රිළවුන් කරන හානිය ගැන කිතුල් කර්මාන්තකරුවෝ ඇමැති අමරවීරට දුක කියති

221

රිළවුන් විසින් සිදු කරන හානිය නිසා මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇතැයි කිතුල් කර්මාන්තකරුවන් විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යවරයා ඇහැලියගොඩ හා රත්නපුර රත්ගඟ ප්‍රදේශවල කිතුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු සොයා බැලීමට ඉකුත් 12 දා ගම්මාන රැසක කළ සංචාරය අතරතුර කිතුල් කර්මාන්තකරවෝ මෙම පැමිණිලි සිදු කළහ. ඒ සෑම ගමකම කිතුල් කර්මාන්තකරුවෝ කිතුල් කර්මාන්තයට රිළවුන්ගෙන් එල්ල වී ඇති බලපෑම සම්බන්ධව අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළහ.

තමන් මහත් අසීරුතා මධ්‍යයේ කිතුල් මල් කපා පැණි ලබා ගැනීමට කරන කටයුතු රිළවුන් විසින් මොහොතකින් විනාශ කරන බවත්, ඇතැම් විට දවසට එක පැණි බෝතලයක් හෝ ලබා ගැනීමට නොහැකි වන පරිදි කපන ලද කිතුල් මල් කඩා දමා ඊට එල්ලා ඇති රා මුට්ටි විනාශ කරන බවත්, රිළවුන් දහස් ගණනක් මේ වනවිට එම ප්‍රදේශවල සැරසරමින් මෙම විනාශය කරන බවත් එම කර්මාන්තකරුවෝ පැවසූහ. එමනිසා කෙසේ හෝ මෙම විනාශය අවසන් කර දෙන්නැයි ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

රිළවුන්ගෙන් සිදුවන හානිය සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ චීනයේ පෞද්ගලික සමාගමක් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි. නමුත් ඇතැම් පරිසර සංවිධාන දැක්වූ විරෝධය නිසා තාවකාලිකව එම වැඩ පිළිවෙළ නැවතී ඇතත්, පවතින නෛතික කටයුතු විසඳා ගැනීමෙන් අනතුරුව එම වැඩපිළිවෙළ යළි අරඹන බවත් ඇමැතිවරයා පැවසීය.
ඇහැලියගොඩ – උපාලි ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment