රුපියලේ හයියෙන් ආනයනකරුවෝ තොග වෙළෙන්දෝ හාන්සියි

597

රුපියල ඊයේ චුට්ටක් පහළට

ඉකුත් දින කිහිපයේදී ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්‍ෂව රුපියල අඛණ්ඩව ශක්තිමත්වීම හේතුවෙන් මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයෝ හා තොග වෙළෙන්දෝ විශාල අසීරුතාවකට පත්ව සිටිති.

සතියක පමණ සිට දිනපතාම ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල අඛණ්ඩව ශක්තිමත් වීම හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් කැපී පෙනෙන ලෙස අඩු වූ අතර සීනි, පරිප්පු, පිටි, අල, ලූණු ආදියෙහි මිල කිලෝ ග්‍රෑමයකට රුපියල් 20-30 ත් අතර මිලකින් පහළ වැටී තිබුණි.

රුපියල ශක්තිමත්වීමට පෙර ගෙන්වන ලද භාණ්ඩවල මිල අඩුකිරීමට කටයුතු කළ හොත් තමන්ට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපෑමට සිදුවන බව ප්‍රධාන පෙළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පැවසූහ.

මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණ ඩොලර් සිය සන්තකයේ තබාගෙන සිටි විශාල පිරිසක් ඩොලරය අවප්‍රමාණය වීම හේතුවෙන් එකවරම ඩොලර් රුපියල් බවට පත්කිරීමට උනන්දු වීම හේතුවෙන් ඩොලරය අවප්‍රමාණය වීම වේගවත් විය. එහි පාලනයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පෙරේදා (09දා) වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබුණි. මහ බැංකුව ඒ අයුරින් ඩොලරය අවප්‍රමාණය වීම පාලනය කිරීමට මැදිහත් නොවුණේ නම් මේ වන විට ඩොලරයක් රුපියල් 280 ක් තරම් අගයක් දක්වා පහත වැටෙන්නට ඉඩ තිබුණු බව ආර්ථික විශේෂඥයෝ පවසති.

කෙසේ වෙතත් පෙරේදා (09දා) රුපියල් 325.52ක් ලෙස සටහන් වූ ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10දා) සටහන්වූයේ රුපියල් 328.90 ක් ලෙසය. ඒ අනුව දින කිහිපයකට පසු ඊයේ (10දා) ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල ඒකක තුනකට ආසන්න මුදලකින් පහත වැටුණි.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment