රුසියානු හමුදා ප්‍රහාරවලින් යුක්රේනයේ 19 ක් මරුට

260

රුසියාව විසින් නැවත වරක් යුක්රේනයට එරෙහිව දැඩි මිසයිල හා වෙඩි ප්‍රහාරයන් එල්ල කිරීමට පටන් ගැනීම හේතුවෙන් යුක්රේනයේ අගනුවර වන කිව් නගරය ඇතුළු සමස්ත රට පුරා යුද අවදානම අඟවන සයිරන් නළා හඬ රැව් දෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. යුක්රේනය ආක්‍රමණය කර ඇති රුසියානු හමුදාවන් විසින් පෙරේදා (10දා ) දකුණු දිග යුක්රේනයේ සැපොරිස්සියා ඇතුළු ප්‍රදේශවලට එල්ල කර ඇති මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් ඇති අතර පාසලක් ඇතුළු ගොඩනැගිලි ගණනාවක් විනාශ වී ගොස් ඇත. මෙහිදී සැපොරිස්සියා ප්‍රදේශයට පමණක් මිසයිල 12ක් එල්ල කර ඇති බව අනාවරණය වී තිබේ.

සැපොරිස්සියා ප්‍රදේශයට එල්ල වූ මිසයිල ප්‍රහාරයත් සමගම හටගත් ගින්න හේතුවෙන් ගොඩනැගිලිවල කොටු වී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් යුක්රේන බලධාරීන් විසින් දියත් කර තිබේ. රුසියානු මිසයිල ප්‍රහාරයන් හේතුවෙන් හටගෙන ඇති ගින්න වර්ග මීටර් 100ක (වර්ග අඩි 1080ක) ප්‍රදේශයක් පුරා විහිදී ගොස් තිබූ බව වාර්තා වී තිබේ. පෙරේදා උදැසන වන විට යුක්රේනය පුරා රුසියානු හමුදාව විසින් එල්ල කර තිබූ මිසයිල ප්‍රහාරයන් හේතුවෙන් පුද්ගලයන් 105 දෙනෙකු පමණ තුවාල ලබා තිබූ බව යුක්රේන අත්‍යවශ්‍යසේවාවන්හි නිරතව සිටින නිලධාරීහු පවසති. මේ අතර රුසියාව විසින් එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන යානාවලින් හරි අඩක් බිම් හෙළීමට යුක්රේන හමුදාවන්ට හැකි වී ඇති බව පවසන යුක්රේන ජනාධිපති වොලොදීමීර් සෙලෙන්ස්කි රුසියානු හමුදාවන් විසින් විනාශ කරන ලද ගොඩනැගිලි හා ප්‍රදේශ නැවත යථාතත්ත්වයට පත් කිරීමේ ක්‍රියාදාමය අරඹා ඇති බව අවධාරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment