රුපියල් කෝටි 81 ක ඒ දිනුමත් ශ්‍රී ලාංකිකයෙකුට.. පිටපිටම දෙවැනි වරත් ඩුබායි ඉහළම ලොතරැයිය අපිට…

581

* සැනසිලි තෑග්ගකුත් ලංකාවට

 ගයාන් සමරසිංහ

දිනය පසුගිය තුන් (03) වෙනිදාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ බිග් ටිකට් ලොතරැයි දිනුම් ඇදීමේ වේදිකාව විවිධ වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් වෙමින් තිබුණි. ඒ සමගම වේග රිද්ම සංගීතයට සුන්දර තරුණියන් පිරිසක් බටහිර පන්නයේ නැටුමක නියැලෙමින් සිටියහ.

 එලෙස අති උත්කර්ෂවත් අන්දමින් හැඩවැඩ වී තිබුණ වේදිකාවට නිවේදක රිචඞ් සහ නිවේදිකා බවුචා සුපුරුදු සිනහව මුවේ රඳවා ගනිමින් පැමිණියහ. එලෙස පැමිණි ඔවුන් දෙදෙනා 230 වැනි අබුඩාබි ”බිග් ටිකට්” සජීවී ලොතරැයි ඇදීමේ තරගය ආරම්භ කිරීමට සැරසුණහ.

 

රුපියල් කෝටි 81 ක ඒ දිනුමත් ශ්‍රී ලාංකිකයෙකුට.. පිටපිටම දෙවැනි වරත් ඩුබායි ඉහළම ලොතරැයිය අපිට...

”මිනිසුන්ගේ ජීවිත නොසිතු මොහොතක අංශක 180 කට ම කරකවන ‘බිග් ටිකට්’ දිනුම් ඇදීමේ තරගය ආරම්භ කිරීමටයි අපි දැන් සූදානම් වන්නේ . ඒ සඳහා ඔබ සැම අපි සාදරයෙන් පිළිගන්නවා.”

 එතනින් නොනැවතුණු නිවේදක රිචඞ් සහ නිවේදිකා බවුචා බිග් ටිකට් ඉතිහාසය ගැන සහ එහි ත්‍යාග පිළිබඳව ද විස්තරයක් ඉදිරිපත් කළහ. ඒ අතර කාලය තුළ පේ‍්‍රක්ෂක සිත් මන බඳවා ගැනීම සඳහා විටින් විට නැටුම් සහ ගැයුම් ද ඉදිරිපත් කළහ. ඉන්පසු 230 වැනි බිග් ටිකට් ජයග‍්‍රාහකයින් තෝරා ගැනීම ආරම්භ කළහ.

 වේදිකාව මත තිබූ විශාල වීදුරු කුටියක් තුළ ජනතාව මිලදීගත් ලක්ෂ ගණනකට අධික ටිකට් පත් දමා තිබුණි. බිග් ටිකට් සම්ප‍්‍රදාය අනුව පළමුව තිබුණේ සැනසිලි තෑගි දීම ආරම්භ කිරීමයි.

 ඒ අනුව විශාල වීදුරු කුටියේ තිබූ ටිකට්පත්වලින් අහඹු ලෙස තෝරාගත් ප‍්‍රමාණයක් තවත් පොඩි වීදුරු කුටියකට දැමුවේය. ඉන්පසු එලෙස දැමූ ටිකට්පත්වලින් එක් ටිකට් පතක් තෝරාගෙන ජයග‍්‍රාහකයාගේ නම ප‍්‍රසිද්ධියට පත් කරයි. පළමුව ඔවුන් එලෙස සැනසිලි තෑගි හිමි ජයග‍්‍රාහකයන් දසදෙනා තෝරා ගත්හ.

 එලෙස සැනසිලි තෑගි හිමි ජයග‍්‍රාහකයින් තෝරාගත් පසු පැවතියේ ”බිග් ටිකට්” ලොතරැයි දිනුම් ඇදීමේ සුවිශේෂී කඩඉමයි. ඒ පළවෙනි, දෙවැනි සහ තුන්වැනි ජයග‍්‍රාහකයින් තෝරාගැනීමේ අවස්ථාවයි.

 මෙවර පළමු ජයග‍්‍රාහකයාට ඩිරාම් මිලියන පහළොවක් (රුපියල් කෝටි 81 ක්), දෙවන ජයග‍්‍රාහකයාට ඩිරාම් මිලියනයක් (රුපියල් කෝටි 5.5 ක්) සහ තුන්වෙනි ජයග‍්‍රාහකයාට ඩිරාම් මිලියන භාගයකුත් ලබා දෙයි.

 සුවිශේෂී ජයග‍්‍රහණ මුදල් ලබාදීම සඳහා ජයග‍්‍රාහකයින් තේරීම ආරම්භ කෙරුණි. ඒ අනුව තුන්වැනි ස්ථානයට හිමි තෑගි මුදල දිනාගත්තේ මොහොමඞ් පාෂ් නමැති ඉන්දියානු ජාතිකයෙකි. ඔහු වසර කීපයක සිට ඩුබායි පදිංචිව රැකියාවක නියැලේ. දෙවැනි ස්ථානයට හිමි තෑගි මුදල හිමිකරගත්තේ පිලිපීන ජාතික ක‍්‍රිස්ටින් බැරන්ඩිටය. ඔහු ද කලක සිට ඩුබායි රටේ සේවය කරන අයෙකි. ඔහුගේ තවත් විශේෂත්වයක් වන්නේ ඩුබායි රාජ්‍යයට පැමිණි දිනයේ සිටම ඔහු බිග් ටිකට් මිල දී ගැනීමයි.

 ඉන් අනතුරුව උදාවූයේ ”බිග් ටිකට්” ලොතරැයියේ පළමු ජයග‍්‍රාහකයා තේරීමයි. ඒ සඳහා ඩුබායි වෙසෙන ශ‍්‍රී ලාංකික ජාතිකයකුට ආරාධනා කර තිබිණි. ඔහු අන් කිසිවකුත් නොව ගියවර බිග් ටිකට් පළමු ත්‍යාග හිමිකරගත් ශ‍්‍රී ලාංකික මොහොමඞ් රිෂ්පික්ය. මෙවර පළමු ත්‍යාගය හිමි ජයග‍්‍රාහකයා තේරීමේ අවස්ථාව උදාවී තිබුණේ ඔහුටයි.

 විශාල පිරිසක් සුරතේ ටිකට් පත තබාගනිමින් බලා සිටියේ ජයග‍්‍රාහකයා තමන් ද යන්න පිළිබඳවයි.

 නිවේදකයා සහ නිවේදිකාව පළමු ත්‍යාගය පිළිබඳ බොහෝ දෑ පවසමින් පේ‍්‍රක්ෂකයන්ගේ සිත් තුළ ඒ පිළිබඳව බලාපොරොත්තු ඇති කළහ.

 ”අප සැරසෙන්නේ 230 වෙනි බිග් ටිකට් ලොතරැයියේ පළමු ජයග‍්‍රාහකයා තේරීමටයි. ඒ සඳහා අපි සුහදව ආරාධනා කරනවා ගියවර පළමු ස්ථානය හිමිකර ගත් ශ‍්‍රී ලාංකික ජාතික මොහොමඞ් මහතාට. අප වෙත ලැබී ඇති මෙම විශාල ටිකට්පත් ප‍්‍රමාණයෙන් ජයග‍්‍රහි ටිකට්පත තෝරා දෙන ලෙසට.”

  නිවේදක රිචඞ්ගේ කීමට අනුව මොහොමඞ් අසල වීදුරු කුටියේ තිබූ ටිකට්පත්වලින් එක් ටිකට් පතක් අහඹු ලෙස තෝරා ගත්තේය. එලෙස තෝරාගත් ටිකට් පත නිවේදක රිචඞ් ට ලබා දුන්නේය.

 ”මගේ සුරතේ දැන් තිබෙන්නේ මොහොමඞ් විසින් තෝරා දුන් ජයග‍්‍රාහකයාගේ ටිකට් පතයි. එම වාසනාව හිමිකර ගෙන ඇත්තේ කවුරුන්ද? කල් නොයවාම අපි බලමු. මම දැන් ජයග‍්‍රාහි අංක පැවසීමටයි යන්නේ. බලන්න ඔබගේ ටිකට් පතේ එම අංක තිබෙනවාද කියා.”

 මොහොමඞ් විසින් ලබාදුන් ටිකට් පත විවෘත කර බැලූ රිචඞ්, බවුචා සමඟ දෙසිය තිස් වෙනි ”බිග් ටිකට්” ලොතරැයියේ ජයග‍්‍රාහි අංක පිළිවෙළින් පැවසුවේ මෙලෙසින්ය.

 ”ජීවිතය අංශක 180 කට වෙනස් කරන ජයග‍්‍රාහි ටිකට් පතේ පළමු අංකය වනුයේ අංක 2. දෙවන අංකය වනුයේ 1. තුන්වන අංකය වනුයේ අංක 3. හතරවන අංකය වනුයේ 2. පස්වනු අංකය වනුයේ 8. අවසන් අංකය වනුයේ අංක 8.”

 ”බලන්න ඔබගේ ටිකට් පතේ ජීවිතේ වෙනස් කරවන මෙම අංක තිබෙනවාද කියා. එලෙස ජීවිතය වෙනස් කරගන්නා ටිකට් පත මිලදී ගත වාසනාවන්තයා කවුරුන්ද ක‍්‍රියා අපි බලමු.”

 ”ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරින් එම වාසනාව හිමිකර ගෙන තිබෙන්නේ රසික නමැති ශ‍්‍රී ලාංකිකයෙකි. අපි ඇත්තටම සතුටු වෙනවා පිට පිටම දෙවැනි වරටත් ශ‍්‍රී ලාංකිකයෙකු මෙම ජයග‍්‍රහණය ලැබීම ගැන. ඒ එක්කම මෙම ජයග‍්‍රහණය ඔහුට ගෙනාවේ තවත් ශ‍්‍රී ලාංකිකයෙකි. එයත් මහත් පුදුමයකි…”

 ”රිචඞ් ඔයා කතා කළා ඇති. අපි දැන් ජයග‍්‍රාහකයාට මේ බව දැනුම් දෙමු. ඔහුට මේක අදහගන්නත් බැරි වේවි..”

 ”ඔව් බවුචා. ඩිරාම් මිලියන 15 ක් හිමිකරගත් රසිකව දුරකථනයෙන් මට සම්බන්ධ කරලා දෙන්න.”

 ඒ අනුව රසිකට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

 ”හෙලෝ මම කතා කරන්නේ රිචඞ්. ‘බිග් ටිකට්’ ලොතරැයිපත් සමාගමෙන්. ඔය රසික නේද?”

 ”ඔව් මම රසික.”

 ”දන්නවද මම කතා කරන හේතුව.”

 ”නැහැ.”

 ”ඔය බිග් ටිකට් ලොතරැයියේ පළමු ත්‍යාගය ජයග‍්‍රහණය කරලා තියෙනවා.”

 රිචඞ් ඉංග‍්‍රීසි භාෂාවෙන් ඉතා උද්‍යෝගයෙන් එලෙස පවසද්දී රසිකට එය හිතා ගැනීමටවත් නොහැකි විය. එක්වරම ඔහු මේ දකින්නේ හීනයක් දැයි කල්පනා කළේය. තප්පර ගණනක් ඔහුට කිසි දෙයක් ප‍්‍රකාශ කර ගැනීමට පවා නොහැකි විය. ඒ සිතේ ඇතිවූ කියා ගත නොහැකි ප‍්‍රීතිය නිමිත්තෙනි. එලෙස කියාගත නොහැකි ප‍්‍රීතියෙන් රසික ඉපිල යද්දි නිවේදක රිචඞ් යළි මෙලෙස පැවසුවේය.

 ”ඔබ ජයග‍්‍රහණය කර තිබෙන මුදල ඩිරාම් මිලියන පහළොවක්, ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි අසූ එකක. හැකි ඉක්මනින් අපි එය ඔබට පිරිනමනවා. ඒ එක්කම මෙම මුදල් සමගින් සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි ඔබට සුබ පතනවා.”

 ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 81කට ආසන්න මුදලක් දිනූ රසික අබුඩාබි නගරයේ රැකියාවක් සඳහා ගොස් තිබුණේ මීට වසර කිහිපයකට පෙරයි. ඔහු වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකි.

 රසික මෙම ටිකට් පත ඩිරාම් 100 ක මුදලකට මිලදීගෙන තිබුණේ පසුගිය මස විසි නව වැනිදාය. ඒ තවත් මිතුරන් අට දෙනකු සමගයි. ඒත් වැඩිපුර මුදල් යොදා තිබුණේ රසික විසින්ය. එම නිසා මෙම ත්‍යාග මුදල වැඩි කොටසක් හිමිවනුයේ ඔහුටය.

 මෙම ජයග‍්‍රහණය පිළිබඳ රසික පැවසුවේ මෙවන් අදහසකි.

 ”මට ඇමතුම ලැබුණු විට, රිචඞ් (බිග් ටිකට් සත්කාරක) අනෙක් කෙළවරේ සිටින බව මට විශ්වාස කළ නොහැකි වුණා. මුලින්ම මම හිතුවේ කවුරුහරි මට විහිළු කරනවා කියලා.”

 ”මම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණියේ 2005 වර්ෂයේ දී. ඩුබායි හි මාර්ග සහ ප‍්‍රවාහන අධිකාරියේ ව්‍යාපෘතිවල වැඩ කරන ඉංජිනේරුවෙක්. මම රාස් අල් කයිමා හි නැවතී සෑම දිනකම ඩුබායි වෙත ගමන් කරනවා.”

 ”මගේ පවුල ශ‍්‍රී ලංකාවේ සිටින අතර, මෙම මුදල් සමඟ මම ඔවුන්ව ඩුබායි වෙත ගෙනැවිත් ඔවුන්ට හොඳ ජීවන තත්ත්වයක් ලබා දීමට සැලසුම් කරනවා. මා දිනාගත් මුදල සමඟ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සහෝදරිය සහ දෙමාපියන් සඳහා නිවසක් තැනීමට ද කටයුතු කරනවා.”

 මෙහි තවත් සුවිශේෂීත්වයක් වන්නේ බිග් ටිකට් සැනසිලි ත්‍යාගවල හත්වැනි ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ ශ‍්‍රී ලාංකිකයෙකු වීමයි. සුලෙන්තරම් රසෙන්තරම් වන ඔහු දෙමළ ජාතිකයෙකි. ඔහු ජයග‍්‍රහණය කළ ඇති මුදල ඩිරාම් 60,000 කි. 

advertistmentadvertistment
advertistmentadvertistment