රුපියල රැකගන්න ඩොලර් බිලියනයකට වඩා වහාම මහබැංකුවට ඕනෑ – මුදල් ඇමැති අලි සබ්රි

855

රුපියල වේගයෙන් පිරිහීම වළක්වා ගැනීම සඳහා ඉතා ඉක්මනින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාගත යුතු යැයි මුදල් ඇමැති අලි සබ්රි මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට සහභාගිවී සිටින අතර ඉකුත් සිකුරාදා (22දා) සවස ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සමඟ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් ඇමැතිවරයා මේ බව කීවේය.

මෙසේ ශ්‍රී ලංකා මහ බැංකුවට මුදල් වශයෙන් විදේශ විනිමය ලබාගැනීම සඳහා විවිධ රටවල් සමඟ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟද සාකච්ඡා කරගෙන යන බවද මුදල් ඇමැතිවරයා කීවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මුදල් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනකට යාම සඳහා යම් කිසි කාලයක් ගතවන බව සඳහන් කළ ඇමැතිවරයා ඒ අතරතුර කාලයේදී විදේශ මුදල් සොයා ගැනීමේ විකල්ප පිළිබඳ කරුණු පැහැදිලි කරමින් සිටින බව කීවේය.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකමක් ලැබෙන තුර, කාලයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන තුනත් හතරත් අතර මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන බවට තක්සේරු කර ඇති බවද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියාවෙන් දැනට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම තවත් ඇමෙරිකානු ඩොලර් බිලියනයකින් දීර්ඝ කරදෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා ඇති බවත් එම ඉල්ලීම ඉන්දියාව සලකා බලමින් සිටින බවත් අලි සබ්රි මහතා කීවේය.

එසේම ඉන්දියාවෙන් තෙල් ආනයනය කිරීමට දැනට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ට අමතරව තෙල් ලබාගැනීම සඳහා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් ලබාදීමට ඉන්දියාව දැනට එකඟ වී ඇති බවත් හෙතෙම කීවේය. එසේම ආසියානු නිෂ්කාශන සංගමයේ ගෙවීම් පමාකර ගැනීම සඳහා ඉන්දියාවේ සහාය දෙන නිසා එයින්ද යම් මුදලක් ඉතුරු වන බවත් අලි සබ්රි ඇමැතිවරයා කියා සිටියේය.

මේ අනුව ඉන්දියාවෙන් පමණක් ලැබෙන අතිරේක මූල්‍ය සහාය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ වන බවද මෙම මාධ්‍ය හමුවේදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් ඇමැතිවරයා කීවේය.

මේ අතර ඉදිරි සති දෙකේ සිට මාස හයක කාලය තුළ ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 සිට 600 දක්වා මුදලක්ද ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක පමණ මුදලක්ද ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව මුදල් ඇමැති අලි සබ්රි මහතා තවදුරටත් කීවේය.

ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment