රුපියල් 20ට මිනී මරපු 3කට මරණ දඩුවම ස්ථිරයි

666

රුපියල් 20 ක් සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් සංවාදයක් මුල්කරගෙන 29 හැවිරිදි අවිවාහක තරුණයකු තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කොට කාන්තාවන් දෙදෙනකු ඇතුළු මරණකරුගේ ඥාතීන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියම කළ මරණීය දණ්ඩනය හා සෙසු දණ්ඩන නියෝගයන් අභියෝගයට ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් තුනක් ප‍්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය මහාධිකරණයේ තීන්දුව ස්ථිර කරමින් නියෝගයක් නිකුත් කළේය.

1996.11.02 වැනිදා පන්නිපිටියේදී සුසන්ත පෙරේරා නැමැත්තාව කඩු පිහි හා කිණිසි වලින් කපා කොටා ඝාතනය කිරීම හා එකී ඝාතනය වැළැක්වීමට උත්සාහ කළ ඔහුගේ ඥාතීන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා යටතේ විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ පුර්වගාමි ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරුවන් තිදෙනකුට මරණ ද`ඩුවම නියම කොට සෙසු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කොට තිබිණි.

මහාධිකරණය විසින් 2018.07.18 වැනිදා නියම කළ මරණීය දණ්ඩන නියෝගය හා දඩ නියෝගයන්ට එරෙහිව ලක්මාල් ප‍්‍රදීප් පේ‍්‍රමචන්ද්‍ර, සුමිත් ශී‍්‍ර ලාල් හා සුදත් කුමාර නමැති විත්තිකාර පෙත්සම්කරුවන්

ගොනු කර තිබූ ප‍්‍රතිශෝධන අයැදුම්පත් සලකා බැලූ නිශ්ශංක බන්දුල කරුණාරත්න හා රත්නපි‍්‍රය ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.

මහාධිකරණය විසින් සිය සේවාදායකයන්ට එරෙහිව එම දඩුවම් නියම කර ඇත්තේ එකී අපරාධයට ඔවුන්ගේ ඇති සම්බන්ධතාවය හා එම අපරාධය සිදුවන මොහොතේ ඔවුන් එම ස්ථානයේ සිටියේ දැයි නිශ්චිතවම තහවුරු කර ගැනීමකින් තොරව වන්නේ යැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ තර්ක විනිසුරු මඩුල්ල ප‍්‍රතික්ෂේප කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර නීතිඥ ඉන්දිකා මල්ලවආරච්චි මහත්මිය, ජනාධිපති නීතිඥ පාලිත ප‍්‍රනාන්දු හා ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි යන මහත්වරු පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment