ නියෝග අනුව වන බැවින් එමගින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා මේ වන විට වැටුප් රහිත නිවාඩු ලබා විදේශගත වී ඇති රන්දික හේෂාන් ප‍්‍රනාන්දු නමැති ජාතික රෝහලේ සේවය කළ වෛද්‍යවරයා වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ හෝ ප‍්‍රශ්නාවලියක් යොමු කර විමර්ශන සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමට අපේක්‍ෂා කරන බවද අධිකරණයට පෙන්වා දුන්නේය.

එම නඩුවේ තෙවන සැකකාරියට පෙර දිනක ඇප ඉල්ලා ඇත්තේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් හා සත්‍ය වසන් කරමින් වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment