රුසියානු සාහිත්‍ය උළෙල ඔක්තෝබර් 27 දා

331

කොළඹ රුසියානු කේන්ද්‍රයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවය සංවිධානය කරන ‘2020-2021 රුසියානු සාහිත්‍ය උළෙල’ කොළඹ රුසියානු කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා අනස්තාසියා හහ්ලෝවා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් 2021 ඔක්තෝබර් 27 වන දින ප.ව.4.00 සිට කොළඹ රුසියානු කේන්ද්‍රයේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙම වසරට යෙදී ඇති ලෝ සුපතළ සාහිත්‍යධර ෆියෝදර් දොස්තයෙව්ස්කිගේ 200 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් මෙවර සාහිත්‍ය උළෙල දොස්තයෙව්ස්කිගේ නිර්මාණ කලාව ඇගැයීම සඳහා කැප කෙරෙනු ඇත. පසුගිය වසර දෙක ඇතුළත එළි දැක්වුණු රුසියානු සාහිත්‍ය පරිවර්තන කෘති සහ රුසියාව ආශ‍්‍රිතව සම්පාදනය වූ ග‍්‍රන්ථ රුසියානු කේන්ද්‍රයේ අධ්‍යක්ෂතුමිය වෙත පිළිගැන්වීමටත්, රුසියානු සාහිත්‍යය ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රචලිත කිරීමෙහිලා වැදගත් දායකත්වයක් ලබාදුන් ලේඛකයන් ‘ලියෝ තොල්ස්තෝයි’ සම්මානයෙන් පුදදීමටත් මෙහි දී කටයුතු කෙරේ. ඒ අනුව, දශක ගණනාවක් පුරා රුසියානු සාහිත්‍යය ලාංකේය පාඨකයාට සමීපකරවීමෙහි සහ එකී සාහිත්‍ය පර්යේෂණයෙහි නියැලී සිටි ප‍්‍රවීණ සාහිත්‍යධරයන් වන ආරියරත්න විතාන සූරීහු සහ කරුණාතිලක හඳුන්පතිරණ සූරීහු මේ වසරේ දී ‘ලියෝ තොල්ස්තෝයි’ සම්මානයෙන් පිදුම් ලබති.

ෆියෝදර් දොස්තයේව්ස්කිගේ ‘Gentle Creature’ කෙටි නවකතාව ඇසුරෙන් සිනමාවේදී ප‍්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත‍්‍රපටය මෙහි දී ප‍්‍රදර්ශනය කරන අතර, ‘පුෂ්කින්, ගොගොල්, තොල්ස්තෝයි, දොස්තයෙව්ස්කි: ශ්‍රේෂ්ඨතමයා කවුද?’ මැයෙන් දොස්තයෙව්ස්කි වෙනුවෙන් කැපකරන ලද සාහිත්‍ය කතිකාවක් ද, ඒ වෙනුවෙන් සැකසුණු දොස්තයෙව්ස්කි පිළිබඳ වාර්තා චිත‍්‍රපටයක් ද මෙහි දී ප‍්‍රදර්ශනය කෙරේ. මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, සිනමාවේදී ප‍්‍රසන්න විතානගේ, සාහිත්‍යවේදී ෆීලික්ස් ප‍්‍රනාන්දු දෙසුම් පවත්වන මෙම සාහිත්‍ය කතිකාවේ දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ සහ පර්යේෂිකා ඩිල්ෂානි චතුරිකා දාබරේ සංවාදයට එක්වෙති. දැනට රටේ පවතින ‘කොවිඞ්-19’ වසංගත තත්ත්වය සහ ඒ ආශ‍්‍රිතව පනවා ඇති සීමා කිරීම් හේතුවෙන් උත්සවයට සහභාගීවන පිරිස පනස් (50) දෙනකුට පමණක් සීමා කිරීමට සිදුව ඇති හෙයින්, ඊට සමගාමීව ‘සූම්’ සහ ‘ෆේස්බුක් ලයිව්’ තාක්ෂණයන්

උපයෝගී කොටගෙන මාර්ගගතව ද මෙම උළෙල වැඩි රසික ප‍්‍රජාවක් වෙත ගෙන යෑමට සැලසුම් කර තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර රුසියානු කේන්ද්‍රයේ ෆේස්බුක් පිටුවෙන් යථා කාලයේ දී දැනුම් දෙන අතර, රුසියානු සාහිත්‍යයට ආදරය කරන සැමට එ් ඔස්සේ මෙවර රුසියානු සාහිත්‍ය උළෙලට සම්බන්ධ වන මෙන් ‘රුසියානු සාහිත්‍ය කවය’ ඇරයුම් කර සිටී.

රුසියානු සාහිත්‍ය උළෙල ඔක්තෝබර් 27 දා
advertistmentadvertistment
advertistmentadvertistment