රිළා රිදුමට අපේ මිනිසාගෙන් ගැජට්ටුවක් – ඉංජිනේරු මනතුංගගේ වැඩක්

755

වගාවන්ට රිළවුන්ගෙන් හා වඳුරන්ගෙන් සිදු වන හානිය වළක්වා ගැනීම සඳහා නව උපකරණයක් නිෂ්පාදනය කර ඇති අතර මේ වන විට එහි පර්යේෂණ කටයුතු සිදු කෙරේ.

මෙම නව උපකරණය ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්තද සිල්වා මහතා විසින් නිෂ්පාදනය කර ඇත. ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනය මේ වන විට මෙය පිළිබඳව පරීක්‍ෂා කිරීමේ කටයුතු නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරයි.

රිළවුන්ගෙන් හා වඳුරන්ගෙන් සිදු වන හානිය වළක්වා ගැනීම සඳහා නිෂ්පාදිත නව උපකරණය පිළිබඳව අදහස් දැක්වූ ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජීවකාන්තද සිල්වා මහතා මෙසේ කීවේය.

රිළා රිදුමට අපේ මිනිසාගෙන් ගැජට්ටුවක් - ඉංජිනේරු මනතුංගගේ වැඩක්

රිළවුන්, වඳුරන් පලවා හරින උපකරණය නිෂ්පාදනය කළේ ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මතයි. මම මීට පෙර වන අලි පලවා හරින උපකරණය නිෂ්පාදනය කළා. එය දැකලා වෙන්න ඇති රිළවුන්, වඳුරන් පලවාහරින උපකරණයක් නිෂ්පාදනය කරන්න ඉල්ලීමක් කරන්න ඇත්තේ. ලංකාවේ පොල් වගාවෙන් 30% වැඩි ප්‍රමාණයක් රිළවුන්, වඳුරන් විසින් විනාශ කරනවා. ඒ නිසා උන් පලවා හරින උපකරණයක් නිෂ්පාදනය කරන්න කියා ඉල්ලීමක් කළා. ඒ අනුව මා විසින් ඒ සඳහා පර්යේෂණ සිදු කර උපකරණයක් නිෂ්පාදනය කරනු ලැබුවා. පොල් පර්යේෂණ ආයතනය මේ උපකරණ සාර්ථකත්වය පිළිබඳව පරික්‍ෂා කිරීමේ කටයුතු නියමු ව්‍යාපෘතිය ලෙස මේවනවිට සිදු කරනවා.

මෙම උපකරණයෙන් කරන්නේ රිළව්, වඳුරන්ට ධ්වනි ශබ්ද තරංගයක් නිකුත් කිරීමයි. ඒ ශබ්දය ඔවුන්ට අහන් ඉන්න අමාරුයි. එවිට ඔවුන්ට ඒ ප්‍රදේශය අතහැර පලා යනවා. එම ශබ්දය ඔවුන්ගේ කනෙහි දෝංකාර දෙනවා. එම නිසා කනෙහි දෝංකාරය අවසන් වනතෙක් ඔවුන් ගමන් කරනවා. බොහෝවිට යළි ආපසු එන්නේ නෑ.

දැනට මේ උපකරණය පරීක්ෂණ කිරීමේ කටයුතු මාස කිහිපයක සිට කරගෙන යනවා. ඒ සඳහා අනුමැතිය කඩිනමින් ලැබෙයි කියා අපේක්ෂා කරනවා. එහෙම වුවහොත් රිළවුන්ගෙන්, වඳුරන්ගෙන් ලංකාවේ පොල් ඇතුළු වගාවන්ට වන හානිය සතුන්ටද කිසිදු හානියක් නොමැතිව වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් එම උපකරණය නිෂ්පාදනය කර ව්‍යාප්ත කරන්නට ආයෝජකයෙක් ඉක්මනින් ඉදිරිපත් වනවා නම් ලංකාවේ රිළවුන්ගෙන් හා වඳුරන්ගෙන් වන හානිය වළක්වා ගැනීමට විශාල සහනයක් සැලසෙනවා.

මිනිසුන් මෙතෙක් භාවිත කළේ සතුන්ට වෙඩි තැබීම, උගුල් ඇටවීම, වසදීම ඇතුළු ක්‍රමවේදයන්, එම ක්‍රම භාවිතයෙන් මෙම ගැටලුවට කවදාවත් විසඳුම් ලැබෙන්නේ නෑ. එම නිසා යල් පැන ගිය ක්‍රමවේදයන්ට වඩා නව තාක්ෂණය යොදා ගනිමින් මෙම නිර්මාණය සිදු කළ බව ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජීවකාන්තද සිල්වා මහතා සඳහන් කළේය.

මෙම නවතම උපකරණය පිළිබඳව ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ වගා සංරක්ෂණ අංශ ප්‍රධානි රොෂාන් ද සිල්වා මහතා දැක්වු අදහස් මෙසේය.

ශබ්ද තරංග නිකුත් කරන උපකරණය සාර්ථකත්වය පිළිබඳව සොයා බැලීම රිළවුන් හා වඳුරන් බහුලව ගැවසෙන කෑගල්ල, පුත්තලම, පල්ලව, වනාතවිල්ලුව, පොල්ගහවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයක වගාවන්වල සිදු කළා. පරීක්ෂණ කටයුතුවලදී මෙහි සාර්ථකත්වයක් දකින්නට හැකි වුණා. අප මෙය කොපමණ සාර්ථකත්වයක් තිබෙනවාද යන්න තවදුරටත් සොයා බැලීම සිදු කරනවා.

රභාත් වනසිංහ – නාච්චාදුව

advertistmentadvertistment
advertistmentadvertistment