රුචක සහ විපරිත  රාජ යෝගයක් උදාකරමින් කුජ ග්‍රහයා  මේෂ රාශියට

1760

ජුනි 27 වැනිදා පාන්දර 5.40 ට කුජ මේෂ රාශි ගතවිය. ලග්න 4 කට රුචක යෝගයත් ලග්න 3 කට විපරිත රාජ යෝගයත් උදා කරයි. මෙය අගෝස්තු 10 වැනිදා දක්වා පවතියි.

2022 ජුනි මස 27 වැනි සිකුරාදා පාන්දර 5.40 ට කුජ මේෂ රාශියට පැමිණියේය. මේෂයට කුජ ස්වක්‍ෂේත්‍ර බලයෙන් යුක්ත වන අතර කුජට මේෂය තම නිවහන ද වෙයි. ග්‍රහ ලොව සෙන්පතියා වන්නේ කුජයි. විප්ලවයට අධිපති වන්නේද කුජය. අරගලයකින් එතර වන්නට හැකි විප්ලවකාරී කුජ ශක්තිය මෙන්ම රතු පාට නියෝජනය කරයි. එනම් කුජ ප්‍රබලතම රාශිය වූ මේෂයට සංක්‍රමණය වීම සහ එහි රාහු සිටීම තරමක් සිතන්නට යමක් ඉතිරි කරයි.

කෙසේ හෝ මේෂ, කටක, තුලා, මකර යන ලග්න හතරට රුචක මහා පුරුෂ යෝගය උදාකරයි. මිථුන, කුම්භ, වෘශ්චික යන ලග්නවලටත් ශුභ ඵල උදාකරයි. පොදු වශයෙන් විශ්ව කේන්දරය සමග විස්තර කළහොත් රටේ ජනතාවට නිදිමරාගෙන ප්‍රයෝජනයක් නැති ගමන් බිමන් මෙන්ම රස්තියාදු වීමටද කරුණු ගොඩනැඟේ. වෙහෙස ඇති පාගමන් ද යෑමට සිදුවෙයි. සිතට කනගාටුදායක පුවත් දිනෙන් දින අසන්නට ලැබේ. තම බලාපොරොත්තු පොදිපිටින් විනාශවී යෑමට සිදුවේ. මිනිසුන් නොමිනිසුන් වී අනියම් මාර්ගවලින් තම ජීවිකාව ගෙන යෑමට මිල මුදල් සොයන්නට වෙහෙසෙයි. බඩගින්නේ සිටින්නට සිදුවෙයි. ග්‍රහලොව යුදයට අධිපති කුජයි. මේෂ රාශි ගත වන්නේ විශාල වශයෙන් මිනිසුන්ගේ සිතුවිලි ආවේගශීලි වී නොමිනිසුන් බවට ජනයා පත්වන කාලය මෙයයි.

මේෂ –
 

ග්‍රහ ලොව සෙන්පති වන කුජ ඔබේ ඉරණම වෙනස් කරන්නට උත්සාහ ගන්නේ එනම් නුවුවමනා කරදර වරින් වර ඇති වීමට ඉඩ තිබේ. එබැවින් පුළුවන් තරම් ඇඟ බේරාගෙන ඉන්නට උත්සාහ ගන්න. බොහෝ කලබලකාරී බව නිසා තමාගේ වැඩ කටයුතුවලට බාධා ගෙන දෙයි. ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරයි. සුළු සුළු අසනීප ශරීරය තුළ ඇති බව දැනෙන්නට පටන් ගනියි. හිසේ තුවාල මෙන්ම උෂ්ණාධික බව වැඩිවෙයි. උණ පිත් රෝග, වමනය වැනි අසනීප මෙන්ම අධිරුධිර පීඩනයද ගෙන දෙයි. නමුත් මෙතෙක් ජීවිතයේ පැවති කරදර හිරිහැර විවාහ ජීවිතයේ ප්‍රශ්න අඩුවෙන්නට පටන් ගනියි. හවුල් ව්‍යාපාරවලට අත ගැසීමට හොඳම කාලයයි. මොන දේ කළත් හොඳට සිතා බලා කළ යුතුයි. විදේශ ගත වීමට හොඳම කාලයයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන්ද වෙහෙස වන්නට කාලය වෙන් කරන්නට සිදුවෙයි. කල්පනාවෙන් ජීවිතයට මුහුණ දෙන්න.

වෘෂභ –
 

මේ කාලයේ ඇත්තෙන්ම ඔබේ කේන්දරයේ වැය ස්ථානයේ රාහු සිටින අතර එම ස්ථානයටයි කුජ පැමිණියේ. එබැවින් මේ කාලයේ යමක් කිව යුතුයි. එනම් රෝග ස්ථාන වූ 6 වැන්නට කේතුගේ පැමිණීමත් 8 වැන්නට ගුරුගේ පැමිණීමත් සමගයි ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ. ඉතිං මේ අශුභ ග්‍රහ පිහිටීම් සමග ඔබට සතුරන් ඇති වීමටත් නොයෙක් ආකාරයේ අසනීපවලට මුහුණ දීමටත් ඔබට පමණක් නොවේ ඔබේ පවුලේ අයට අසනීප ඇති වීමටත් හේතුකාරණා ගෙනේ. හවුල් වැඩවලට මේ කාලයේ අත නොගසන්න. පුළුවන් නම් විවාහ කටයුතුද ටික කාලයකට අතපසු කරන්න. අධ්‍යාපනය ලබන දරුවන් ද මේ කාලයේ පරිස්සම් විය යුතුයි. විදේශ ගමන් බිමන් ප්‍රමාද කරයි. පුළුවන් තරම් තම අතේ ඇති මුදලට ණය නොවී ජීවත් වන්නට උත්සාහ ගන්න.

මිථුන –

උපතේ කුජ බලවත් නම් ඔබට ජය හිමිවෙයි. විදේශගත වන්නට උත්සාහ ගන්නා අයට ශුභයි. විවාහ යෝජනා මෙන්ම ප්‍රේම සම්බන්ධතා ගොඩනැඟීමට හොඳම කාලයක්. පින් අතේ වැඩ වැඩි වැඩියෙන් කරන්න උත්සාහ ගත්තොත් පෙර පිනම ඔබව ඉහළට ඔසවයි. මිථුන ලග්න හිමියන්ට රුචක යෝගයෙන් බලසම්පන්න වන බව පෙනේ. මිථුනයෙන් 11 වැන්නට වූ අයස්ථානයට කුජගේ පැමිණීම ආදායමට හොඳ, ශුභ බවක් පෙන්වයි. මුදල් සොයන මාර්ග පෙන්වයි. ක්‍රියාත්මක වීම ඔබ සතු කාර්යයකි. ජීවිතය වෙනස්ම මගකට හැරවුම් ලක්‍ෂ්‍යය වෙයි.

කටක –

කුජ කටක ලග්න හිමි ඔබේ 5 වැන්න හා 10 වැන්න අධිපති වෙයි. සඳු සමග ද මිත්‍ර කුජ සිකුරාදා උදේ 5.40 ට කර්මස්ථානයට පැමිණෙයි. මෙම පැමිණීමෙන් ඔබට රාජ යෝගයක් ක්‍රියාත්මක වෙයි. ඔබේ ප්‍රබල අරමුණ ඉටුකර ගැනීමට හැකියාව ලැබේ. ඔබ වේගවත් වෙයි. නව අරමුණු අතර ඝට්ටනයක් ඇතිවෙයි. ඇත්තෙන්ම ඔබ එඩිතරව ඔබේ අරමුණු කරා ගියහොත් ඔබට ජය නියතයි. බාධක කරදර මැද්දේ හෝ ඔබ ශක්තිමත් වෙයි. කටක ලග්න හිමි විදේශගත වී සිටින අයටත් මේ හොඳම කාලයයි. ඔබේ අරමුණු කරා යෑමට එමෙන්ම අධ්‍යාපනය ලබන අයටත් එසේමයි. විවාහ වීමට සිටින අයටත් ශුභයි. අගෝස්තු 10 වැනිදා තෙක් කටකයට කුජ නීච වුවත් කුජට හිමි භාව දෙක කේන්ද්‍ර ත්‍රිකෝණ දෙකක් වීම නිසා ශුභ ඵල දෙනවාමයි.

සිංහ –
 

නම වන භාවය වන පුණ්‍ය ස්ථානයේ කුජ ගෝචර වේ. අධ්‍යාපනය සහ රැකියාව සඳහා විදේශගත වන අයට ශුභයි. පෙර පිං පලදෙන කාලයකි. හැබැයි සුළු සුළු බාධා වීම් ද මේ කාලයේ යෙදේ. විවාහ වීමට සිටින අයට හා ආදර සම්බන්ධතා ඇති අයටත් සුබයි. මුලාවීම්වලට නොවැටී ඉදිරියටම යාමට හැකියාව පවතියි. විවිධ වූ අවස්ථාවලදී කඩා වැටීම් ඇති වූවත් ක්‍ෂණයෙන් ඔබව ඉහළට ඔසවා තබන කාලයක් බැවින් සියලුම බාධක මැඩගෙන ඉදිරියටම යන්න උත්සාහ ගන්න. පූර්ණ වාසනා ශක්තිය හිමිවෙයි. දෙමාපිය උරුමයෙන් යම් යම් දේ ලැබේ.

කන්‍යා –

කුජගේ මාරුවීම 8 වැන්නට සිදුවෙයි. මෙය මාරක ස්ථානයට පැමිණේ. කායික සහ මානසික ගතිය අඩුකරන බවක් පෙන්වයි. පීඩාවන්ට ලක්වන්නට සිදුවෙනවා. අන් අය නිසා ඔබ මුලාවෙනවා. රැවටිලිවලට හසුවන්නටත් ඉඩ තිබේ. ඉතාම කල්පනාවෙන් ජීවිතයට මුහුණ දිය යුතුයි. බාධක, කරදර, එල්ල වෙනවාමයි. හදිසි අනතුරුවලින්, ගින්නෙන්, සොර සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. මේ මොහොතේ රෝගිවී සිටින අයත්, දරුවන් ලැබෙන්නට සිටින අයත් කල්පනාකාරී විය යුතුයි. විදේශ ගතව සිටින අයටත් ඉතාම බාධක සහිත කරදර සහිත කාලයකි. අධ්‍යාපනය ලබන දරුවන් ප්‍රවේශම් විය යුතුයි. මුදල්මය ගැටලු ඇතිවෙයි. ගනුදෙනුවලින් ප්‍රවේශම් වන්න.

තුලා –
 

තුලා ලග්න හිමි ඔබේ 7 වන භාවයට කුජ පැමිණේ. ඔබේ විවාහස්ථානයට සහ විවාහය යන දෙකෙන්ම ඔබව ඉහළට ඔසවා තබන්නට කුජට හැකියාව පවතියි. ප්‍රශ්නකාරී තත්ත්වයකින් ඉදිරියට ගියත් ගෘහ ජීවිතය වාසනාවන්තය. අවුල් වියවුල් තිබුණත් එය ශුභ තත්ත්වයට පත් කරගෙන ඉදිරියට යා හැක. මෙතෙක් ගෙවල්වලින් ප්‍රේම සම්බන්ධතාවලට ඇතිවූ අවහිරකම් මග හැරීයයි. අලුතින් ව්‍යාපාරවලට අත ගසන්නට සිටින තුලා ලග්න හිමි ඔබ අගෝස්තු 10 ට පෙර ආරම්භ කරන්නට වගබලා ගන්න. නව නිවාස වැඩටද ශුභයි. විදේශගත අයටද ශුභයි. අලුත් අලුත් යාළු මිත්‍රයන්ද මුණ ගැසෙයි.

වෘශ්චික –

ලග්නාධිපති කුජ ග්‍රහතුමා 6 වැන්න වූ රෝගස්ථානයට පැමිණ තිබේ. සතුරු කරදරවලින් සහ බාධාවීම්වලින් ඔබව පීඩාවට පත් කරයි. අධ්‍යාපනය ලබන සරසවි දරුවනි මේ කාලය තරමක් පසුබැස සිටින්න. එය ඔබට ගුණයි. මේ කාලයේ ඔබේ ප්‍රශ්නවලට නිසි පිළිතුරක් බලාපොරොත්තු විය නොහැකි කාලයකි. ආර්ථික ප්‍රශ්නවලින්ද ඔබ පීඩාවෙයි. විදේශගත වී සිටින ලාංකිකයිනි ඔබ වෘශ්චික ලග්නයේ නම් කල්පනාකාරී විය යුතුයි. රාහුත් 6 වැන්නේ සිටියි. විවාහ ජීවිතය, අධ්‍යාපනය, මිල මුදල්, ව්‍යාපාරිකයන් කල්පනාවෙන් ජීවිතයට මුහුණ දෙන්න. විපරීත රාජ යෝගයකි.

ධනු –

කුජ 5 වැන්න වූ මේෂයට පැමිණේ. ශරීර ශක්තිය දුර්වල කරයි. අලුත් අලුත් අසනීප හැදෙන්නටත් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මව්වරු පරිස්සම් වීමටත් උත්සාහ ගන්න. බඩේ අසනීප යෙදේ. හදිසි අනතුරුවලින්ද පරිස්සම් වන්න. ධනය ලැබෙන මාර්ග අවහිර වෙයි. ධන හානි ඇතිවෙයි. සිතේ සතුට සැනසීම අඩුවෙයි.

නරකනාම ලැබෙන කාලයකි. අධ්‍යාපනය ලබන දරුවනි ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමේදී පරිස්සම් වන්න. කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට තම දරුවන් හොඳින් රැක ගැනීමට වගබලා ගන්න.

මකර –

රුචක මහ පුරුෂ යෝගය උදා කරමින් පැමිණෙයි. ඉතාම ශුභ ඵල දෙන කාලයකි. ගේදොර ඉඩකඩම් මිලදී ගැනීමටත් ශුභ කාලයකි. විදේශ ගමන් බිමන් යෙදේ. එහි ශුභ ඵල උදාකරයි. නව රැකියා ලැබේ. පතල් කරන අයට ද ශුභයි. සිතේ යම් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවත් සියලුම දේ හොඳ විදියට කරගෙන ඉදිරියටම යෑමේ හැකියාව පවතියි. අලුතින් ඉඩම් මිලදී ගැනීමට, වාහන මිලදී ගැනීමට හැකියාව පවතියි. අධ්‍යාපනය ලබන දරුවන්ට මේ කාලය ශුභයි. මිල මුදල් ලාභ ඇති කරයි. උපතේ කුජ බලවත් නම් මෙය තවත් වැඩිවෙයි.

කුම්භ –

ශුභදායක ග්‍රහ මාරුවක් ලෙස 3 වන භාවය වූ වික්‍රමස්ථානයටයි කුජ පැමිණියේ. සමාජය තුළ ඔබට ඉහළ මට්ටමක් ඇති කරයි. විදේශගත වෙන්නට ශුභයි. අසල්වැසියන්ගෙන් මෙන්ම පවුලේ අයගේද උදව් උපකාර ඇතුව ඉදිරියට යෑමට හැකියාව පවතියි. අලුත් ව්‍යාපාරවලට අතගසන්නට ශුභ කාලයකි. එමෙන්ම පුළුවන් තරම් තමාගේ උත්සාහයෙන් නැගිටින්නට වෙර වීරිය ගත යුතු කාලයකි. කුඩා දරුවන් හොඳින් ආරක්‍ෂා කරන්න. මානසික පීඩාවන්ට ලක් වන්නටද සිදුවෙයි.

මීන –

2 වන භාවය කුජගේ පැමිණීම සිදුවෙයි. මේ කාලයේ මිල මුදල් ලාභ ඇතිවෙයි. නමුත් වියදමද ඉහළ යයි. පවුලේ දියුණුව ඇතිවේ. විදේශගත වෙන්නට වාසනා පවතියි. හැබැයි උපතේ කුජ බලවත් විය යුතුයි. මේ කාලයේ ආශ්‍රය කරන අයගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. මිත්‍රයන් ඇතිවේ. විවාහයට සුදුසු සහකරුවන් සහකාරියන් ලැබෙන කාලයකි. අධ්‍යාපනය ලබන දරුවන් ආදර බැඳීම්වලින් වැළකී සිටිනවා නම් තමයි හොඳ.

රුචක සහ විපරිත  රාජ යෝගයක් උදාකරමින් කුජ ග්‍රහයා  මේෂ රාශියට

නාඩි ජ්‍යොතිෂවේදී,  වාස්තු විද්‍යා උපදේශිකා ඉවෝන් දිසානායක
ඉටුමිණ ජ්‍යොතිෂ ආයතනය
(මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල)
රම්මුතුගල – කඩවත.
දු. අංකය: 0715 723 434, 0777 343 437

advertistmentadvertistment
advertistmentadvertistment