රුපියල් කෝටි 200යි… ලෝකයේ ලොකුම මැණික කොළඹදී වෙන්දේසියට… මොකක්ද මේ කතාව

472

* මේ ගල රුපියල් ලක්‍ෂ 10ක් වත් වටින්නේ නෑ…
* චන්ද්‍රිකා ආණ්ඩුව කාලෙත් මේ වගේ විගඩමක් නැටුවා…
* යන්තම් පණ ගහලා එන මැණික් කර්මාන්තය වට්ටන්න කරපු වැඩක්…    

 අපේ රට නැවතත් ලෝක ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. ඒ රත්නපුර ප‍්‍රදේශයේ අලූත කපන ලද ළිඳකින් මතු වී ඇතැයි කියන ‘ලොව විශාලතම මැණික් පොකුරක්’ නිසා ය. ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා විසින් පසුගිය දිනක විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් ‘ළිඳෙන් ගොඩ ගත් මැණික’ සම්බන්ධයෙන් බරසාර වර්ණනාවක් කළේය.

 ‘‘ලෝක ඉතිහාසයේ ලැබුණු විශාලතම මැණික් පොකුර තමයි අපිට ලැබිලා තියෙන්නෙ. බර කිලෝ පන්සිය දහයයි. කැරට් විසිපන්ලක්‍ෂ පනස්දහසයි. මැණික් ගලේ දිග සෙන්ටිමීටර් 100 යි. පළල සෙන්ටිමීටර් හැත්තෑදෙකයි. උස සෙන්ටිමීටර් පනහකින් යුක්තයි. කෙනෙකුට බදන්න බැරි විශාල ප‍්‍රමාණයේ ගලක්. මේක මැණික් පොකුරක්. මිදි පොකුරක් වගෙයි. තවත් විශේෂත්වයක් තමයි මේ මැණික් පොකුර ‘ආර්නූල්’ වර්ගයේ එකක්. අපේ තක්සේරු නිලධාරීන්ගේ තක්සේරුවට අනුව එම මැණික් පොකුර ඩොලර් මිලියන 100 ක වටිනාකමක් තියෙනවා. මේ මැණිකෙ ස්වභාවය අනුව ඩොලර් මිලියන 500, 1000ට වැඩි මිලකට අලෙවි වෙයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. හෙට අනිද්දා වෙනකොට මේ මැණික් ගල නිසා ‘අපේ රට’ මුළු ලෝකයේම බැබළෙනවා. ඒ නිසා ‘සෙරන්ඩිපිටි’ කියලා අපි මේ මැණික් පොකුරට නමකුත් දැම්මා. අපේ රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වී තිබෙන අවස්ථාවක මේ මැණික් පොකුර අපේ රටට මහා සම්පතක්…’’ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාගේ එම හෙළිදරව්වත් සමඟ මගේ සිත වික්‍ෂිප්ත විය. එම කතාව කනවැකුණු දේශපාලන කුහකයන් හැර මන්දබුද්ධික නොවන ඕනෑම කෙනෙක් ප‍්‍රථමයෙන් පුදුමයට පත් වී දෙවනුව ‘අපේ රටේ වාසනාව’ යැයි සිතා සතුටු වනවා නොඅනුමානය.

 එම වාසනාවන්ත පුවත කනවැකුණු මොහොතේ සිට ‘ලොව විශාලතම මැණික් පොකුර’ මතු වූ රත්නපුරේ ළිඳ සහ මැණිකෙ අයිතිකරු සොයාගෙන යෑමට මගේ සිත පෙරෙත්ත කළේය. සිතට අවනත වූ මම හිතවතෙකු කැටුව බදාදා හිමිදිරියේම මැණිකෙ තතු සොයාගෙන මිණිපුරයට ගියෙමි. එම ප‍්‍රදේශයේ මාධ්‍ය හිතවතුන්, මැණික් ව්‍යාපාරිකයන් සහ පතල් කර්මාන්තකරුවන් සමඟ කතා බහ කරනවිට ‘ලොව විශාලතම මැණික’ ගැන සුබවාදී කතා කන නොවැකිණි.

 ‘‘මේ පරණ කතාවක්… මීට වසර එකහමාරකට පෙර කහවත්ත ප‍්‍රදේශයේ විශාල ගලක් මතු වෙලා කියලා කසුකුසුවක් පැතිරුණා. දවස් දෙක, තුනෙනන් ඒ කතාව මැකිලා ගියා. නැවත වෙනත් විදිහකින් මතු වෙලා තියෙන්නෙ ඒ ගලම කියලා තමයි දැන් කතාව පැතිරෙන්නේ. ඒ ගල නම් වටිනාකමක් නෑ. මෙවැනි ගල් රත්නපුර දිස්ත‍්‍රික්කයේ මැණික් පතල්වලින් සුලබව ලැබෙනවා. ඕවා හඳුන්වන්නෙ ‘කොට්ටර’ කියලා. මැණික් ගලක ගුණාත්මක අවධිය පසු කරගෙන ගිහින් මැරුණු ගල්. මේ වගේ ගල් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් ළඟ ඕන තරම් තියෙනවා. අපි ඔය මැණික් ගල් ගෙදර තියාගන්නෙ ‘ඇන්ටික් භාණ්ඩයක්’ විදිහට. පතල් කම්කරුවන්ගේ ගෙවල්වලත් ඔය ගල් තියෙනවා…’’ ලොව විශාලතම මැණිකෙ තතු සොයාගෙන යන අපට රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෙක් කීව ඒ කතාවෙන් මගේ සිතට අමුත්තක් දැණිනි. ගමන් සගයාගේ ද මුහුණ අඳුරු වී යන සේයාවක් පෙණිනි. එහෙයින් අදහස් දැක් වූ කිහිපදෙනාගෙන් සමුගෙන කහවත්ත දෙසට යෑමට අපි පිටත් වීමු.

 ‘‘මිනිස්සු ඊර්ෂ්‍යාවට කියන කතා…’’ ගමන් සගයාගේ බිදුණු සිත පිළියම් කරනා අදහසින් මම එසේ කීවෙමි.

 ‘‘නෑ… මේ මැණික් කතාවේ මොකක් හරි අවුලක් තියෙනවා…’’ මම නිහඬ විය. සිත මෙරට මැණික් කර්මාන්තයේ ඉතිහාසයට දිව ගියේය.

 ‘රත්නදීප’ ‘මැණික් දූපත’ යනුවෙන් විශේෂ නම්වලින් හැඳින්වූ මේ පුංචි දූපතේ අතීතයේ සිට ලොව වටිනාම ‘මිණි කැට’ මතු වූ බව සැබෑය. මෙරට නිල් මැණික්වල ඇති සුවිශේෂී දීප්තිය, වර්ණය සහ පැහැදිලිකම නිසා ලෝක මැණික් වෙළෙඳපොළේ ඉහළ පිළිගැනීමක් ඇති බවද සැබෑය. එමෙන්ම දෝෂ පළුදු නොමැති අනර්ඝතම නිල් මැණික් ලැබෙන බවට ඉතිහාසයේ සිට ප‍්‍රසිද්ධ වී ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ රක්වාන ප‍්‍රදේශයයි. එහෙත් නිල් ආර්නූල් වර්ගයට අයත් තාරකා වර්ගයේ මේ මැණික් පොකුර හමු වී ඇත්තේ කහවත්ත ප‍්‍රදේශයේදීය. පැල්මඩුල්ල ප‍්‍රදේශයේ ගෙවත්තක ළිඳකින් යනුවෙන් ස්ථානය පසුව වෙනස් වී ඇති බව ද වාර්තා විය. ඒ කෙසේ වෙතත් ආර්නූල් වර්ගයේ මැණිකක් යනු කපා ඔප දැමීමෙන් පසු රිදී පැහැති නූල් හයක් දීප්තිමත්ව දිස්නෙ දෙන සුන්දර මැණිකකි. එමෙන්ම නිල් ආර්නූල් ලොව මිල අධිකම මිණි කැටයකි. දැන් අප සොයාගෙන යන්නේ ලොව විශාලතම ආර්නූල් වර්ගයේ මැණික් පොකුර ලැබුණු ළිඳය. අප රැගෙන ගිය මෝටර් රථයේ තිරිංග තදවීමත් සමඟ මම පියවි සිහියට පැමිණියෙමි. මෝටර් රථය නතර වී තිබුණේ පැල්මඩුල්ල නගරය පසුකර යම් ස්ථානයකය. එම ස්ථානයේදී අපට හමු වූ මැණික් ව්‍යාපාරිකයන් ද කියා සිටියේ ආන්දෝලනාත්මක මැණික් පොකුරේ කියන තරම් වටිනාකමක් නැති බවය.

jems2

‘‘මේක ආණ්ඩුවේ රඟපෑමක්. රටේ ප‍්‍රශ්න යට ගැසීමට ජනතාව මුලා කිරීමක්. මැණික් සංස්ථාවේ සභාපතිවරයාත් සුපිරි නළුවෙක්. රඟපාන්න හරිම දක්‍ෂයි. මේ චිත‍්‍රපටවලින් වෙන්නෙ යන්තම් පණ ගහලා ආපු රත්නපුරේ මැණික් කර්මාන්තය නැවත පිරිහීමක්. ලංකාවේ මැණික්වලට ජාත්‍යන්තරයේ තියෙන විශ්වාසය නැතිවීමක්. මේ වගේ වංචනික රඟපෑම් නිසා මැණික් ව්‍යාපාරිකයන් විදිහට අපිටත් බිස්නස් එක කරගන්න නැතිව යනවා. අපේ රට තවත් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලූවට ලක්වෙනවා…’’ ‘සෙරන්ඩිපිටි’ මැණික් පොකුර සම්බන්ධයෙන් පැල්මඩුල්ලේ මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු කියූ ඒ කතාවෙන් මගේ සිතේ නැෙඟමින් තිබුණු කුහල තවත් වැඩි විය.

 ‘‘මේ වගේම සිද්ධියක් 1994 අවුරුද්දෙත් වුණා. කිරිඇල්ලේ හල්පේ ප‍්‍රදේශයෙන් අමුතු ගලක් ලැබිලා තිබුණා. ඒ ගල ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියට ගෙනිච්චම එවකට සිටි සභාපති ‘විශාල වටිනාකමක් ඇති මැණිකක්’ කියලා අධි තක්සේරුවක් ලබාදෙමින් මෙරට සහ ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළ තුළ අනවශ්‍ය ප‍්‍රචාරයක් ලබා දුන්නා. ‘ශ‍්‍රී ලංකාවේ සාඩම්බරය’ කියලා ගලට විශේෂ නමකුත් තිබ්බා. ඒ පිම්බීමත් එක්ක ගලේ අයිතිකරුවන් විශාල තක්සේරුවක හිටියා. මැණික විකිණීමටත් පෙර පොලියට සල්ලි අරගෙන වාහනයක් ගත්තා. සතුටට දවස ගානෙ පාටි දැම්මා. ගෙවල් හදන්න ගත්තා. හරි ජරමර වුණා. අන්තිමේ පුම්බපු තරමේ ඒ ගලේ වටිනාකමක් නැති වුණා. වෙන්දේසියේ මැණික අලෙවි වුණෙත් නෑ. අර මිනිස්සු ආතල් අරගෙන නන්නත්තාර වුණා. ඒ වගේම එම සිද්ධියත් සමඟ ලෝක මැණික් වෙළෙඳපොළේ ලංකාවේ මැණික් පිළිබඳ තිබුණු ප‍්‍රතිරූපයට විශාල හානියක් වුණා. අන්තිමේ එවකට සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිව ගෙන්නලා නොසෑහෙන්න දොස් කියලා තිබුණා. පසුකාලීනව එම සභාපතිවරයා සේවයෙන් ඉල්ලා අස් වුණා කියලත් ආරංචි වුණා…’’ පැල්මඩුල්ලේ මැණික් ව්‍යාපාරිකයන් එසේ කියමින් සිනාසෙනවිට ‘සෙරන්ඩිපිටි’ ලොව විශාලතම තරුකා මැණික ලෙස හඳුන්වන මේ මිණි කැටයට එසේ නොවේවා කියා මම සිතින් ප‍්‍රාර්ථනා කළෙමි. එහෙත් එම මැණික් පොකුර සම්බන්ධයෙන් සිතේ උද්දීපනය වී තිබූ ධානත්මක සිතුවිලි කෙමෙන් බොඳ වෙමින් තිබිණි. පාළු ගෙයි වළං බිඳිමින් ඵලක් නැති බව සිතමින් ලොව විශාලතම තරුකා මැණික් පොකුරේ අයිතිය හිමි කහවත්ත ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථන අංකය අතිශය විශ්වාසනීය මාර්ග ඔස්සේ සොයාගෙන ඔහුට අපි ඇමතුමක් ලබාගත්තෙමු.

 ‘ඒ ගලත් එක්ක මට කිසිම සම්බන්ධයක් නෑ… කවුද ඔය බොරුව කිව්වේ…’ වරක් නොව දෙවරක්ම එම ව්‍යාපාරිකයා එසේ අසා දුරකථනය විසන්ධි කළේය. මෙරට මැණික් කර්මාන්තයේ සිටින ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරිකයකු වන ඔහුට අලූතින් ලැබී තිබෙන ලොව විශාලතම මැණිකේ කීර්තියත්, එම මැණික මිල කර ඉදිරියේදී ලබාගැනීමට සිහින දකින මහා විශාල ධනස්කන්ධය නිසා ප‍්‍රසිද්ධවීමට අකැමැත්තක් තිබීම සාධාරණය. එමෙන්ම එම මැණික සම්බන්ධයෙන් ඔහුට ද තවමත් විශ්වාසයක් නොමැතිව ප‍්‍රසිද්ධියේ කතා කිරීමට අකැමැත්තෙන් සිටිනවාදෝ අපි නොදනිමු.

 ඇසෙන තරමක් ඇසෙනුයේ ලොව විශාලතම තරුකා මැණික් පොකුර යැයි කියන අමුතු පාෂාණය සම්බන්ධයෙන් අසුබවාදී කතාය. එමෙන්ම මේ මැණික් ගල ලැබුණු ස්ථානය ගැන ද පැහැදිලි තොරතුරක් නැත. ප‍්‍රථමයෙන් වාර්තා වූයේ කහවත්ත ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ ගෙවත්තක ළිඳක් හාරමින් සිටි කම්කරුවන් පිරිසකට මැණික් පොකුර හමුවී ඇති බවය. පසුව පැල්මඩුල්ල පතලකින් හමු වී ඇති බවට ද කතා පැතිරිණි. ඊටත් පසුව පැල්මඩුල්ල මැණික් ව්‍යාපාරිකයකුගේ ගෙවත්තක අලූත් ළිඳක් හාරමින් සිටි කම්කරුවන් කිහිපදෙනකුට මේ මැණික හමු වී ඇති බව ද කියැවේ.

 ‘‘ඔය ගල ලැබිලා තියෙන්නේ කහවත්තෙන්වත්, පැල්මඩුල්ලෙන්වත් නෙමෙයි. බළංගොඩින් හරි ඇහැළියගොඩින්. ඊට පස්සෙ තමයි කහවත්තට හරි පැල්මඩුල්ලට හරි ගෙනැත් තියෙන්නේ. මේ ගල සම්බන්ධයෙන් කියන කතාවල කිසිම විශ්වාසයක් නෑ…’’ කහවත්තේදී අපට හමු වූ මැණික් ව්‍යාපාරිකයා ලොව විශාලතම මැණික සම්බන්ධයෙන් කතා කළේ දැඩි කලකිරීමෙනි. ඔහු කියන කතාව සනාථ කරන තොරතුරක් අපට ද ලැබිණි. ඒ ලොව විශාලතම මැණිකෙ අයිතිකරු යැයි කතා පැතිරෙන කහවත්ත ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයාගේ ගෙවත්තේ කඩි මුඩියේ වළක් හාරන බවට ලැබුණු තොරතුරය. එහෙත් පසුගිය බදාදා සවස රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් සහ තක්සේරුකරුවන් මාධ්‍ය ඉදිරියට පැමිණ ලොව විශාලතම මැණික් ගල ‘සෙරන්ඩිපිටි’ සම්බන්ධයෙන් අදහස් දක්වන අවස්ථාවේදී හැඳින්වූයේ පැල්මඩුල්ලේ මැණික් ව්‍යාපාරිකයකුගේ ගෙවත්තකින් හමු වී ඇති බවය. එම අදහස් දැක්වීම තුළ ලොව විශාලතම මැණික යැයි කියන ‘අමුතු පාෂණය’ ගැන සුබවාදී අදහස් නම් පළනොවිණි. පහතින් පෙළගැසෙනුයේ එම මාධ්‍ය හමුවේ රූපවාහිනී ප‍්‍රවෘත්තිවල විකාශය වූ කෙටි අදහසකි.

 ‘‘මේ ගලට ලබාදෙන වටිනාකමට අපිත් හොල්මන් වෙලා ඉන්නේ. මේ ගල මාබල් එකක්. ක‍්‍රිස්ටල් ඇලිලා තියෙන්නේ. ගල මැරිලා. කෞතුකාගාරයකට නම් හොඳයි. ඒත් රුපියල් ලක්‍ෂ දහයකවත් වටිනාකමක් නෑ…’’ දැන්, දැන් ලොව විශාලතම තාරුකා මැණික් පොකුර සම්බන්ධයෙන් ඇසෙන තරමක් ඇසෙනුයේ අමුතු කතාය. එහෙත් ලෝකයේ වැඩිම වටිනාකමක් සහිත මැණික් සම්පත හිමි පවුල ජීවත් වන්නේ ද මෙරට පැල්මඩුල්ලේය. එම මැණික් සම්පතේ අයිතිකරුවන් අදටත් පතල්වල කුලීකරුවන්ය. මැණික් ගල මිලට ගත් මෙරට සුප‍්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයා අදටත් එම ගලේ කෑලි කපා විශාල මිල ගණන්වලට ලෝකයට විකුණන බව දන්නෝ දනිති. පෙර දිනක එම මැණික් සම්පත හිමි පවුලේ සාමාජිකයකු අපට මුණගැසිණි. ඔහු සමඟ කතා බහකොට පවුලට සම්පතක් නොවුණු ලොව මිල අධිකම මැණික් පොකුර ලැබුණු ආකාරය, වෙච්ච දේ ගැන දිවයින ඉරිදා සංග‍්‍රහයට ලිපියක් ද අපි ඉදිරිපත් කළෙමු. මේ එම ලිපියෙන් උපුටා ගැනීමකි.

 ‘‘ඔය සිද්ධිය වුණේ 1986 අවුරුද්දේ. ගෙපලට පස් පුරවන්න කණ්ඩියක් කපනකොට තමයි ඔය කියන මැණික් පොකුර ලැබුණේ. ලොකු ගල මිරිස් ගලක් වගේ විශාල ගල් පොත්තක්. ඒ එක්ක තවත් සාමාන්‍ය ගල් කිහිපයක්ම තිබුණා. ඒ සේරම ගල් කොරසවලින් වැහිලා, තිරිවාන ගල් වගෙයි. අපේ අයියා පතල් කර්මාන්තයේ හිටිය නිසා ඒ ගල්වල වෙනසක් දැකලා ගෙදරට ගෙනැත් කොරස පොතු ගහලා බලනකොට තැනින්, තැනින් නිල් පාට දැක්කා. ඒත් අපේ ලොකු අයියා ඒ ගැන මුකුත් කිව්වේ නෑ. පතලක වැඩ කරන නිසා අයියා බය වුණා. අන්තිමේ අපේ මස්සිනයි, තාත්තයි එකතු වෙලා ලොකුම මැණික් ගල ගෙනිහින් කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට පෙන්නලා තිබුණා. ඒ ව්‍යාපාරිකයා ඒ මොහොතේම රුපියල් ලක්‍ෂ දහහතක් දීලා මැණික අරගෙන තිබුණා. පස්සෙ තමයි අපිට ආරංචි වුණේ තාත්තලා විකුණපු ලොකුම ගල කිලෝ හතළිස් පහක් බර නිල් මැණිකක් කියලා. ඒ මැණික් ගල් පොකුරෙ තිබුණු තරමක් ලොකු ගලක් අපේ ගෙයි මුල්ලක දාලා තියෙනකොට ගමේ කෙනෙක් අරගෙන ගිහින් කොරස පතුරු ගහලා බලනකොට නිල් මැණිකක් තිබිලා තියෙන්නෙ. ඒ මැණිකෙ බරත් කිලෝ හයක්. ඒ මනුස්සයා මැණික විකුණලා අද කෝටි ප‍්‍රකෝටිපතියෙක් වෙලා ඉන්නවා…’’ පවුලට ලැබුණු සම්පතෙන් ප‍්‍රයෝජනයක් නොගත් ආකාරය ගැන අපට විස්තර කරනු ලැබුයේ එම පවුලේ බඩපිස්සාය. අදටත් පතල්වල වැඩකරන කම්කරුවෙකි.

 ඔවුන්ට ලැබුණු මැණික් සම්පතෙන් නිසි ප‍්‍රයෝජනයක් ලබාගැනීමට නොහැකි වී තිබුණේ රජයේ පිළිගත් ආයතනයකට ගල් ටික ඉදිරිපත්කොට වටිනාකම තක්සේරු නොකරගැනීම නිසාය. එමෙන්ම මැණික්පුරයේ ජීවත්වෙමින්, පතල් කර්මාන්තයේ නිතරව සිටිය ද මැණික් පිළිබඳ හරි අවබෝධයක් නොමැතිකම සහ මැණික් කර්මාන්තයේ ඒකාධිකාරියට බිය වූ නිසාය. ‘වටිනා මැණික්’ හඳුනාගැනීමේ දුර්වලතා නිසා ව්‍යාපාරිකයන්ට රැවටී සොච්චමට විකුණා දැමූ අවස්ථා, තිරිවාන ගල් යැයි කියා වටිනා මැණික් ඉවත දැමූ අවස්ථා ද රත්නපුරේ දිස්ත‍්‍රික්කයෙන් අඩු නැතිව විටින්විට වාර්තා වූ බව අසත්‍යයක් නොවේ. එහෙයින් පැල්මඩුල්ලේ අලූත කපන ළිඳකින් මතු වූවා කියන ‘අමුතු පාෂාණය’ මැණික් ව්‍යාපාරිකයකුට හමු වූ නිසා එහි වටිනාකමක් ඇති බව ඔහු හඳුනාගත්තේය. රත්නපුරේ සාමාන්‍ය කෙනෙකුට මේ ගල හමු වූවා නම් නිකම්ම නිකම් ගලක්ය. එහෙයින් පැතිර යන කතා විවිධාකාර වුවද පැල්මඩුල්ලේ ළිඳකින් මතු වී ඇතැයි කියන මේ මැණිකේ තක්සේරු වටිනාකමෙන් ඔබ්බට ගිය නොසිතූ මිලක් ලැබීමට ද ඉඩ නැතුවාම නොවේ. අපගේ ප‍්‍රාර්ථනාව ද මේ තරුකා මැණික් පොකුර ලෝකය ඉදිරියේ දීප්තියෙන් බබළමින් ඉහළ වටිනාකමක් ලැබේවා කියාය. මෙරට බහුතරයක් වූ පුරවැසියන්ගේ ප‍්‍රාර්ථනාව ද එයම බව මුහුණුපොතේ සැරිසරනවිට අපට දැකගැනීමට ලැබිණි.

 ‘සැබැවින්ම අප සිටින්නේ පුණ්‍ය භූමියක. ඕනෑම අසීරු අවස්ථාවකින් ගොඩ යෑමට ජයශ‍්‍රී මහා බෝධියේ සහ ශ‍්‍රී දළදා සමිඳුන්ගේ පිහිට ආශීර්වාදය මේ මවුබිමට නිරන්තරයෙන්ම ලැබෙනවාෟ මේ මැණික මතුවීම ඊට කදිම නිදසුනක්…’ ඒ ලොව විශාලතම මැණික් පොකුර යැයි කියන ‘සෙරන්ඩිපිටි’ මැණික සම්බන්ධයෙන් මුහුණු පොතේ දක්වා තිබූ අදහසකි. ඒ වචන කිහිපය හරිම අගේය. එහෙත් ජනතාව සිහිනවල අතරමංකොට සහ මෙරට කීර්තිමත් කර්මාන්තයක් වන ‘මැණික් කර්මාන්තය’ ජාත්‍යන්තරයේ විගඩමක් කර ‘නාඩගම් රඟදැක්වීමට යම් පාර්ශ්වයක් කටයුතු කරන්නේ නම් කාලකණ්ණි ගෝත‍්‍රික ක‍්‍රියාවක් ලෙස එය හෙළා දැකීමට ද අපි පසුබට නොවෙමු.

 තරංග රත්නවීර
 කහවත්ත – තුෂාර හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment