රුවන්පුරය හොල්ලපු කවුද මේ මන්නා රමේෂ්!

1129

පොලිසියටත් පාට් දමපු මන්නා රමේෂ්

දිනය ඉකුත් වසරේ ඔක්තෝම්බර් 15 වැනිදාය. අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ ජංගම දුරකථනයට ඩුබායි රාජ්‍යයෙන් ඇමතුමක් ලැබුණේය. ඇමතුම ලබා දෙන්නේ කවුදැයි නොදැන සිටි ප්‍රසන්න ජයලත් මහතා කුතුහලයෙන් යුතුව ඊට ප්‍රතිචාර දැක් වූවේය.

“මම කතා කරන්නේ මන්නා රමේෂ් ඩුබායි ඉඳලා. තල්දූවෙ මහේෂ් කියන්නෙ මගේ දරුවා. උඹලා මගේ දරුවව මරා ගත්තා. මහේෂ් කියන්නෙ මගේ පණ. මගේ සහෝදරයට ගහපු උන්ට මං අරහෙම කළා නම් දරුවට ගහපු උන්ට කොහොම කරයිද?

උඹට ජීවිත කාලෙම විඳවන්න වෙයි. මං උඹව මරණවමයි. උඹවයි උඹේ ගෑනිවයි දරුවොයි මරණවා. පුළුවන්නම් බේරියන්.

මං මැරෙන්න බය නැහැ. මං මෙහෙට ආවෙ කරන්න ඕන වැඩ ටිකක් තියනවා. ඒ ටික කර ගන්න. උඹේ ගෑනියි ළමයිනුයි ලේවිලක් මැද මැරිලා ඉඳියි.

“අනික උඹේ ඔය ක්‍රයිම් එකේ ඉන්න උන්ටයි ලොක්කො ගාව ඉන්න උන්ටයි කියපං පරිස්සම් වෙලා ඉන්න කියලා. උන්ගෙ දරු පවුල්වලටත් පරිස්සම් වෙන්න කියපං මං උඹලා සේරම මරණවා. මරණවා මරණවමයි…”

අවිස්සාවේල්ල පාතාලයේ මහ කෙරුම්කාරයා යැයි කියාගත් මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේ සිට දුරකථනයෙන් කතාකර අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ජයලත්ට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කර තිබුණේය. මේ තර්ජන ගර්ජන එල්ල වන්නේ අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි තරුණයන් සිව්දෙනෙක් වෙඩි තබා ඉන් තිදෙනෙක් ඝාතනය කර අනෙකාට බරපතළ තුවාල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ තල්දූවේ මහේෂ් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්වීමේ සිද්ධියෙන් පසුවය.

මේ ත්‍රිත්ව ඝාතනය සිදුකළ මන්නා රමේෂ්ගේ කල්ලියේ සාමාජිකයකු වූ තල්දූවේ මහේෂ් දකුණු පළාතේ රහසිගත ස්ථානයක සැඟවී සිටියදී විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව සැකකරු අවිස්සාවේල්ල පොලිසිය වෙත භාරදුන් අතර එහිදී අවි පෙන්වීමට ගිය අවස්ථාවේ තල්දූවේ මහේෂ් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරු තුරුලට ගියේය.

මහේෂ් මියගිය පුවත ඇසීමෙන් මන්නා රමේෂ් දැඩි ලෙස කෝපයටත් දුකටත් පත් වන්නේය. ඔහු අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කළේ මේ සිදුවීමෙන් පසුවය. පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කරමින් චණ්ඩි පාර්ට් දැමූ මන්නා රමේෂ් මේ වනවිට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය. අවිස්සාවේල්ල, තල්දූව, ඇහැලියගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවක පාතාල භීතිය ව්‍යාප්ත කරගෙන මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ මන්නා රමේෂ් මේ වනවිට මිරිහාන විශේෂ අපරාධ ඒකකය තුළ වලිගය පස්සා පැත්තේ ගසාගත් සුනඛයකු ලෙස බියෙන් ගැහෙමින් සිටියි.

අහිංසක මිනිසුන් තලාපෙලා ඝාතනය කර සිදු කළ චණ්ඩිකම් අද නැත. අද මේ පාතාල මැරයා පොලිස් නිලධාරීන් ඉදිරියේ ජීවිතය යදිමින් හඬා වැළපෙමින් සිටියි.

මේ වනවිට 34 වැනි වියේ පසුවන මන්නා රමේෂ් ගේ පාතාල ලෝකයට එතරම් ආයුෂ නැත. 2016 වර්ෂය මන්නා රමේෂ් පාතාලයට කලඑළි බසිනු ලැබූ වසර ලෙස හැඳින්විය හැකිය. මහේෂ් ප්‍රියජනකගේ උපන් ගම වූයේ තල්දූව ග්‍රාමයයි. පාසල් අධ්‍යාපනයෙන් පසු පතල් කර්මාන්තයට සම්බන්ධ වූ රමේෂ් ප්‍රියජනක එතරම් වත්පොහොසත්කම් ඇත්තකු නොවීය.

ඒ වනවිට අවිස්සාවේල්ල පුරා පාතාල ආධිපත්‍යයක් ගොඩනගාගෙන සිටියේ කොටහැර පොඩ්ඩා ඇතුළු කල්ලියක් විසින්ය. හතළියේ කල්ලිය නමින් හැඳින්වූ මේ කණ්ඩායම ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස කළේ මැණික් පතල් කර්මාන්තයයි. නිත්‍යානුකූල පතලක් වෙනුවට හොර පතල් පවත්වාගෙන යමින් කොටහැර පොඩ්ඩා ඇතුළු කල්ලිය ධනවතුන් බවට පත්ව සිටියහ.

එකල අවිස්සාවේල්ල පොලිසියේ බොහොමයක් නිලධාරීන් සිටියේ කොටහැර පොඩ්ඩාගේ කල්ලියට උදව් උපකාර කරමින්ය. ඒ වෙනුවෙන් ඒ පොලිස් නිලධාරීන්ට පඬුරු පාත්කුඩම් සන්තෝෂම් නොවඩුව ලැබුණේය. රමේෂ් ප්‍රියජනක ඇතුළු තරුණ පිරිස ද අවිස්සාවේල්ල ගඟේ හොර පතල් පවත්වාගෙන ගියහ. කොටහැර පොඩ්ඩාගේ කල්ලිය සහ රමේෂ් ප්‍රියජනකගේ සගයන් අතර ආරවුල් ඇතිවන්නට පටන්ගන්නේ මේ කාලයේය. මුදල් අතපත ගාන්නට පටන් ගනිද්දී රමේෂ් ප්‍රියජනකට ද චණ්ඩියකු වීමේ පාතාල උණක් හිසට ගැසුවේය.

“අපි මොකටද හැමදාම පොඩ්ඩට ඔළුව පාත් කරගෙන ඉන්නෙ. අනික උන් අපට කරන තරමක් කරන්නේ කෙනෙහෙළිකම්. අපිත් මේ පොළොවෙ පයගහලා ඉන්න ඕනෙ.”

රමේෂ් ප්‍රියජනක සිය සගයන්ට කීවේය. අවිස්සාවේල්ල නගරයේ පිහිටි රෑ කෑම කඩයෙන් රාත්‍රි කාලයේදී නිතර ආහාර ගැනීමට රමේෂ් ප්‍රියජනක ඇතුළු සගයන් පුරුදුව සිටියහ. මොවුන් බොහෝ විට මේ කෑම කඩයෙන් ආහාර සිගරැට් ලබා ගත්තේ බලහත්කාරයෙන්ය. රමේෂ් නිතරම මන්නා පිහියක් රැගෙන යෑමට පුරුදුව සිටියේය. ගැටුමක් ඇතිවන ඕනෑම අවස්ථාවක මේ මන්නා පිහිය ප්‍රයෝජනයට ගැනීම ඔහුගේ පුරුද්දක් විය.

අවස්ථා ගණනාවකදීම මේ මන්නා පිහියෙන් අවිස්සාවේල්ලේ කීපදෙනකුම කපා කොටා තුවාල කිරීමට රමේෂ් කටයුතු කර තිබුණේය. ඒ නිසාම රමේෂ් ප්‍රියජනකට මන්නා රමේෂ් යන නම පටබැඳී තිබුණේය.

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් තමන්ට පාතාල කල්ලියක් බිහිකර ගැනීමේ ආශාව ඒ වනවිට මන්නා රමේෂ්ගේ සිතේ පැලපදියම් වී තිබුණේය. ඒ සඳහා අවශ්‍ය කරන පිරිස් බලය මෙන්ම අවි ආයුධ සපයා ගැනීම ද මන්නා රමේෂ් විසින් රහසිගතව කරගෙන ගියේය.

මන්නා පිහියෙන් අහිංසකයන් කපා කොටා මරා දමා පාතාල භීෂණය ඇති කළ මන්නා රමේෂ් පසු කලෙක ටී 56 අවි ඇතුළු නවීන පන්නයේ අවි ආයුධවලින් සන්නද්ධව මිනී මරන්නට පටන් ගත්තේය.

පොලිස් පොත්වල වාර්තා වන අන්දමට මන්නා රමේෂ්ගේ මුල්ම අපරාධය වන්නේ 2017 වර්ෂයේ මාර්තු මාසයේ 25වැනිදා අවිස්සාවේල්ල නාපාවල ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කපා කොටා තුවාල කිරීමය.

එතැනින් ආරම්භ වූ මන්නා රමේෂ්ගේ පාතාල චාරිකාව වසර 08ක් තිස්සේ කරගෙන ගියේය. 2017 වර්ෂයේදී දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් සිරකර ගෙන මුදල් කොල්ලකෑම, 2018 වර්ෂයේදී අවිස්සාවේල්ල දිවුරුම්පිටිය ප්‍රදේශයේ අයකු මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කිරීම, මන්නා රමේෂ් ඇතුළු සහචරයන් විසින් සිදුකර තිබිණි. 2021 වර්ෂයේ දෙසැම්බර් 18වැනිදා අවිස්සාවේල්ල නාපාවලදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මන්නා රමේෂ්ගේ තිරිසන් බව ඉස්මතු කරවන සිදුවීමක් විය.

ඝාතනයට ලක්වන්නේ මාලන් නමැති තරුණයෙකි. කලක් එකට මිතුරන් ලෙස සිටි මාලන් සහ මන්නා රමේෂ් පසු කලෙක වෛරක්කාරයන් බවට පත් වුණේය. වෛරය සිතේ සඟවාගෙන සිට අවස්ථාව පැමිණි විගස එය පිරිමසා ගැනීම මන්නා රමේෂ්ගේ ගතිය විය. දිනක් මාලන්ට මන්නා රමේෂ්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය.

“මාලන් උඹයි මමයි තරහකාරයො වෙලා ඉඳලා වැඩක් නැහැ. අපි දෙන්නා ඒ තරහ මරහ අමතක කරලා යාළුවො වගෙ ඉමු. මම අපේ ගෙදර පොඩ්ඩක් සෙට්වෙලා ඉන්නෙ. බියර් බෝතල් දෙකක් අරගෙන උඹත් වරෙන් මාත් එක්ක සෙට් වෙන්න.”

මන්නා රමේෂ් මාලන්ට කීවේය. සැබවින්ම මන්නා රමේෂ් තමන් සමග මිතුරුවීමට උත්සාහ කරන බව සිතූ මාලන් බියර් බෝතල් දෙකක් ද රැගෙන සිය මිතුරකු ද සමග රමේෂ්ගේ නිවසට ගියේය. එහෙත් මාලන්ගේ සිතුවිල්ල වැරදි බව තේරුම් ගන්නට මහ වෙලාවක් ගත වුණේ නැත. මන්නා රමේෂ්ගේ නිවසට ඇතුළු වෙනවාත් සමගම මාලන්ගේ සිරුර විනිවිද යන අයුරින් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණේය.

මොකක්ද බං උඹ මට මේ කළේ මාලන් විලාප තබමින් බිම ඇද වැටුණේය. ඒ සමගම මාලන්ගේ හිසට පොලු පහර කීපයක් ද එල්ල විය. බිම වැටුණු මාලන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වුණේය. මේකව උස්සගෙන ගිහින් වත්ත පහළට දාපං මට මූ මැරෙන්න ඉස්සර මූට පේන්න හොඳට බොන්න ඕනෙ.”

මන්නා රමේෂ්ගේ නියෝග මත ඒ නරුමයාගේ සගයන් මාලන්ගේ අඩපන වූ සිරුර වත්ත පහළට රැගෙන ගියහ. මරණය එළිපත්තේ කෙඳිරිගාමින් සිටි මාලන්ගේ සිරුර අසලට වී මන්නා රමේෂ් නමැති නරුමයා බියර් පානය කරමින් සතුටු වුණේය. පැය කීපයකට පසු මාලන් මිය ගියේය. මාලන්ගේ සිරුර සිය සගයන් සමග එක්වී කැලෑවක වළ දමීමට මන්නා රමේෂ් කටයුතු කළේය. මාලන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මන්නා රමේෂ් ඇතුළු සගයන් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත්තේ ටී 56 අවියක් ද සමගය. ඉතාම තිරිසන් ආකාරයට මාලන් මරා දැමීමේ සිදුවීමට මාස ගණනක් ආණ්ඩුවේ බෝඩිමේ සිරබත් කන්නට සිදුවූ රමේෂ් ඇතුළු සගයන්ට පසුව අධිකරණයෙන් ඇප නියම කෙරිණි.

ඇප ලබා නැවත තල්දූවට පැමිණි මන්නා රමේෂ් ඇතුළු පාතාල මැරයන් සුපුරුදු අපරාධ චාරිකාව ආරම්භ කළේය. අනවසර මැණික් පතල් කැපීම, ව්‍යාපාරිකයන් බියවද්දා කප්පම් මුදල් ලබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවීම ඇතුළු විවිධ අපරාධවල නිරතවෙමින් මුදල් ඉපයීම මන්නා රමේෂ් ඇතුළු කල්ලිය විසින් ජයටම කරගෙන ගියහ. මේ අතර මන්නා රමේෂ්ගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂයට හේතු වූ සිදුවීම අවිස්සාවේල්ල නගරයේදී සිදු වුණේය. දිනක් අවිස්සාවේල්ල නගරයේ රෑ කෑම කඩයක් අසලදී රමේෂ්ගේ කල්ලියේ කීපදෙනෙක් සහ හතළියේ කල්ලියේ මහ කෙරුම්කාරයා වූ කොටහැර පොඩ්ඩා අතර ගැටුමක් හට ගත්තේය. ඒ අවස්ථාවේ මන්නා රමේෂ් එහි සිටියේ නැත. එහිදී පොඩ්ඩා විසින් රමේෂ්ගේ කල්ලියේ කීපදෙනෙකුට නොසෑහෙන සේ පහරදී පන්නා දමා තිබුණේය. මේ සිදුවීමෙන් මන්නා රමේෂ් දැඩි ලෙස කෝපාවිෂ්ඨ වුණේය.

“ඕකුන්ට ඔළුව උස්සන්න දෙන්න හොඳ නැහැ. මේකට හොඳ රිටන් එකක් දෙන්න ඕනෙ. නැත්නම් උන් හිතයි අපි උන්ට බයේ ඉන්නවා කියලා…”

මන්නා රමේෂ් සිය සගයන්ට කීවේය. පොඩ්ඩාගේ කල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට අවස්ථාවක් එනතුරු මන්නා රමේෂ් ඇඟිලි ගනිමින් සිටියේය.

2020 වර්ෂයේ මාර්තු මාසයේ එක්තරා දිනක තල්දූව මංසන්ධියේදී පොඩ්ඩා ඇතුළු කල්ලිය මන්නා රමේෂ්ගේ සහචරයන්ට කොටු වූහ. මන්නා රමේෂ් පමණක් නොව එදින ඔහුගේ සොහොයුරා ද මේ ගැටුමට මැදිව සිටියේය. මන්නා රමේෂ් ඇතුළු පිරිස එදින කොටහැර පොඩ්ඩාට සහ ඔහුගේ සගයන්ට නින්දිත ආකාරයට පහර දුන්හ. කොටින්ම එදින තල්දූව මංසන්ධිය පුංචි යුදපිටියක් බවට පත්ව තිබුණේය. කොටහැර පොඩ්ඩාට එල්ල වූ මාරාන්තික ප්‍රහාරවලින් ඔහු අඩපන වී සිටියේය. ඒ අවස්ථාවේ පොඩ්ඩාගේ ගෝලයකු අසල නිවසක් වෙත දිවගොස් මෝල්ගහක් ගෙන ආවේය. මරු විකල්ලෙන් සිටි කොටහැර පොඩ්ඩා ඒ මෝල්ගහෙන් මන්නා රමේෂ්ගේ වැඩිමහල් සොහොයුරුගේ හිසට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේය.

ඒ ප්‍රහාරයෙන් පසුව සියල්ල විසිර ගියහ. මන්නා රමේෂ්ගේ වැඩිමහල් සොහොයුරු සදාකාලික අබ්බගාතයකු බවට පත්වන්නේ මේ ප්‍රහාරයෙන් පසුවය. කොටහැර පොඩ්ඩා තම සොහොයුරාට පහරදී ඔහු සදාකාලික අබ්බගාතයකු බවට පත්කිරීමේ සිද්ධියෙන් මන්නා රමේෂ් දැඩි කම්පනයට පත් වුණේය.

“මගේ සහෝදරයාට කරපු අපරාධයට මං ඕකුන් සේරගෙන්ම පලිගන්නවා, එකෙකුට ජීවතුන් අතර ඉන්න දෙන්නෙ නැහැ.”

රුවන්පුරය හොල්ලපු කවුද මේ මන්නා රමේෂ්!

මන්නා රමේෂ් තම ප්‍රතිවාදීන්ට මරණ තර්ජන කරමින් ඔවුන් එකා දෙන්නා පරලොව යැවීමේ කාර්ය ආරම්භ කළේය. එහෙත් ඒ වනවිට මන්නා රමේෂ් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද මෙහෙයුම් ආරම්භ කර තිබුණේය. හතළිහේ කල්ලියෙන් ද මන්නා රමේෂ්ගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී තිබිණි.

මම ලංකාවෙ හිටියොත් එක්කො මැරුම් කනවා. නැත්නම් හිරේ යන්න වෙනවා. එහෙම වුණොත් මගේ අයියට මරපු අපරාදෙට මුංගෙන් පලිගන්න වෙන්නෙ නැහැ. ඒ නිසා මං මගේ ගෑනිවයි ළමයි දෙන්නවයි අරගෙන ඩුබායි පනිනවා. මට එහෙ ඉඳන් පුළුවන් ගේමක් ගහන්න. උඹලා මෙහෙ දේවල් බලා කියාගෙන හිටපල්ලා. උඹලට ඕන කරන හැම දෙයක්ම මං එහෙ ඉඳලා එවන්නම්.”

මන්නා රමේෂ් තම කල්ලියේ සගයන්ට කීවේය. 2023 වර්ෂයේ අප්‍රේල් මස 15වැනිදා මන්නා රමේෂ් සිය බිරිඳ සහ දරු දෙදෙනා ද සමග හොර රහසේම ඩුබායි රාජ්‍යයට පලායන්නේ එහි සිට අවිස්සාවේල්ල පාතාලය මෙහෙයවීමේ සැලසුම් ඇතිවය.

“මගේ සහෝදරයා සදාකාලික අබ්බගාතයකු කරපු එකාලව පරලොව යවනකල් මට නින්ද යන්නෙ නැහැ. පොලිසියත් උන්ට සපෝර්ට්. වැඩකට නැති උන් ටිකක් මේ කේස් එකට අල්ලලා කූඩු කරලා තියෙන්නෙ. අයියට ගහපු උන් එකෙක්වත් අල්ලගෙන නැහැ.

රමේෂ් ඩුබායි සිට සිය ගෝලබාලයන් අමතමින් තම සොහොයුරා සදාකාලික අබ්බගාතයකු කිරීමේ සිද්ධියට සම්බන්ධ වූවන්ගෙන් පලිගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කළේය. ඩුබායි රාජ්‍යයේ අතිසුඛෝපභෝගී මහල් නිවාසයක් කුලී පදනම මත ලබාගත් මන්නා රමේෂ් සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ එහි නවාතැන් ගත්තේය. මන්නා රමේෂ්ගේ වැඩිමහල් දරුවා 12 හැවිරිදි වියේ පසුවූ අතර බාල දරුවා 7හැවිරිදිය. ඩුබායි රාජ්‍යයේ සිටි තමා දන්න හඳුනන කීපදෙනෙකුගේ මාර්ගයෙන් උදව් උපකාර ලබාගත් මන්නා රමේෂ් දරුවන් දෙදෙනා සාජා නගරයේ බි්‍රතාන්‍ය ජාත්‍යන්තර පාසලට ඇතුළත් කළේය.

මන්නා රමේෂ්ගේ බිරිඳ රූපලාවන්‍ය ශිල්පිනියකවූ නිසා සාජා නගරයේ රූපලාවන්‍යාගාරයක් ආරම්භ කිරීමට ඔවුන්ට හැකි විය. දිනපතාම ඩුබායි සිට සිය මෝටර් රථයෙන් සාජා නගරය වෙත යන්නට මන්නා රමේෂ් ඔහුගේ බිරිඳ සහ දරුවන් කටයුතු කළහ.

දරුවන් දෙදෙනා පාසලට ඇතුළත් කර බිරිඳ සමඟ රූපලාවන්‍යාගාරයේ දවස ගෙවා දැමීම මන්නා රමේෂ්ගේ දින චරියාවේ කොටසක් විය.

එසේ නිදහසේ ගත කරන මුළු කාලසීමාවම අවිස්සාවේල්ලේ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවීම මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කිරීම සඳහා යෙදවීමට මන්නා රමේෂ් කටයුතු කළේය. ඒ අතරම රත්නපුර, අවිස්සාවේල්ල, පැල්මඬුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් මැණික් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කර රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම මන්නා රමේෂ් ජයටම කරගෙන ගියේය. අපිට ඩුබායිවල ජීවත්වෙන්න ලොකු මුදලක් ඕනෙ. නෝනා කරන ජොබ් එක වියදමට හැරෙන්නවත් මදි. ඒ නිසා අයිස් බිස්නස් එකයි කප්පම් ගන්න වැඩෙයි ලොකුවට කරන්න ඕනෙ. උඹලා බැහැලා වැඩ කරපල්ලා ඕන කරන හැම දෙයක්ම මම දෙන්නම්.

මන්නා රමේෂ් තල්දූවේ සිටි තම සමීපතම පාතාල සගයාවූ තල්දූවේ කසුන්ට සහ මහේෂ්ට කීවේය.

මැණික් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කර රුපියල් කෝටි ගණනින් මුදල් කප්පම් ලෙස ලබා ගැනීම මන්නා රමේෂ්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය විය. මීට මාස හත අටකට උඩදි මන්නා රමේෂ් අවිස්සාවේල්ලේ මහා පරිමාන පතල් කීපයක් කරගෙන යන ව්‍යාපාරිකයකුට ඩුබායි සිට ඇමතුමක් ලබා ගත්තේය.

“ආ මුදලාලි කොහොමද වැඩ කටයුතු. මම කතා කරන්නේ මන්නා රමේෂ් ඩුබායි ඉඳලා. අපිට දැන් මෙහෙට වෙලා වැඩ කරන්න බැහැනෙ. ඒ නිසා ඩුබායි ඉඳන් තමයි හැම දෙයක්ම කරන්නෙ. මගේ ගෝලයො ඉන්නවා ඔය හැම තැනම. ඩුබායි ඉන්න මට ලොකු වියදමක් යනවා. ඒ නිසා මට මුදලාලි කෝටි 2ක් ඕනෙ. ඒ වගේම මුදලාලිට අවිස්සාවේල්ලේ පතල් කීපයක්ම තියෙනවනේ. මට එක පතලකුත් ඕනෙ කරගෙන යන්න. මේවා පොලිසිවලට කියලා නිකං ප්‍රශ්න ඇති කරගන්න එපා. ඒ නිසා ඉල්ලන දේ දීලා සද්දෙ වහගෙන ඉන්න එක තමයි හොඳ.

මන්නා රමේෂ් මැණික් ව්‍යාපාරිකයාට සිය අවශ්‍යතාව කීවේය. අනේ රමේෂ් මම මේ දවස්වල බොහොම අමාරුවෙන් ජීවත්වෙන්නෙ. මට ලොකු බිස්නස් එකක් නැහැ. කාලෙකින් හොඳ ගලක් අහු වුණෙත් නැහැනෙ. මේ වෙලාවෙනන් මොකුත් කරන්න බැහැ. ව්‍යාපාරිකයා මන්නා රමේෂ්ට මුදල් ලබාදීම ප්‍රතික්‍ෂේප කළේය.

“තමුසෙට හොඳින් කිව්වහමනෙ කරන්න බැරි. හරි අපි බලාගමු. තමුසෙ තමුසෙගෙ ගෑනියි ළමයි දෙන්නවයි පරිස්සම් කර ගන්නවා. රමේෂ් ව්‍යාපාරිකයාට මරණීය තර්ජන එල්ල කළේය. පසුදා උදෑසන මැණික් ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට අසල්වාසීන් රැස්ව සිටියහ.

ව්‍යාපාරිකයාගේ නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මල්වඩම් කීපයක් තබා තිබුණේය. තෝ පරිස්සම් වෙලා හිටපං වැඩි දවස් යන්න ඉස්සර තොගේ පවුලේ අයට මල්වඩම් තියන්න වෙයි. එසේ ලියූ ලියුම් කැබැල්ලක් ද මල්වඩම්වල අලවා තිබුණේය. මේ සිදුවීමෙන් ව්‍යාපාරිකයා අන්දමන්ද වුණේය. මන්නා රමේෂ්ගෙන් දිගින් දිගටම ව්‍යාපාරිකයාට ඇමතුම් ලැබුණේය. දැන් පේනවා නේද මගේ කොල්ලන්ගේ වැඩ. ඒ නිසා උඹ පරිස්සම් වෙලා හිටපං මගේ ඉල්ලීම ඉෂ්ට කළා නම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. රමේෂ් දිගින් දිගටම කීවේය. එහෙත් ව්‍යාපාරිකයා කප්පම් මුදල් ලබාදීම ප්‍රතික්‍ෂේප කළේය. මේ අතර මන්නා රමේෂ්ගේ ගෝල බාලයන් යතුරුපැදිවල නැඟී ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ නිතර සැරි සැරුවෝය. ව්‍යාපාරිකයාගේ දරුවන් පාසල වෙත රැගෙන යන වාහනවල විස්තර පවා මන්නා රමේෂ් ඩුබායි සිට ලබාගෙන ඒවා ව්‍යාපාරිකයාට කීවේය. උඹේ දරුවො අද ගියේ අහවල් වාහනේ. මම උන් ගැන හොයන්න කට්ටිය දාලා ඉන්නේ. වැඩි දවස් යන්න ඉස්සර උන් පරලොව යවනවා. මගේ ඉල්ලීම ඉෂ්ට කරපං.මන්නා රමේෂ්ගේ තර්ජන ගර්ජන දිගින් දිගටම ඉහළ යන්නට විය.

කරකියා ගන්නට දෙයක් නැති තැන ව්‍යාපාරිකයා පොලිසියේ සහාය පැතීමට තීරණය කළේය. පොලිසිය මැදිහත්වීම නිසා අවසානයේදී ව්‍යාපාරිකයාට යම් සහනයක් ලැබී තිබුණේය. එසේ නොවන්නට මන්නා රමේෂ් ව්‍යාපාරිකයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අනිවාර්යයෙන්ම කිසියම් අපරාධයක් කිරීමට සැලසුම් කරගෙන සිටි බව නිසැකය.

මේ ආකාරයට මන්නා රමේෂ් කප්පම් ලබාගත් ව්‍යාපාරිකයන් බොහොමයකි. රමේෂ්ට සහ පාතාල කල්ලියට ඇති බිය නිසා ඒ කිසිවකුත් මේ පිළිබඳව පොලිස් පොත්වල සටහන් කළේ නැත.

මේ අතර මන්නා රමේෂ් අවිස්සාවේල්ල පාතාලයේ ක්‍රියාකාරකම් ද මෙහෙයවූවේය. සිය සොහොයුරා සදාකාලික අබ්බගාතයකු කළ කොටහැර පොඩ්ඩාගෙන් පලි ගැනීම රමේෂ්ගේ ප්‍රධානම බලාපොරොත්තුව වී තිබුණේය.

ඒ සඳහා මන්නා රමේෂ් සැලසුම් කීපයක්ම සකස් කළේය. එක් අවස්ථාවකදී කොටහැර පොඩ්ඩා යතුරුපැදියක යමින් සිටියදී රමේෂ් සිය ගෝලබාලයන් යොදවා ඔහුට වෙඩි තැබුවේය. එහෙත් ඒ ප්‍රහාරයෙන් බේරීමට පොඩ්ඩා සමත් විය.

“අයියට ගහපු උන් හැම එකාවම බාවන්න ඕනෙ. එතකොට තමයි මට නින්ද යන්නෙ.”

රමේෂ් මේ ගැන නිතර නිතරම සිය ගෝලයන්ට කීවේය. කොටහැර පොඩ්ඩාගේ ගෝලයන් යන එන ගමන් බිමන් පිළිබඳව සොයා බැලීමට තම කල්ලියේ සගයන් කීපදෙනෙක් යෙදවීමට රමේෂ් කටයුතු කළේය. මේ අතර තල්දූවේ මහේෂ් සහ කසුන් ඕනෑම අවස්ථාවක ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් කර තැබීමට ද මන්නා රමේෂ් පියවරගෙන සිටියේය.

2023 සැප්තැම්බර් 20වැනිදා සිය සැලසුම සාර්ථක කර ගැනීමට මන්නා රමේෂ්ට හැකි විය. එදින රාත්‍රියේ ඔත්තුකරුවන් මාර්ගයෙන් රමේෂ්ට තොරතුරක් ලැබුණේය.

රමේෂ් අයියා පොඩ්ඩගෙ සෙට් එක කෑගල්ල පැත්තෙ මළගේකට ගියා ත්‍රීවිල් එකක. උන් ටික රෑවෙලා ආපහු එනවා. මගදී අල්ලගත්තොත් ගේමක් ගහන්න පුළුවන්.

ඔත්තුකරු ලබාදුන් තොරතුරු බොහොම වටිනා එකක් විය. මන්නා රමේෂ් ඒ මොහොතේම තල්දූවේ මහේෂ්ට සහ කසුන්ට දුරකථන ඇමතුම් ලබා ගත්තේය.

ඒ වනවිටත් ප්‍රහාරය සඳහා අවශ්‍ය ටී56 අවිය සහ යතුරුපැදිය ද සූදානම් කර තිබුණේය.

20වැනිදා රාත්‍රියේ මන්නා රමේෂ්ගේ අළුගෝසුවන් දෙදෙනා තල්දූව ගුරුපව්ගොඩ ප්‍රදේශයට කඩා වැදුණේය. අවමගුලකට ගොස් ආපහු එමින් සිටි පොඩ්ඩාගේ ගෝල බාලයන් සිව් දෙනෙක් ඉලක්ක කර රමේෂ්ගේ ගෝලයන් දෙදෙනා වෙඩි වරුසාවක් එල්ල කළහ. ත්‍රිරෝද රථයේ සිටි සිව් දෙනාම වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබීය. ටී 56 උණ්ඩ 30කට වැඩි ප්‍රමාණයක් මේ සිව් දෙනාගේ සිරුරු වෙත එල්ලවී තිබුණේය.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පොඩ්ඩාගේ කල්ලියේ ධනුෂ්ක ප්‍රේමලාල් සහ ඉසංක චානක ඒ ස්ථානයේම අවසන් ගමන් ගියහ. රෝහල් ගත කිරීමෙන් පසු තවත් තරුණයකු මිය ගියේය. මේ තිදෙනාම මන්නා රමේෂ්ගේ සොහොයුරුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ වූවන් බව පසුව හෙළි විය.

පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය තල්දූවේ ත්‍රිපුද්ගල ඝාතන සිද්ධියට සම්බන්ධ වූ ඝාතකයන් සොයා රට පීරන්නට පටන් ගත්හ. ත්‍රිපුද්ගල ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් හතර පස් දෙනෙකු අත්අඩංගුවට ගත්තද ඝාතකයා සහ සහායකයා සොයා ගැනීමට පොලිසිය අපොහොසත් විය.

මේ අතර දකුණු පළාතේ එක්තරා ස්ථානයක සැඟවී සිටි තල්දූවේ ත්‍රිත්ව ඝාතනය සඳහා ඝාතකයා සමඟ යතුරුපැදිය පදවාගෙන ආ මහේෂ් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත් වූහ.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා තල්දූවේ මහේෂ් අවිස්සාවේල්ල පොලිසිය වෙත භාරදෙන්නේ ඉන් අනතුරුවය.

අවිස්සාවේල්ල පොලිසිය වෙත පැමිණ වැඩි කාලයක් ජීවත්වීමට තල්දූවේ මහේෂ්ට ඉඩකඩ ලැබුණේ නැත. සඟවා ඇති ආයුධ සෙවීමට රැගෙන ගිය අවස්ථාවේ තල්දූවේ මහේෂ් එදින රාත්‍රියේම අවසන් ගමන් ගියේය.

තල්දූවේ මහේෂ් ඝාතනය කිරීම මන්නා රමේෂ්ගේ කල්ලියට එල්ලවූ මරු පහරක් බඳු විය. රමේෂ් මාරාවේෂ වූයේ ඒ සිද්ධියෙන් පසුවය. මන්නා රමේෂ් අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට සහ සෙසු නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කරන්නේ මේ සිද්ධියෙන් අනතුරුවය.

කෙසේ වෙතත් මේ අපරාධවලින් පසු මන්නා රමේෂ්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබා ගන්නට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළේය.

ජාත්‍යන්තර පොලිසිය හරහා මන්නා රමේෂ් පිළිබඳව ඩුබායි පොලිසිය වෙත දැනුම්දීමක් කිරීමට ද පොලිසිය කටයුතු කර තිබුණේය.

මේ අතර මන්නා රමේෂ් සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් කීපදෙනෙක් අතර ගැටුම් වර්ධනය වෙමින් තිබිණි. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන්ය.

ඉකුත් පෙබරවාරි 27වැනිදා උදෑසන මන්නා රමේෂ් සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ ඩුබායි සිට සාජා නගරය බලා අධිවේගී මාර්ගය ඔස්සේ මෝටර් රථයේ යමින් සිටියහ. මේ අතර ඩුබායි පොලිසිය මඟින් රමේෂ්ගේ වාහනය නතර කරන ලෙස නියෝග කළේය.

එහෙත් රමේෂ් රථය නොනවත්වා ධාවනය කළේය. අතර මඟදි සාජා සහ ඩුබායි පොලිසි ඒකාබද්ධව කළ මෙහෙයුමකින් මන්නා රමේෂ් ගමන් ්ගත් මෝටර් රථය අත්අඩංගුවට ගත්හ.

මන්නා රමේෂ් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට විරුද්ධ ජාවාරම්කරුවකු ලබාදී තිබූ තොරතුරකට අනුව ඩුබායි පොලිසිය ඔහුගේ රථය පරීක්‍ෂා කළේය.

එහෙත් රථය තුළ මත්ද්‍රව්‍ය තිබුණේ නැත. ඩුබායි පොලිසිය මන්නා රමේෂ්ගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්‍ෂා කළේය. එහිදී හෙළි වූයේ මොහු ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබූ අපරාධකාරයකු බවය.

පසුව මන්නා රමේෂ් අත්අඩංගුවට ගත් ඩුබායි පොලිසිය ඔහු මූලස්ථානය වෙත රැගෙන ගියහ.

මන්නා රමේෂ් අත්අඩංගුවට ගත් බව ඩුබායි පොලිසිය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා පොලිසිය වෙත තොරතුරු ලබා දුන්නේය.

මන්නා රමේෂ් කෙසේ හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අවශ්‍ය විය. ඩුබායි රාජ්‍යයේ නීතිය අනුව මෙම අපරාධකරුවන් ගෙන්වා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. කෙසේ වෙතත් පොලිසිය භාර ඇමැති ටිරාන් අලස් මහතාගේ මැදිහත්වීම මත ඩුබායි බලධාරීන් සමඟ සාකච්ඡා කීපයක්ම පැවැත්විණි.

එහි ප්‍රතිඵලයක් ලෙස මන්නා රමේෂ් ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදීමට ඩුබායි පොලිසිය එකඟ විය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් ඩුබායි බලා ගිය නිලධාරීන් පිරිසක් විසින් මන්නා රමේෂ් මෙරටට රැගෙන ඒමට කටයුතු කළහ.

මන්නා රමේෂ්ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා තවමත් සිටින්නේ ඩුබායි රාජ්‍යයේය.

ඩුබායි රාජ්‍යයට වී අති සුඛෝපභෝගී ජීවිත ගතකරමින් චණ්ඩිකම් දැමූ මන්නා රමේෂ් මේ වනවිට සිටින්නේ බියෙන් තැතිගත් මුවපොව්වකු මෙන් පොලිස් අත්අඩංගුවේය.

වරක් මන්නා රමේෂ් එක්තරා විද්‍යුත් නාලිකාවකට කියාසිටියේ තමන් සිදු කළ අපරාධ වාර්තාවූ ප්‍රමාණයට වඩා වාර්තා නොවූ අපරාධ ප්‍රමාණය වැඩි බවය.

මේ වනවිට මන්නා රමේෂ් තමන් සිදු කළ අපරාධ නැවත මෙනෙහිකරමින් සිටිනවා නිසැකය.

මෙවැනි මෝඩ චන්ඩින් ගණනාවක් මෙරට පාතාල ලෝකයේ කෙලිකාරයන් ලෙස වැජඹෙමින් සිටියහ.

එහෙත් ඒ කිසිවකුත් අද ජීවතුන් අතර නැත. එක්කො උන් ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි අතින් වෙඩි කා මරුමුවට පත් වූහ.

නැත්නම් පොලිසිය එල්ල කළ ප්‍රහාරවලින් අවසන් ගමන් ගියේහ.

අවිගත්තවුන්ට අත්වන ඉරණම අවියෙන්ම විසඳෙන බව දැනගෙන කටයුතු කළේ නම් මේ මිනිසුන් අදටත් ජීවතුන් අතරය. මේ සියල්ල මන්නා රමේෂ් පමණක් නොව ඩුබායි රාජ්‍යයට වී සුඛෝපභෝගී ජීවිත ගතකරමින් මෙරට තරුණ පරම්පරාව විනාශ කරන කුඩු ජාවාරම්කාරයන් මෙන්ම පාතාලයන් ද අවබෝධ කරගත යුතුය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment