රුසියානු ගුවන් යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතී  

401

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යෑම කොළඹ වාණිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් යානය ඊයේ (2දා) දහවල් සිට කටුනායක ගුවන් තොටුපළ තුළ නවතා දමා තිබේ.

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්. යූ.- 288 දරන ගුවන් යානය ඊයේ උදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණි.

ඉන්පසුව මෙම ගුවන් යානය ඊයේ දහවල් 12.50 ට යළිත් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබුණි. ඒ සඳහා ගුවන් මගීන් 200 කට වැඩි පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.

ඒ අතර කොළඹ වාණිජ මහාධිකරණය විසින් කටුනායක ගුවන්තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී වෙත මෙම ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව යෑම තහනම් කරමින් නියෝගයක් ලැබී තිබේ.

ඒ අනුව මෙම ගුවන් ගමන අත්හිටුවා ඇති අතර, මෙම ගුවන් ගමන සඳහා පැමිණි ගුවන් මගීන් කටුනායක ගුවන්තොටුපළ අවට සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.

මේ වනවිට මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී ඇතුළු උසස් නිලධාරීන්, එරොෆ්ලොට් ගුවන් සේවයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද සාකච්ඡා පවත්වමින් සිටින බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment