රුපියල් සත මීගමුව කලපුව වනසයි

800

ඌරුන්ගේ – මාළුන්ගේ අපද්‍රව්‍ය ඇතුළු නිදහස් වෙළෙඳ කලාපයේ රසායනික බැහැර කරලා

දැනට ශත වර්ෂ ගණනාවකට ඉහත පාරම්පරික කලපු ධීවර කාර්මිකයන් විසින් තම පණ දෙවෙනි කොට රැක ගත් මීගමුව කලපුව මේ වනවිට වත්මන් කලපු ධීවර කාර්මිකයන් විසින් රුපියල් සත එකතු කිරීමට පෙළඹී මීගමුව කලපුව විනාශ කිරීමට දායක වී ඇත.

මීගමු කලපුව වටා එදා තිබූ මාළු කොටු වෙනුවට කලපු ධීවර කාර්මිකයන් විසින් මීගමුව කලපු තීරයේ ඉදිකර ඇත්තේ මහා පරිමාණයේ සූකර කොටුය. එම සූකර කොටුවලින් මහා පරිමාණයෙන් ඉවතලන සූකර අසූචි සහ අනිකුත් අපද්‍රව්‍ය මීගමු කලපුවට එක් කරමින් මහා පරිමාණයේ පරිසර විනාශයක් සිදු කරයි. මෙම ඌරු කොටුවලින් මීගමු කලපුවට එක් කරන සූකර අසූචි සහ අනිකුත් අපද්‍රව්‍ය ප‍්‍රමාණය ටොන් ගණනකි.

මීට අමතරව කලපුව වඩා ඇති දූපත් 10 ක පමණ කරවල නිපදවීම සිදුකරයි. මෙම කරවල වාඩිවලට කරවල වේලීම සඳහා මසුන් ගෙනෙන්නේ විදේශවලිනි. කන්ටේනර් මගිනි. එසේ ආනයනය කරන මත්ස්‍ය කන්ටේනර් බහුතරයක ඇත්තේ මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ මාළුන්ය. මෙසේ දූපත්වලට ගෙන එන ලබන නරක් වූ මාළුන් ක්ලෝරින් සහ ලූණු මිශ‍්‍ර ජලයේ ගිල්වා ශුද්ධ කොට ඉවතලන මත්ස්‍ය අතුරුබහන් කුණු ලේ ආදී අපවිත‍්‍ර කොටස් ක්ලෝරීන් සහ ලූණු ජලය සමඟ කලපුවට මුදාහරිනු ලබයි. ක්ලෝරීන් සහ මුහුදු ජලය එක්වීමෙන් කලපුවට සිදුවන හානිය අතිමහත්ය. එමෙන්ම කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්තශාලවල රෙදිපිළි ආදිය රසායන ද්‍රව්‍යවලින් සෝදා මහා පරිමාණයෙන් ඉවතලන අපද්‍රව්‍යවලින් ජලය දඬුගම් ඔය ඔස්සේත් කලපුවට එක් කරයි. නිදහස් වෙළෙඳ කලාපයෙන් පිට කරන විෂ අපජලය අතිවිශාල ප‍්‍රමාණයකි.

ඊට අමතරව කලපුව වටා වෙසෙන කලපු ධීවර කාර්මිකයන් තමන්ගේ නිවෙස්වල වැසිකිළිවල බට යොමු කර ඇත්තේ මීගමුව කලපුවටය. එමෙන්ම හෝටල් ආදියෙහි වැසිකිළි බට යොමු කර ඇත්තේ මීගමු කලපුවටය. එයින් සිදුවන කලපු හානිය අති විශාලය.

මීගමුව කලපු මායිම වශයෙන් හැඳින්වෙන කඩොලාන ශාක පද්ධතිය කපා ඒවා මත පස් පුරවා ගොඩ කර තම ඉඩම්වලට කලපුව ඈඳා ගැනීමට කි‍්‍රයා කරන කලපු ධීවරයන් සංඛ්‍යාව අතිවිශාලය. මෙම තත්ත්වය කලපුව ආශි‍්‍රතව මහා පරිමාණයේ ධීවර යාත‍්‍රා නිපදවන ධීවර යාත‍්‍රා හිමියන් පෙළඹී ඇත. මේ වනවිට මීගමු කලපුවේ ඉස්සන් සහ පාරම්පරික පැවති මසුන් බොහොමයක් කලපුවෙන් අතුරුදන්ව ඇත. මෙම තත්ත්වය යටතේ මීගමුව කලපුව දිනෙන් දින විනාශ වීම කිසිවෙකුට නතර කළ නොහැකි යැයි පවසන පරිසරවේදීහු ජාතික සම්පතක් වන මීගමු කලපුව රැක ගැනීමට වහා ඉදිරිපත් වන ලෙසට රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment