රීමේක් ප‍්‍රවීණයෝ කළෙත් හොඳයි අපි කළොත් නරකයි… අමිල කරුණානායක

689

රීමේක් නම් නව නාමකරණයකින් හැඳින්වෙමින් විදෙස් චිත‍්‍රපට අනුකරණ බිහිවීමේ ප‍්‍රවණතාවක් වත්මන් ශී‍්‍ර ලාංකේය සිනමාව තුළ දක්නට ලැබෙයි. ඒවා නිසැකයෙන්ම ලක්වන අභියෝගය නම් එකී චිත‍්‍රපට ඒවායේ මුල් කෘතිය හා සැසඳීමට පේ‍්‍රක්ෂකයන් නිරායාසයෙන් පෙළැඹීමයි. චිත‍්‍රපටයේ තාක්ෂණික තත්ත්වය මෙන්ම ඒවායේ රඟන නළු නිළියන්ද මෙම පේ‍්‍රක්ෂක පරීක්ෂාවට ලක්වීම අනිවාර්ය කාරණාවක් වෙයි. ප‍්‍රවීණ මෙන්ම නවක රංගන ශිල්පි ශිල්පිණියන් මුහුණ දුන් මෙකී අභියෝගයට ලක්වන නවතම රංගන ශිල්පියා වන්නේ අමිල කරුණානායකයි. මේ ඒ පිළිබඳව ඔහුගේ කතිකාවතයි.

 ඔබ රඟපාන ”කබඩි” චිත‍්‍රපටය දෙවන වටයකින් තිරගත වෙනවා. කොහොමද එහි තත්ත්වය?

 චිත‍්‍රපටය බලපු අයගෙන් ලැබෙන ප‍්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි. නමුත් මේ වසංගත තත්ත්වය නිසා චිත‍්‍රපටයක් බලන මානසිකත්වයක නොවෙයි මිනිසුන් ඉන්නේ. නමුත් ප‍්‍රදර්ශනය වන අනෙක් චිත‍්‍රපට සමග බලන කොට කබඩි චිත‍්‍රපටයට හොඳ පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් තිබෙනවා. නමුත් අපි බලාපොරොත්තු වූ ටාගට් එකට තවම යන්න බැරිවෙලා තිබෙනවා පවතින තත්ත්වයත් එක්ක. අපිට වාසියක් වෙලා තිබෙන්නේ සිනමාශාලා කැමතියි අපේ චිත‍්‍රපටය තියාගන්න.

රීමේක් ප‍්‍රවීණයෝ කළෙත් හොඳයි අපි කළොත් නරකයි... අමිල කරුණානායක

”කබඩි” රීමේක් චිත‍්‍රපටයක්. එහි මුල් චිත‍්‍රපටයේ සාර්ථකත්වය මෙහි පවතිනවා කියා ඔබ සිතනවාද?

 මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ චිත‍්‍රපටය අපේ රටට ගැලපෙන ලෙස ඒ රසය කිසිම අඩුවක් නැතිව නිර්මාණය වෙලා තිබෙනවා කියා. දමිළ චිත‍්‍රපටය අනවශ්‍ය ලෙස දීර්ඝයි. සටන් දර්ශන එහෙම සෑහෙන දිගයි. මුල් චිත‍්‍රපටයේ අනවශ්‍ය කොටස් අතහැරලා තමයි අපේ චිත‍්‍රපටය නිර්මාණය වෙලා තිබෙන්නේ. හුඟක් බලපු අය කියන දෙයක් තමයි එක විනාඩියක්වත් ඇහැ ඉවතට ගන්න බැහැ කියලා. ඉතින් මම පෞද්ගලිකව හිතනවා අපි ඊට වඩා පියවරක් ඉදිරියෙන් ඉන්නවා කියලා. අනෙක ඒ අය චිත‍්‍රපටයකට විශාල පිරිවැයක් යොදවනවා. අපිට එහෙම කරන්න බැහැනේ. ඒ අනුව අපි වැය කර තිබෙන මුදලෙන් උපරිමය අපි කර තිබෙනවා. අඩු පිරිවැයකින් අඩු කාලයක් තුළ අපි ලොකු දෙයක් කරලා තිබෙනවා. හුඟක් අය චිත‍්‍රපටය නරඹලා නොවෙයි විචාරය කරන්නේ. කොපියක් කියලා කියන්නේ. නමුත් මෙය නරඹපු දමිළ අය මා සමග පවසා තිබෙනවා, ඒ ගොල්ලන්ට දමිළ විත‍්‍රපටය මතක් වුණේවත් නැහැ කියලා.

 මෙහි මුල් චිත‍්‍රපටය ” ඕක්කාඩු” තෙළිඟු චිත‍්‍රපටය. ”ගිල්ලි” නමින් එහි දමිළ අනුකාරක චිත‍්‍රපටයක් ඉන්පසු බිහි වුණා. ”කබඩි” චිත‍්‍රපටයේ රඟපාන්නට පෙර ඔබ මේ චිත‍්‍රපට නැරඹුවාද?

 මෙහෙමයි, මම දමිළ චිත‍්‍රපටවලට එතරම් කැමති කෙනෙක් නොවෙයි. මම ඇත්තටම ”ගිල්ලි” චිත‍්‍රපටය බැලූවේ නැහැ. මොකද මට බය හිතුනා ඒවායේ අනුකරණයක් මගෙ අතින් වෙයි කියලා. අධ්‍යක්ෂවරයාත් මගෙන් ‘විජෙයි’ ගේ (ගිල්ලි චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවා* අනුකරණයක් බලාපොරොත්තු වූයේ නැහැ. ඔබ චිත‍්‍රපටය නැරඹුවොත් පෙනෙයි, මම සටන් කරන, ආදරේ කරන විලාසය, මගේ හැඟීම්, මගේ හැසිරීම ඔක්කොම මගේ දේවල්.

රීමේක් ප‍්‍රවීණයෝ කළෙත් හොඳයි අපි කළොත් නරකයි... අමිල කරුණානායක

නමුත් බොහෝ පේ‍්‍රක්ෂකයන් පෙළඹෙනවා රීමේක් චිත‍්‍රපටයක් මුල් කෘතිය හා සැසඳීමට. ඔබගේ රඟපෑම විජෙයිගේ රංගනය හා සංසන්දනය කිරීමේ උත්සාහයන් ඔබ අත්දැක තිබෙනවාද?

 එහෙම අදහස් ප‍්‍රකාශ කරන අය මට මෙතෙක් හමුවී නැහැ. මම විජෙයිගේ රංගනය මෙහි කළේ නැහැනේ. අපේ විදිහට අපි කරලා තිබෙනවා. රීමේක් සංකල්පය ලෝක සිනමාවේත් තිබෙනවානේ. ඉතිං කම්පෙයාර් කරනවාට වඩා එයින් ලැබෙන රසාස්වාදයටයි මම හිතන්නේ මූලිකත්වය දෙන්න අවශ්‍ය.

 මෙතෙක් කල් අමිල කියන චරිතය කොටු වී සිටියේ අහිංසක පේ‍්‍රමවන්තයාගේ භූමිකාවට. නමුත් මේක වීරයාගේ චරිතයක්. සටන්, විහිළු, ආදරය සමග වීරත්වයෙන් පිරි චරිතයක්. මම මේ චරිතය සාර්ථකව කරලා තිබෙනවා කියලා ප‍්‍රවීණයන් පවා මා සමග පැවසුවා.

 මේ රීමේක් සිනමාව ගැන ඔබේ කියැවීම කුමක්ද? ශී‍්‍ර ලාංකේය සිනමාවේ අනන්‍යතාවය මේ අනුකරණවාදී රටාව නොව ස්වනිර්මාණකරණය නොවේද?

 අපි රීමේක් සිනමාවෙන්ම යායුතුයි කියලා මම හිතන්නේ නැහැ. රීමේක් ෆිල්ම්ස්, ආර්ට් ෆිල්ම්ස්, කොමර්ෂල් ෆිල්ම්ස් ආදී සෑම රසයක්ම තිබිය යුතුයි. එතකොට තමයි මේ කර්මාන්තය ගොඩ ගත හැක්කේ කියන තැන තමයි මම ඉන්නේ. විදේශීය වාණිජ සිනමාව තමයි රීමේක් කරන්න පෙළඹෙන්නේ. අපේ සිනමාව තුළ වාණිජමය සිනමාව ඩිවලොප් කළ යුතු බවයි මම අදහස් කරන්නේ. 70 දශකයේ වාණිජමය සිනමාව තමයි ඉහළින් තිබුණේ. නමුත් අපේ ප‍්‍රවීණයන් බොහෝ විට නිර්මාණය කරන්නේ ආර්ට් ෆිල්ම්ස්. මට නම් එන්ටර්ටේන්මන්ට් නැත්නම් ෆිල්ම් එකක් බලන්න බැහැ. විදේශීය ආර්ට් ෆිල්ම්වලත් එන්ටර්ටේන්මන්ට් තියෙනවානේ. අපි ඇයි මානසික ප‍්‍රශ්න පේ‍්‍රක්ෂකයන්ට පෙන්වන්න දඟලන්නේ. මං හිතන්නේ නැහැ කලාත්මක චිත‍්‍රපටවලට බහුතර පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් සිටිනවා කියලා. කර්මාන්තයක් ලෙස මෙය පවත්වාගන්නට නම් වාණිජ සිනමාවට වැඩි අවධානයක් දිය යුතුයි. ඒ සඳහා අපිට රීමේක් වගේ දේවල් කිරීමට සිදුවෙනවා. පසුගිය කාලේ ලංකාවේ වැඩියෙන්ම හිට් වුණේ රීමේක් නේ. ධර්ම යුද්ධය, ප‍්‍රවේගය, මායා, සරිගම. ප‍්‍රවීණයෝ ඒවා කළාම කතා කරන්නේ නැහැ. ගොඩඑන්න බලන පුද්ගලයෙක් අමාරුවෙන් රීමේක් එකක් කළාම ඒ මිනිහාව වට්ටන්න බලනවා. අපේ විචාරකයන්ගෙන් එහෙම දෙයක් මම දැකලා තිබෙනවා. අපේ සංස්කෘතියට අපිට ගැලපෙන ලෙසට රීමේක් කළාට ප‍්‍රශ්නයක් නැහැ කියලායි මම හිතන්නේ.

නිමල් ෆ‍්‍රැන්සිස්

රීමේක් ප‍්‍රවීණයෝ කළෙත් හොඳයි අපි කළොත් නරකයි... අමිල කරුණානායක
advertistmentadvertistment
advertistmentadvertistment