රුපියල සමඟ පාවෙන ජන ජීවිතේ

2376

රුපියල තවදුරටත් අවප‍්‍රමාණය වී තිබේ. ශ‍්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇති ආකාරයට ඩොලරයක විකුණුම් මිල රුපියල් 260කි. ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ එය තවදුරටත් ඉහළ යා හැකි බවයි. ඇමෙරිකානු ඩොලරයේ මිල රුපියල් 202ක් ලෙස බලහත්කාරයෙන් රඳවාගෙන සිටීම නිසා ආණ්ඩුවට ඩොලර් කෝටි 500කට අධික පාඩුවක් සිදුව අති බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි. රුපියල පා කිරීම නිවැරදි තීන්දුවක් බවත් එය 2020 වසරේ මුල් මාසයේ සිට ක‍්‍රියාත්මක කළේ නම් රටේ විදේශ සංචිතයට ඩොලර් කෝටි 500ක් ඉතිරි කර ගත හැකිව තිබූ බව ද හිටපු නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටී.

පසුගිය දිනවල මෙන්ම මේ වන විටත් දැකිය හැකි ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, භූමිතෙල් පෝලිම් ඇතුළු සියලූ පෝලිම්වලට හේතු වූයේ ද රට තුළ ඩොලර් සංචිත හිඟ වීමයි. තවමත් වෙළෙඳපොළේ කිරිපටි නැත්තේ ද මේ ඩොලර් කතන්දරය නිසා බව ගමේ සිටින සයිමන් අයියා පවා දන්නා කාරණයකි. ඉදිකිරීමක් කර ගැනීමට සිමෙන්ති හිඟ වෙද්දී එකටත් හේතුව රටේ ඩොලර් නොමැති බව අපේ රටේ බොහෝ දෙනා දන්නේ පසුවය. සාමාන්‍ය සම්ප‍්‍රදායට අනුව අපරට අවම වශයෙන් මාස තුනකවත් විදේශ සංචිත පවත්වා ගත යුතුය. එහෙත් ඒ තැනට අප රටේ ආර්ථිකය කළමනාකරණය නොවූ බැවින් පොලිම් ඇති විය.

රුපියල පා කිරීමත් සමඟ ඩොලරයේ අගය ඉහළ යෑම නිසා අපේ රටට ලැබෙන විදේශ සම්පේ‍්‍රෂණ යම් ප‍්‍රමාණයකින් ඉහළ යා හැකි යැයි අපේක්‍ෂා කළ හැකිය. එය ආණ්ඩුව පැත්තෙන් සහනයක් වුවද රුපියල අව ප‍්‍රමාණය වීමත් සමඟ මේ රටේ භාණ්ඩ මිල ඉහළ යෑම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. දැනටමත් ඉන්දියන් අයි. ඕ.සී සමාගම ඞීසල් රුපියල් 75කින් ද, පෙට‍්‍රල් රුපියල් 50කින් ද මිල වැඩිකරතිබේ. ඒ අනුව අයි. ඕ.සී. පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 254කි. ඞීසල් මිල 214කිි. මීට පෙර සෑම අවස්ථාවකදීම සිදු වූයේ අයි. ඕ.සී. තෙල් මිල වැඩිකළ පසුව ඊට සාපේක්‍ෂව තෙල් සංස්ථාව ද මිල ඉහළ දැමීමයි. එය එසේ නොවන්නේ නම් ජනතාවගේ පැත්තෙන් යහපතකි. නමුත් එසේ වේ යැයි සිතීමට ඇති සම්භාවිතාවය ඉතා අල්පය. කෙසේ හෝ වේවා තෙල් මිල ඉහළ ගිය විට මේ රටේ ප්ලේන්ටියේ, ආප්පයේ සිට සියලූම භාණ්ඩවල මිල ඉහළ යෑම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. එසේම බස්, දුම්රිය, පාසල් වෑන් රථවල ගාස්තු ද ඉහළ යනු ඇත. අවසානයේ මේ සියලූ බර දැරීමට සිදුවනුයේ රටේ ජනතාවට ය.

ඩොලරයට සාපේක්‍ෂව ඖෂධ මිල ද ඉහළ යනු ඇති බවට ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා ප‍්‍රකාශ කර ඇත. වෙළෙඳපොළේ ඇතිවිය හැකි ඖෂධ හිඟය වළක්වා ගැනීමට නම් ඖෂධ මිල ඉහළ යා යුතු බව ඖෂධ ආනයන සමාගම් මේ වන විටත් ප‍්‍රකාශ කර ඇත. අද මේ රටේ බහුතර ජනතාව කුමන හෝ බෝ නොවන රෝගයකින් පෙළෙති. අයකුට දීයවැඩියාවය. තවත් අයෙකුට දියවැඩියාවත් සමඟ කොලෙස්ටරෝල් ද තිබේ. තවත් සමහරුන්ට මෙම රෝග දෙකත් සමඟ ප්‍රෙෂර් ද ඇත. මීට අමතරව වකුගඩු, හෘද රෝග ඇතුළු තවත් රෝග රැසකට මේ රටේ බොහෝ දෙනා ඖෂධ ගනිති. එනිසාම වෙළෙඳපොළේ ඖෂධ හිඟයක් ඇති වුවහොත් මේ රටේ රෝගීන්ට සිදුවන්නේ ඖෂධ නොමැතිව මිය යෑමටය. ඖෂධ තිබුණත් ඖෂධය ගිනි ගනන් නම් රෝගීන්ට සිදුවනුයේ තම කණකර තබා හෝ නැත්නම් පවුලේ අනෙකුත් වියදම් කපා හැර ඖෂධ මිල දී ගැනීමටය.

රුපියල අවප‍්‍රමාණය වීමත් සමඟ ඇතිවන උද්දමනය නිසා ජනතාවට සිදුවිය හැකි පීඩා අවම කිරීමට පියවර ගැනීම බලධාරීන්ගේ යුතුකමකි. විශේෂයෙන් මේ අන්ත අසරණ පවුල් මේ නිසා වඩා අසරණ වීම විය හැකි බැවින් ඔවුන් කෙරේ විශේෂ අවධානය යොමුවිය යුතුය. දැනටමත් ඉහළ ගොස් ඇති බඩු මිල තවදුරටත් ඉහළ යද්දී මේ රටේ ජනතාවගේ පහළ යන ක‍්‍රය ශක්තිය නැංවීමට යෙදිය හැකි සෑම උපක‍්‍රමයක්ම යෙදීමට ආර්ථික බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කළ යුතුය. එසේ නොවුණහොත් දැනටමත් භාණ්ඩ මිල ඉහළ යෑම නිසා කබලෙන් ළිපට වැටී ඇති ජනතාවට තවත් වැටෙන්නටවත් තැනක් ඉතිරි නොවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment