රුසියානු ගුවන්යානයේ අවුල දිග්ගැස්සෙයි

1175

රුසියානු ෆෙඩරේෂණයේ ඉහළ රාජතාන්ත්‍රික නායකයන් සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ රාජ්‍ය නායකයන්, රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රඳවා තබා ගැනීමක් සිදු නොකරන බවට ලිඛිත එකඟතාවකට පැමිණ සිටියදී 02 දා දහවල් රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළේ රඳවා ගැනීම පිළිබඳව දෙරට අතර ව්‍යාකූල තත්ත්වයක් හටගනිමින් පවතින බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රට වන්නේ රුසියාවයි. එමෙන්ම එළැඹෙන ශීත සෘතුවේදී එරට සංචාරකයන් ලක්‍ෂ 04 ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට මේ වනවිට සැලසුම් කර තිබූ බව ද එම ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් පැවසීය.

එසේම 2 වැනිදා රුසියාවේ සිට පැමිණි මෙම ගුවන්යානයෙන් ද එරට සංචාරකයන් 250 ක පමණ පිරිසක් පැමිණ තිබූ බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම මෙම රුසියානු එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන්තොටුපළ වෙත සෘජු ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් පැමිණීම සිදු කරයි.

මෙම ගුවන්යානය ඇතුළු තවත් ගුවන්යානා රාශියක් අයර්ලන්ත රක්ෂණ සමාගමක් විසින් රක්ෂණය කර තිබූ අතර හදිසියේම ඇති වූ යුක්‍රේන – රුසියා යුද ගැටුම් නිසා එම සමාගම වෙත රක්ෂණ වාරික ගෙවීම දුෂ්කර වී තිබේ.

මෙයට විසඳුමක් ලෙස එරොෆ්ලොට් ගුවන් සේවය, රුසියාවේ රක්ෂණ ආයතනයක් වෙත මෙම ගුවන්යානා සියල්ල ප්‍රතිරක්‍ෂණය කර තිබේ.

ඒ අනුව අයර්ලන්ත රක්ෂණ සමාගම වෙත වාරික ගෙවීම අත්හිටුවීමත් සමග ඔවුන් මේ පිළිබඳව කොළඹ වාණිජ මහාධිකරණය වෙත පැමිණිලි කර තිබේ.

මෙයට සම්බන්ධ නීතිඥයන් කීපදෙනකු 02 වැනිදා දහවල් ඉතා කඩිමුඩියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ, මෙම වාරණ නියෝගය භාර දීමට මෙම ගුවන් යානයේ නියමුවන් ද සොයා තිබූ අතර පසුව මෙම නියෝගය කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන සංතරණ නිලධාරිවරයා වෙත භාර දීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් මෙසේ රඳවා ගැනීමට ලක්වී ඇති ඒ – 330 එයාර් බස් වර්ගයේ ගුවන්යානය මේ වනවිට හත්වතාවක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ආපසු රුසියාව වෙත ගොස් තිබේ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment