රිළා කේස් එක – (රිළා අපනයනය පිළිබඳ සිද්ධි අධ්‍යයනයකි)

1153

ප්‍රශ්නවලින් අඩුවක් නැති අපේ රටේ මේ දිනවල මතුව තිබෙන වැදගත්ම ප්‍රශ්නය වූකලී රිළා ප්‍රශ්නයයි. චීනයේ සතුන් වතුවල කූඩු කිරීම පිණිසත් සර්කස් කණ්ඩායම්වල පුරුදු කිරීම පිණිසත් රිළවුන් ලක්ෂයක් අවශ්‍ය යැයි එරට රජය ලංකාවට දන්වා තිබේලු. එවැනි නිල ඉල්ලීමක් අපි කිසිදු චීන වෙබ් අඩවියක නොදැක්කෙමු. ඊට අමතරව ඇමරිකාවද රිළවුන් ලක්ෂයක් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ. මීට සම්බන්ධ නිල නිවේදනයක්ද අප දැක නැත. එබැවින් රිළවුන් සම්බන්ධයෙන් දැනට පවතින චීන සහ ඇමරිකන් ඉල්ලුම පිළිබඳ කතාව අප දකින්නේ හරියාකාරව තහවුරු නොකෙරුනු කට කතාවක් ලෙසිනි. එබැවින් අද අප මේ කතුවැකිය ලියන්නේ සම්පූර්ණ කටකතාවක් ලෙසය.

ඉංග්‍රීසි භාෂාවෙන් වඳුරා හඳුන්වනු ලබන්නේ monkey යනුවෙනි. රිළවාට කියන විශේෂ නම ඉංග්‍රීසි භාෂාවේ නැත. එහෙත් සත්ව විද්‍යාවෙහි එන පරිදි රිළවා හඳුන්වනු ලබන්නේ toque macaque යනුවෙනි. රිළවා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවලට අවේණික සතෙකි. ලංකාවේ දෙකෝටි විසි ලක්ෂයක මනුෂ්‍ය ජනගහනයක් සිටින අතර තිස් ලක්ෂයක රිළා ප්‍රජාවක්ද වෙසෙති. රිළවුන් පිළිබඳ කරන ලද සත්ව විද්‍යාත්මක අධ්‍යනයකට අනුව උන්ගේ ආහාරයෙන් 14% ක් විවිධ මල් වර්ග වලින් සමන්විත වේ. තවත් 77% ක් පලතුරුය. 5% ක් බිම් මල්ය. ඉතිරි 4% අතට හසුවෙන කුඩා කෘමි සත්තුය. රිළවාගේ ආහාරයෙන් 77%ක් පලතුරුවලින් සමන්විත වන්නේ නම් මේ සතා අපේ ගොවි ජනතාවට කොපමණ වාතයක් වී ඇත්ද යන්න පැහැදිලි කරගැනීමට හැකිය. ලංකාවේ ගොවිතැනට හානිකරන ප්‍රධාන තිරිසන් සතුන් අතර ප්‍රධානතම සතා රිළවාය. ඒ අතර මොනරුද, වල් ඌරෝද, දඬු ලේන්නුද මේ රටේ වගාවන්ට බරපතළ ලෙස හානි සිදු කරති. මේ අතර රිළවුන්, වඳුරන් සහ දඬු ලේනුන් පලවාහැරීමට යැයි කියමින් වායු තුවක්කු මාර්කට් එකක්ද රටේ බිහිවී තිබේ. මේවායින් වෙඩි තැබූ විට රිළවුන් සහ වඳුරන් පලා යෑම කෙසේ වෙතත් උන් බිමට ඇද වැටී කොන්ද බිඳී මරු දකිති. වානරයා යනු කශේරුකාව බිඳී යෑමේ වැඩිම අවදානමක් තිබෙන සතුන්ගෙන් එකෙකි. වායු තුවක්කුවලට ලයිසන් අවශ්‍ය නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ ග්‍රාම සේවක සහතිකයක් පමණි. මේ තුවක්කුවෙන් හරි තැනට වෙඩි තැබූ විට මිනිසකු මරා දැමිය හැකිය. වායු තුවක්කු වලින් මිනිසුන්ට සහ සුනඛයන්ට වෙඩි තැබූ අවස්ථා ගණනාවක්ම පසුගිය කාලයේදී වාර්තා විය. මේ අතර මොනම හේතුවකටවත් රිළවුන් පිට රට පැටවීමට ඉඩ නොදෙන බව කියමින් පාහියන්ගල ආනන්ද නමැති භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ සීන් එකට වැඩම කොට සිටින්නාහ. උන්වහන්සේ වදාරන පරිදි රිළවුන් රට යැවීමේ තීන්දුවක් වෙතොත් එය ආපසු හැරවීමේ හයිය උන්වහන්සේට ඇත. උන්වහන්සේගේ සවි ශක්තිය පිළිබඳ අපට අවබෝධයක් නැතත් රිළවුන් රට යැවීම වැළැක්වීමට උන්වහන්සේට හැකි වන්නේද, මතුයම් දවසක උන්වහන්සේ බෞද්ධ භික්ෂුවක් නොව රිළවුන්ගේ ඉටු දෙවියා බවට පත්වනවා ඇත. හැබැයි රිළවුන් රට යැවීමේ තීරණය රිවර්ස් කරගැනීමේ හැකියාව මේ රටේ පරිසරවේදීන්ට තිබෙන බව අප විශ්වාස කරමු. එසේම සියලු කෙලෙස් දුරුකර දැනට ගත දවටාගෙන සිටින දේශපාලන කහ සිවුර ගලවා දමා පෙරුම්පුරා බවුන් වඩා තවත් ආත්ම 500 ට පමණ පසු තමන් නිවන් දකින බව පාහියන්ගල ආනන්ද සාදු දේශනා කරන්නේ නම් අපට ඒ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.

මේ රටේ පොල් වගාවට බරපතළම හානිකරන වන සතා වන්නේ රිළවාය. කුරුම්බැට්ටියේ සිට කලටි පොල් ගෙඩිය දක්වා අනුභව කරන රිළවා සිය විනාශකාරී මිත්‍රයා වූ දඬු ලේනුන්ද සමග එක්ව වසර 2022 දී පොල් ගෙඩි මිලියන 200 ක් විනාශකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තාවක සඳහන් වෙයි. ශ්‍රී ලංකාව තමන්ට අවශ්‍ය සමස්ත පොල් පලදාව නිෂ්පාදනය කරන්නේ නැත. එයට හේතුවක් ලෙස රිළවාද, දඬු ලේනාද, උගුඩුවාද දැක්විය හැකිය. උගුඩුවා වඩාත් ප්‍රසිද්ධ වන්නේ පොල් ගස්වල එල්ලා තබන රා මුට්ටි බීම සම්බන්ධයෙනි. රිළවා සහ දඬු ලේනා නොසිටින්නට අපේ පොල් වගාව මීට වඩා පලදායි වනවා ඇත. එසේ පලදායි වූ විට අපට පිට රටින් පොල් තෙල් ගෙන්වන්නට සිදුවන්නේද නැත. පොල් ගෙඩිය රුපියල් 120 ට මිල නගින්නේද නැත. එසේ වුවද රිළවා යනු වඳ වෙමින් සිටින ක්ෂීරපායී වානරයකු ලෙසට පිළිගැනීමක් ඇත. චීනයට රිළවුන් පැටවීම සම්බන්ධයෙන් විරෝධතා ගොනුකරන පාර්ශ්ව වැඩිහරියක් කියන්නේ එම සතුන් වෛද්‍ය පරීක්ෂණවලට යොදාගැනීම හෝ මසට මරාගෙන කෑමට චීනුන් කටයුතු කරනු ඇති බවය. මේ අතර අපි තවත් වැදගත් කාරණයක් කියමු. හෙල්මට් නිෂ්පාදනයේදී රිළවුන් සහ වඳුරන් යොදාගනු ලැබේ. එම සතුන් පුටුවලට තබා බැඳ උන්ට හෙල්මට් පළඳවා ඒවාට දැඩි ප්‍රහාර එල්ලකරනු ලැබේ. එවිට හෙල්මට් එක කුඩු වන්නේ නම් රිළවාගේ හෝ වඳුරාගේ හිසද කුඩු වෙයි. හිට්ලර් සිටින කාලයේදී හෙල්මට් පරීක්ෂණ සඳහා කෙළින්ම යොදාගන්නා ලද්දේ යුද සිරකරුවන්ය. අද රිළවා ඉඳගන්නා පුටුවේ එදා ඉඳගත්තේ යුදෙව්වාය. එදා කුඩු පට්ටම් වුණේ යුදෙව්වාගේ ඔළුවය. රිළවුන් සුරතලයට ඇති කිරීම ලෝකය පුරා විහිදුනු ප්‍රසිද්ධ වැඩපිළිවෙළකි. සුරතලයට ඇති කරන රිළවෙක් ඩොලර් 1000 සිට 10000 දක්වා විවිධ මිලට විකිණෙයි. ඩොලර් 10000 ක් යනු රුපියල් තිස්පන් ලක්ෂයට කිට්ටු මුදලකි. කරනම් ගැසීම, නැන්දා මාමාගේ ගෙදර යෑම, සිඟා කෑම, මනාලිය බලන්නට යෑම වැනි ප්‍රාසාංගික ක්‍රියා පුරුදු පුහුණු කළ රිළවකු ශ්‍රී ලංකාව තුළ රුපියල් 40000 සේ සිට ඉහළට අලෙවි කරනු ලැබේ. රිළවා මේ රටට ප්‍රශ්නයක් වී තිබෙන බව ඇත්ත. එම ප්‍රශ්නය විසඳීමට යන ගමනේදී මනුෂ්‍ය අපද රිළවාට ප්‍රශ්නයක් නොවීමට වගබලා ගත යුත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment