රුපියල් 5000කටත් මිනී මැරූ ගනේමුල්ලේ සංජීවත් ගුවන්තොටුපළේදී මාට්ටූ

1049

කත්මණ්ඩු ඉඳන් බියක් සැකක් නැතිව ඇවිත්

මුලින්ම හඳුනා ගත්තේ රේගු නිලධාරීන්

පාස්පෝට් එකේ නමත් අමතකවෙලා

පාතාලයට සම්බන්ධ නැති අහින්සකයොත් මරලා

ලංකාවට ආවේ දේශපාලන හයියකින්ද

අවි පෙන්වන්න ගිහින් අපරාධවලට උදව් කළ අය හංගන්නත් එපා

සේනාධීරගේ කරුණාරත්න නමැති ලාංකිකයෙක් පසුගිය 13 වැනිදා දහවල් 12.50ට කත්මණ්ඩු සිට කොළඹ බලා එන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඹඛ 182 යානයට කත්මණ්ඩු අන්තර්ජාතික ගුවන් තොටුපළින් ගොඩවුණේය. කිසිම කලබලයක් නොපෙන්වූ කොණ්ඩය කොටට කපා රැවුල වවාගත් වියළි දෑසක් සහිත මෙම පුද්ගලයා සම්බන්ධව කිසිවෙකුට විශේෂ අවධානයක් යොමුවූයේ නැත. ඒ ඔහු අන් අය මෙන්ම හැසිරුණු නිසාය. ඔහු යානයේ 198 ආසනයේ ඉඳගෙන ගැඹුරු කල්පනාවකින් යුතුව මෙරටට එමින් සිටියේය.

කත්මණ්ඩු සිට කොළඹ බලා එන ගමන මගීන් විශේෂයෙන්ම ආකර්ෂණය කරන්නකි. ඒ ගමනේ සෑහෙන කාලයක් යානය ගමන් කරන්නේ හිමාලය කඳු වැටිය මතිනි. කවුළුව අසල සිටින බොහෝ පිරිස් ඒ අසිරිය විඳිති. එහෙත් ඒ අසිරිය විඳීමට තරම් වූ අවශ්‍යතාවක් මේ පුද්ගලයාට නොතිබුණි. ඒ නොයෙක් සිතුවිලි වලින් ඔහුගේ මනස පිරී තිබූ නිසාවෙනි. එලෙස පැය කීහිපයක ගුවන් ගමනකින් පසු කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට යානය පැමිණියේය.

එහෙත් ගුවන්තොටුපළින් පිටවීමට පෙර ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරියෙක් සේනාධීරගේ කරුණාරත්නගේ විදෙස් ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කළේය. එම නිලධාරියා රාජකාරි අත්දැකීම් බහුල දක්ෂ තීක්ෂණ බුද්ධියක් ඇති නිලධාරියෙකි. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය දුටු සැණින්ම එය වංචනිකව සැකසූ එකක් බව ඔහු අවබෝධ කරගත්තේය. ඒ අනුව ඔහු සේනාධීරගේ කරුණාරත්නගෙන් මෙලෙස ප්‍රශ්න කිහිපයක් විමසුවේය.

“කොහෙන්ද මේ පාස්පෝට් එක හදා ගත්තේ.”

“ලංකාවෙන් තමයි හදාගත්තේ.” සේනාධීරගේ පිළිතුර විය.

“බොරැ කියන්න එපා. මේක ලංකාවෙන් හදපු පාස්පෝට් එකක් නොවෙයි.”

“නැහැ සර් මම ඇත්ත කියන්නේ.”

මඳක් ව්‍යාකූල වූ තත්ත්වයකින් යුතුව ඔහු නැවතත් එලෙස පිළිතුරු දුන්නේය. ඒ වන විටත් එම නිලධාරියා ඔහු ගැන හොඳ නිරීක්ෂණයකින් යුතුව සිටියේය. ඒ අනුව ඔහුට අවබෝධ වූයේ මෙම පුද්ගලයා වැරැදි තොරතුරු සපයන බවයි.”

“එහෙනම් පාස්පෝට් එකේ තියෙන නම කියන්න.”

ඔහුට එය කීමට නොහැකි විය. එපමණක්ද නොව ඔහුගේ හැඳුනුම්පත් අංකයද විමසුවේය. එයට ද නිසි පිළිතුරක් දීමට ඔහුට නොහැකි විය.

“එහෙනම් ඔයා මේ පාස්පෝට් එකෙන් රට ගියේ කවදාද?”

“මට දිනය හරියට මතක නැහැ. දැන් මාස කීහිපයකට එහා තමයි ගියේ.”

එලෙස ප්‍රශ්න කරන අතරතුර එම නිලධාරියා මෙම විදෙස් ගමන් බලපත්‍රයේ අංකය පරීක්ෂා කර බැලුවේය. එම අංකය යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සාදා තිබුණේ මෙරට කාන්තාවකගේ නමටයි. මේ සියලු තොරතුරු සාක්ෂාත් කරගත් එම නිලධාරියා අවසන් වරට එම පුද්ගලයාට මෙලෙස පැවසුවේය.

“තවත් බොරු කියලා අමාරුවේ වැටෙන්න එපා. ඇත්ත කියන්න. එතකොට අපි බලන්නම් මොකක්ද කරන්න පුළුවන් කියලා.”

සේනාධීරගේ කරුණාරත්නගේ විනාඩි කිහිපයක් නිහඬව සිට එම නිලධාරියාට මෙලෙස පැවසුවේය. ඒ එම නිලධාරියාගෙන් යම් සහනයක් බලාපොරොත්තු වීමේ අරමුණින්ය.

“හරි සර් මම ඇත්ත කියන්නම්. මට මේ පාස්පෝට් එක හදලා දුන්නේ යාළුවෙක්. ඒ කොහෙදිද කියලා මම හරියටම දන්නේ නැහැ. වෙනත් රටකදී වෙන්නැති. එච්චරයි මම දන්නේ. පුළුවන්නම් මට යන්න දෙන්න. මම ප්‍රශ්න ගොඩක ඉන්න මිනිහෙක්. ඒකයි මෙහෙම හොර රහසේම ආවේ.”

“මොනවද ඔයාට තියෙන ප්‍රශ්න.”

“ඒවා මෙහෙම කියන්න බැහැ සර්.”

“එහෙම කියන්න බැහැ කියල හරියන්නෙ නැහැ. දැනටමත් ඔයා වරදක් කරලා තියෙන්නේ. ඒක නිසා මට ඇත්ත කියන්න.”

“මට නඩු කීහිපයක් තියෙනවා. ඒ වගේම මම වරෙන්තු කරුවෙක්.”

“මොනවද තියෙන නඩු.”

“පොඩි පොඩි නඩු ටිකක් සර්.”

“පොඩි ද ලොකුද කියලා මට අදාළ නැහැ. ඒක නිසා මට ඇත්ත කියන්න.”

කොතරම් බැගෑපත් වුවත් එම නිලධාරියාගෙන් බේරීමට නොහැකි බව ඔහු තේරුම් ගත්තේය. එම නිසා තමන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට ඔහු සූදානම් විය. ඒ අනුව ඔහු එම නිලධාරියාට මෙලෙස පැවසුවේය.

“සර් මගේ නම සංජීව. රටම මාව දන්නෙ ‘ගනේමුල්ලෙ සංජීව‘ කිවුවම.

එලෙස පැවසීමත් සමග එම නිලධාරියා මහත් වුවමනාවකින් යුතුව “ගනේමුල්ල සංජීවගේ” මුහුණ දිහා බලා මෙලෙස පැවසුවේය. “එතකොට ඔයා තමයි නීතියෙන් කට්ටි පැන පැන හිටිය පාතාල ලොකයේ ‘ගණේමුල්ලේ සංජීව‘ කියන්නේ.”

“ඔව් සර් ඒ මම තමයි.”

“ඔයාට කිසිම සහනයක් දෙන්න බැහැ. මොකද ඔයා රතු වරෙන්තු ලබා තිබෙන අංක එකේ අපරාධකාරයෙක්. ඒ නිසා ඔයාට විරුද්ධව නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා. එම නිලධාරියා අවසන් වරට” ගනේමුල්ල සංජීවට” එලෙස පැවසුවේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ එම ආගමන විගමන නිලධාරියා තම ඉහළ නිලධාරීන්ට ද ඒ බව දැනුම් දී ආගමන විගමන නීතියට අනුව සිදුකළ යුතු සියල්ල සිදු කළේය. ඉන්පසු වසර කිහිපයක් විදෙස්ගතව සැඟවී සිට දරුණු ගණයේ අපරාධ රැසක් සිදුකළ “ගනේමුල්ල සංජීව” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේය.

වසර කිහිපයක් විදෙස්ගතව සැඟව සිට නීතිය සත පහකට මායිම් නොකර රතු වරෙන්තු පවා ලබා සිටියදී තම ගෝල බාලයන් ලවා මෙරට මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් සිදුකළ “ගනේමුල්ල සංජීව” නමැති මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරු අවසානයේ නීතියේ රැහැනට කොටු වූයේ එලෙසින්ය. “මාකිලංගමුවේ සංජීව” යන නමින්ද මොහුව හඳුන්වයි.

● ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වීම…

මීට සති කිහිපයකට පෙර මෙරට මධ්‍යය මහා උත්කර්ෂයෙන් වාර්තා කළේ “ගනේමුලේ සංජීව” සහ ඔහුගේ හිතවත් තවත් පාතාල සගයෙක් වූ “ගොත අසංක” සමග නේපාල ඉන්දියා මායිම අසලදී අත්අඩංගුවට ගත් බවය. ඒ ආරංචියෙන් වඩාත්ම පිනා ගියේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයන්ය. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහුගේ ප්‍රතිවාදීන් පසුගිය අගෝස්තු 25 වැනිදා අලුයම යතුරුපැදි දෙකකින් පැමිණි “ගනේමුල්ල සංජීවගේ” මාකිලංගමුව නිවසට වෙඩි තැබුවේය.

එම වෙඩි තැබීමෙන් නිවසේ කිසිවකුටත් අනතුරක් සිදු වූයේ නැත. වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ සංජීවගේ බිරිය දියණිය ඇතුළු ඥාතීන් පිරිසක් නිවසේ රැඳී සිට ඇත. ටී 56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර තිබුණ අතර හිස් පතුරම් කොපු තිහකට ආසන්න ප්‍රමාණයක් එම ස්ථානයේ තිබී පොලිසියට සොයා ගැනීමට හැකිවිය.

අත්අඩංගුවට පත් වූ “ගනේමුල්ල සංජීව” හිටිවනම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත් වන්නේ මෙවැනි පසුබිමක් යටතේදීය.

දැනටමත් “ගනේමුල්ල සංජීව” නමැති අපරාධකරුව රඳවාගෙන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු දීර්ඝ ලෙස ප්‍රශ්න සිදුකරමින් සිටිති. ඒ අනුව ඔහු මේ රටට පැමිණි ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධ බරපතළ තොරතුරු එළියට ඇවිත් තිබේ. එය නිකුත් කර ඇත්තේ 2022.10.01 දිනයේය. මෙම බලපත්‍රය යොදා ගනිමින් යම් පුද්ගලයෙකු අගෝස්තු 30 ඉන්දියාවට ගොස් ඇත. ඉන් අනතුරුව එම පුද්ගලයා සැප්තැම්බර් මස 04 වැනිදා ඉන්දියාවෙන් කත්මණ්ඩු නුවර වෙත පැමිණ තිබේ. මෙහි තවත් විශේෂත්වයක් වනුයේ සැප්තැම්බර් 07 වැනිදා ඔහු කත්මණ්ඩු නුවරින් පිටවී ඇති බව පෙනෙන්ට තිබීමය.

කවුද මේ “ගනේමුල්ලේ සංජීව”…

මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ සුජී, කිඹුලාඇලේ ගුණා ඇතුළු සමහර පාතාල නායකයන් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ලවා වැඩ කර ගත්තේය. එයට හොඳම උදාහරණය වනුයේ ඔවුන්ගේ ප්‍රධාන කුලී වෙඩික්කරු වන එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ අපරාධකරුවෙක් වූ බුම්මාය. දැන් මධුෂ් එලොව ගොස්ය. සුජී රට හැර දා ගොස්ය. කිඹුලා ඇලේ ගුණා ඉන්දියන් අත්අඩංගුවේය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබල ගනයේ සාමාජිකයන්ගෙන් වැඩ ගත් තවත් පාතාල කල්ලි නායකයකු වනුයේ මෙලෙස අත්අඩංගුවට පත්වූ ‘මාකිලංගමුවේ සංජීව’ නොහොත් ‘ගනේමුල්ලේ සංජීව’ ය. ඒ බව පවසන්නේ අප නොව මෙරට බුද්ධි අංශය.

සංජීව සමරරත්න නොහොත් “ගනේමුල්ලේ සංජීව” නොහොත් “මාකිලංගමුවේ සංජීව” යනු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයටත් මුහුණ දුන් පුද්ගලයෙකි. තවදුරටත් අධ්‍යාපනයේ නිරත වෙමින් සාර්ථක ජීවිතයක් ගතකිරීමට ඔහුට හැකියාව තිබුණි. කලක සිට පාතාල උණක් ගසා තිබූ නිසා අධ්‍යාපනයට ආයුබෝවන් කියා ඔහු පාතාලය තෝරාගත්තේය. ඒ තෝරාගැනීම ඔහු දැනුවත්ව සිදුකළ එකකි.

පාතාලය තෝරාගත් “ගනේමුල්ල සංජීව” ට ව්‍යායාම් කර ඇඟ හදාගැනීමේ වුවමනාවක් තිබුණි. ඒ අනුව ඔහු බටපොත ජිම් එකක මාස කිහිපයක් ශරීර ව්‍යායාම්වල නිරත විය. ඒවනවිටත් ඔහු සුළු සුළු හොරකම් කිහිපයක් සිදුකර තිබුණි. එහි පළමු සොරකම ලෙස සැලකෙන්නේ කීර විකුණමින් ජීවත් වූ ආච්චි කෙනෙකු මංකොල්ලකා ලබාගත් රුපියල් තුන්සියයි.

ගමේ ජීවත් වීමට නොහැකි වූ තැන ඔහු වේයන්ගොඩ ප්‍රදේශයට පැමිණියේය. එලෙස පැමිණි ඔහු නයිවල හන්දියේ බෝගහට නුදුරින් ජිම් එකක නැවතී සිටියේය. එලෙස මාස කීපයක් සිටි ඔහු එම ජිම් එකටම පැමිණි තරුණයන් අට දෙනෙක් සමග මාරපොල හන්දියට නුදුරින් බිස්කට් වෑන් එකක් කොල්ල කෑවේය. එහිදී ඔවුන් රුපියල් 70000 ක පමණ මුදලක් මංකොල්ලා කා තිබුණි. එලෙස මංකොල්ලකා සති කිහිපයකට පසු ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ ඔහුගේ පළමු වරට බන්ධනාගාරගත වීමයි.

පළමු සිරගෙදර ගමනින් පසු දැන හැඳුනුම්කම් සමග එළියට එන ‘ගනේමුලලේ සංජීව’ පාතාලයේ අයියා කෙනෙකු ලෙසින් ගොඩනැගෙන්නේ 2009 වර්ෂයේදීය. ඒ මෙරට සිදුවූ රුපියල් කෝටි හයකට ආසන්න විශාලම බැංකු මංකොල්ලය සිදුකරමින්ය. එතැන් පටන් පාතාලයේ කෙරුමකු වීමට ඔහුට අවශ්‍ය වී තිබුණි.

● ගම්පහ පස් ජාවාරම…

ගම්පහ පස් ජාවාරම පාතාලයන් ගේ මුදල් ඉපයීමේ තෝතැන්නක් විය. ඒ අනුව “ගණේමුල්ලේ සංජීව” ගම්පහ පස් ජාවාරමට පිවිසෙන්නේය. ගම්පහ පස් පාතාලයේ ප්‍රසිද්ධ චරිතයක්ව සිටි “පස් පොඩ්ඩා” ගනේමුල්ලේ සංජීව සමඟ “පස් සෙල්ලම” පටන් ගන්නේ ‘හීනැටියන අසිත’ මරා දමමිනි.

මොවුන්ගේ කල්ලියේ සිටි තවත් ප්‍රබල සාමාජිකයකු වූයේ අජිත් කුමාර නොහොත් කළු අජිත් නොහොත් “අජා”ය. කලක් ගනේමුල්ලේ සංජීවගේ හොඳම වෙඩික්කරු වූයේ “අජා”ය. පසුපස හඹාගොස් වෙඩි තැබීම සඳහා දක්ෂයකු වන කළු අජිත්ව සිය ඉලක්ක සපුරා ගැනීමේ හොඳම වෙඩික්කරු ලෙස “ගනේමුල්ලේ සංජීව” විසින් තෝරා ගනු ලැබ තිබුණේ එළියේ සිට මෙන්ම ඇතුළේ සිටියදී ද වැඩ ගැනීම සඳහාය. ඉලක්කය සපුරණ අජිත්ගේ ගාස්තුව ගෙවීමට කිසිදු අවස්ථාවක සංජීව මග හැරියේ නැත. එහෙත් අජිත්ගේ ඉලක්කය වැරදී ගියේ ගම්පහ ඔස්මන් මරා දැමීමට සංජීව විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවෙනි.

ඔස්මන්ගේ ඉලක්කය “කළු අජිත්ගෙන්” ගිලිහුණු දිනයේ සිට අජිත් සහ සංජීව අතර ගැටුමක් ඇති වුණේය. වැරදී ගිය කුරුමාණම නිසා පොරොන්දු වූ මුදල අජිත්ට ලැබුණේත් නැත. දැඩි කෝපයට පත් “කළු අජිත්” පස් පොඩ්ඩාගේ හිතවතෙක් වූ “සුරේෂ්ගෙන්” කප්පම් ඉල්ලා තිබිණි. මේ ගැටුම මරණ කීපයක් දක්වා ඇදී ගියේය. අනතුරුව සංජීව විසින් “කළු අජිත්” ඝාතනය කර දැම්මේය. ඒ “හීනටියන සංඛ” නමැත්තෙක් හරහාය.

චමින්ද රවී ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද” නමැති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තුන් වැනි විත්තිකරුට බන්ධනාගාර බස් රථය තුළදී වෙඩි තැබීමේ සිද්ධියක් හේතුවෙන් ද “ගනේමුල්ලේ සංජීව” චෝදනා ලැබ සිටියේය. බන්ධනාගාරයේ සිටි “දෙමටගොඩ චමින්ද” අලුත්කඩේ අධිකරණයේ පැවැති නඩුවට ඉදිරිපත් කොට නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී දෙමටගොඩ ඉන්ගම් හන්දියේදී බන්ධනාගාර බස් රථය හරස් කර නැවැත්වූ යතුරුපැදිකරුවෝ දෙදෙනකු “දෙමටගොඩ චමින්දට” වෙඩි තබා පලා ගියහ. චමින්ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ අතර සිද්ධියට අදාළව “ගනේමුල්ල සංජීව” බන්ධනාගාරගත විය.

● එල්.ටී.ටී.ඊ. සම්බන්ධතාව…

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආයුධ එක්රැස් කිරීම සහ එම ආයුධ දකුණේ පාතාල ක්‍රියාකාරීන්ට ලබාදී සංවිධානාත්මක අපරාධ සිදුකළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 ජනවාරි මස 24 වැනිදාය. කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකරුවන් 12 දෙනා අවස්ථා කිහිපයකදී එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

2020 ජනවාරි මස 01 වැනිදා සැකකටයුතු අන්දමින් බෑගයක් කරේ දමාගෙන මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයකු පුලියන්කුලම පොලිසිය විසින් පරීක්ෂා කරනු ලැබුවේය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ බියට පත්වන මේ පුද්ගලයා තමා සතුව තිබූ බෑගය අත්හැර පලා යන්නේය. ඉන්පසු බෑගය අවුස්සා බැලූ පොලිසියට පෙනී ගියේ මේ පලා ගිය පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල කොටි නායකයෙකු වන “ආනන්ද රාසා” නමැත්තා බවය.

වෙඩි තැබීමට සූදානම් කර තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, ජීව උණ්ඩ 18ක්, මැගසීනයක්, ජීව අත්බෝම්බ 4ක්, හිරු එළියෙන් ක්‍රියාකරන පවර් බෑන්ක් 1ක්, ඇපල් වර්ගයේ නවීන පන්නයේ ජංගම දුරකථනයක්, සැම්සුන් වර්ගයේ නවීන ජංගම දුරකථනයක් ඇතුළු ආම්පන්න රාශියක් ද “ආනන්ද රාසාගේ” එම ගමන් මල්ලේ තිබී පොලිසිය සොයා ගත්තේය.

එයින් පසු ක්‍රියාත්මක වූයේ බුද්ධි අංශයි. ඒ අනුව ඒ 9 මාර්ගයේ මූතූර් කෝවිල දෙසට යන විට හමුවන දුම්රිය මාර්ගය අසලදී යුද උපකරණ තොගයක් ද සමග සැකකරුවන් හය දෙනකු පොලිසිය අත්අඩංගුවට ගත්තේය. මෙයියමුත්තු රාසා සුදාහරන් නොහොත් “ගුණා”, ශ්‍රීකාන්තන් දර්ශනී නොහොත් “පොන්නම්බලම්”, ගනේෂ් මූර්ති සිදුහත් නොහොත් “සිදූ”, පූබාලසිංගම් සුරියබාලන් නොහොත් “සදන්”, තලයිසිංගම් කාන්දරූබන් නොහොත් ”කාර්තික්” සහ උමාගනේෂන් දයානිදි මෙම සැකකරුවෝ වූහ.

මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අට දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 ජනවාරි මස 02 වැනිදාය. රාසලිංගම් සිවරාජ් නොහාත් “වීරා” නොහොත් “කඩල් වීරන්”, කල්‍යාණ කුමාර් ශෂිකුමාර්, මනුජය ප්‍රමෝද්, කාවින්ද පතිරණ, මාලන් ඩෝසර් විජයසිරිවර්ධන, ඉන්ද්‍රජිත් රංගන කරුණානායක, හිමාල් හර්ෂණ, ප්‍රදීප් දේශප්‍රිය සහ ඇනස්ලි ප්‍රභාගර් ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා”, වසන්ත ජූඩ් නිරෝෂන්, විජයන් සැලන් කුමාර් නොහොත් “සැලඩ්” සහ ඝනපති කදිරවේලු නොහොත් “සාමි” එම සැකකරුවෝ වෙති.

වේන්ද්‍රන් නොහොත් අප්පා යනු 2007 වර්ෂයේ ඔක්තෝබර් මස 22 වැනිදා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයට පැමිණ ජීවිතය ගලවාගත් ත්‍රස්තවාදීන් දෙතුන් දෙනාගෙන් කෙනෙකි. එමෙන්ම ඔහු යුද්ධය නිමවීමෙන් පසු යුද හමුදාවට භාර නොවී සැඟව සිටි අයෙකි.

යුද හමුදාව ඔහු “අප්පා” ලෙසින් හැඳින්වූ අතර නාවික හමුදාව ඔහු හඳුන්වන්නේ “නෙරන්ජන්” නමිනි. මෙම තැනැත්තා ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් සංක්‍රමණිකයන් පැටවීමේ ජාවාරමක ද නිරතව සිටි බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. අප්පා මේ සිද්ධිවලට බන්ධනාගාරගතව සිටියදී දකුණේ පාතාලය සමග හාදකම් පැවැත්වීමට අවස්ථාව උදාවන අතර “ගනේමුල්ලේ සංජීවගේ” ආශ්‍රය ඔහුට ලැබුණේය.

“ආනන්ද රාසා” ළඟ තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක්, “අප්පා” විසින් කොළඹ ගෙනැවිත් පාතාලය වෙත මුදලට විකුණා ඇති බවට කෙළඹ අපරාධ කොට්ඨාසය කරුණු හෙළිකරගෙන තිබිණි.

“වීරා” නොහොත් “කඩල් වීරන්” සහ ඊතනවත්ත ආරච්චිගේ අමිල නුවන් නොහොත් “ගොත අසංක” විසින් යතුරු පැදියකින් පැමිණ අංගොඩ කැලණිමුලේලේ දී සුරංග කුමාර නොහොත් “රත්තරං” වෙඩි තබා ඝාතනය කරන්නේ අප්පා කොළඹට විකිණූ පිස්තෝලයකිනි. ඒ ඉකුත් 2017 වර්ෂයේ ජනවාරි මස 05 වැනිදාය.

“රත්තරං” අංගොඩ ලොක්කාගේ පාර්ශ්වයේ අයකු වන අතර, “ගොත අසංක” සහ “ගනේමුල්ලේ සංජීව” රණාලේ සමයංගේ පාර්ශ්වයේ අය වූහ. රත්තරන් ඇතුළු ස්වකීය සගයින් මරණ “සමයංගෙන්” පළි ගැනීමට පාතාල මෙහෙයුමක් සැලසුම් විනි. ඒ 2017 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදාය. එදින “සමයං” ඝාතනය වන්නේ කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුළදීය. ඒ “මාකඳුරේ මධුෂ්ගේ” උපදෙස් පරිදි “අංගොඩ ලොක්කා” සිදුකළ වැඩකි.

ඝාතන සිද්ධියේ ප්‍රධාන වග උත්තරකරු වූ “අංගොඩ ලොක්කා” රටින් පැන්නේය. ඒ ඉන්දියාවටය. වසර කිහිපයක් නිදහසේ එහි ජීවත් වුවත් අවසානයේ ඔහු හෘදයාබාධයක් සෑදී මිය ගියේය.

අමිල නුවන් නොහොත් “ගොත අසංක,” කටුගම්පලලාගේ උදේශික විදුරංග සහ සංජීව සමරරත්න නොහොත් “ගනේමුල්ලේ සංජීව” කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට පත් විය. ඒ මයික්‍රෝ වර්ගයේ ගිනි අවි දෙකක් ද සමගය.

“ගනේමුල්ල සංජීව” විසින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හත් දෙනකු මෙහෙයවමින් සිටියේය. වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ ආරක්ෂිත නිවාසයක් තුළ තබාගෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 03ක් ඔහු විසින් නඩත්තු කළේය. පසුව මේ පිරිස පොලිස් අත්අඩංගුවට පත් වූයේය. පසුගිය වකවානුව තුළ කර ඇති විමර්ශනවලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිස්තෝල 10ක්, ටී 56 ගිනි අවි 10ක් “ගනේමුල්ලේ සංජීවගේ” කල්ලිය සතුව තිබේ.

● නිරපරාදේ සිදු කළ ඝාතන…

මෙම අපරාධවලට අමතරව “ගනේමුල්ල සංජීව” අපරාධවලට කිසිසේත් සම්බන්ධයක් නොමැති අහිංසක මිනිස්සු කිහිප දෙනෙක්ද ඝාතනය කර තිබේ.

වරක් කඩවත ගෑනු කෙනෙකුට වෙඩි තියලා තියෙනවා ලක්ෂ පහක් අරගෙන. තවත් වරක් ජා ඇල ගෑනු කෙනෙක්ට වෙඩි තියලා ඝාතනය කළා කළු අජිත් කියලා වැරදිලා. කෙහෙල්බද්දර සැලූන් එකක වැඩ කරන අහිංසක කොල්ලෙකුට වෙඩි තබා තියෙනවා. ගාල්ල පැත්තෙ තැඹිලි විකුණන අහිංසක මිනිහෙකුට සහ බටපොත හාඩ්වෙයාර් එකක කොල්ලෙකුටත් නිකම්ම වෙඩි තියලා තියෙනවා.

● වර්තමාන තත්ත්වය…

සංජීවගේ සමීපතම පාතාල මැරයන් තැන තැන විසිරී ගොස්ය. ගොත අසංක ඉන්නේ ඉන්දියාවට පැනගෙනය. පස් පොඩ්ඩා ඝාතනය වූයේය. පස්පොඩ්ඩාගේ ඝාතනයේ පලිය ගන්නට පහුගිය වකවානුව තුළ කෙහෙල්බද්දර හීනටියන ප්‍රදේශවල මිනී මැරුම් ගණනක් සිදුවිය. සංජීවගේ ඉලක්ක වැරදී අසරණ තරුණයෙක්ද කෙහෙල්බද්දරදී මියගියේය.

මේ අතර පසුගිය අගෝස්තු 21 වැනිදා ඉන්දියානු තොරතුරු උපුටා දක්වමින් මෙරට මාධ්‍ය වාර්තා කළේ මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනෙක් ඉන්දියාව, නේපාලය සහ ඩුබායිහිදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් “ගණේමුල්ලේ සංජීව” ඒ අතර සිටින බවත්ය.

ඒ සමගම අගෝස්තු 25 අලුයම පිස්තෝලයකින් සහ ටී. 56 ගිනි අවියකින් ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ල වුණේය. ඔහුගේ සොයුරිය පැමිණිලි කර තිබුණේ පොලිසියේ යැයි කියා ගන්නා කණ්ඩායම් නිවසට පැන ඉතාම අනවශ්‍ය ලෙස තමන් පීඩාවට පත් කරන බවය. ඔවුන් එක් අවස්ථාවක නිවසේ ඇති භාණ්ඩ ද කොල්ලකාගෙන ගොස් ඇති බව ඇය ප්‍රකාශ කර තිබුණාය.

කිසිම අපරාධකරුවෙක් නොගන්නා අවදානමක් රැගෙන රතු වරෙන්තු පවා ලබා තිබියදී “ගනේමුල්ල සංජීව” යළි රට තුළට ඇතුළුවන්නට ගොස් අත්අඩංගුවට පත් වන්නේ මෙවන් පසුබිමකදීය.

විසඳා ගත යුතු ගැටලු රාශියක් විසඳීමේ වගකීම මේ වනවිට විමර්ශන අංශ වෙත පැවරී තිබේ. “ගනේමුල්ල සංජීවගේ” මේ ආගමනයේ හේතුව කුමක් ද?. රටම ඔහු ගැන කතාකරන මොහොතක මේ තරම් අවදානමක් ගෙන ඔහු පැමිණියේ ඇයි?. ඔහුව හසුරුවන කිසියම් දේශපාලන බලවේගයක් තිබේ ද?. නැතිනම් වෙනත් පිරිසක් සිටීද? මේ ප්‍රශ්නවලට “ගනේමුල්ල සංජීව” හරහාම උත්තර සොයා ගත යුතුය. ඔහුගේ අපරාධවලට නන් අයුරින් උදව් උපකාර කළ පිරිස් ගැනද සොයා බැලිය යුතුය. එසේ සොයා බලා ඔවුන් ගැන ද රටට හෙළි කළ යුතුය. එසේ නොමැතිව එම අපරාධ අපරාධකරුත් සමග වැළලී යෑමට ඉඩ නොදිය යුතුය. එසේ වුවහොත් “ගනේමුල්ල සංජීවලා” වැනි අපරාධකරුවන් බුරුතු පිටින් බිහිවේ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment