රුසියානු හමුදා ප‍්‍රහාරවලින් මරියුපොල් නගරය නටබුන් ගොඩක් වේ

856

ගිනිකොණදිග යුක්රේනයේ පිහිටි වරාය නගරයක් වන ‘මරියුපොල්’ නගරය රුසියානු හමුදා ප‍්‍රහාරයන් හේතුවෙන් නටබුන් ගොඩක් බවට පත්ව ඇති බව නගරයේ කොටු වී සිටියදී මුදා ගැනුණු නගරවාසීහු ප‍්‍රකාශ කර තිබේ. නගරයේ සෑම ප‍්‍රදේශයක්ම මේ වන විට පොළවට සමතලා වී ගොස් ඇති බවත් රුසියානු හමුදා ප‍්‍රහාරයන් හේතුවෙන් තමා වාසය කළ මාර්ගය පවා සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති බව නගරයේ මුදාගැනුණු ජනමාධ්‍යවේදියකු වන ඇන්ඞ්රේයි මරුසොව් පවසයි.

මරියුපොල් නගරයට යුද්ධයෙන් සිදුව ඇති හානිය අපරාධයක් බවත් අලූතින් ඇති කළ යටිතලපහසුකම්, නගරයේ සංස්කෘතික අංග හා නවීකරණය කළ රෝහල් යුද්ධය නිසා විනාශ වී ගොස් ඇති ආකාරය දකින තමාට දැඩි කනගාටුවක් ඇති වන බව ඔහු සඳහන් කර තිබේ. යුක්රේනය ආක‍්‍රමණය කර ඇති රුසියානු හමුදාවන් විසින් මරියුපොල් නගරයේ ප‍්‍රකාශ කර ඇති සටන් විරාමය යටතේ නගරයේ සිරවී සිටින වැසියන් මුදාගැනීම සඳහා බස් රථ 45 ක් ඊයේ දිනයේ නගරයට යැවීමට යුක්රේන බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි. රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමේදී මරියුපොල් නගරය දැඩි ලෙස ඉලක්ක කරගෙන ප‍්‍රහාරයන් එල්ල කිරීමට පියවර ගෙන ඇති අතර රුසියානු බෝම්බ ප‍්‍රහාරයන් හේතුවෙන් නගරයේ විදුලිබලය ඇන හිට ඇති බව වාර්තා වී තිබේ. නගරයේ සටන් වැද සිටින යුක්රේන හමුදා භටයන් යටත් වන්නේ නම් පමණක් නගරයට එල්ල කරන ෂෙල් වෙඩි ප‍්‍රහාරයන් නතර කරන බව රුසියානු ජනාධිපති ව්ලදීමීර් පුටින් ප‍්‍රකාශ කර තිබේ. මරියුපොල් නගරයේ සිවිල් වැසියන් එක් ලක්ෂ හැත්තෑ දහසක් දෙනා යුද තත්ත්වය හේතුවෙන් සිරවී සිටින බව වාර්තා වී තිබේ.

මේ අතර යුක්රේනය ආක‍්‍රමණය කිරීම ඇරඹීමෙන් පසු ගත වූ මාසයක කාලය තුළදී රුසියානු හමුදාවන්ගේ පසුබැසීම් සම්බන්ධයෙන් වන සම්පූර්ණ තොරතුරු වාර්තාව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජනාධිපති පුටින් වෙත ලබා දී නොමැති බව
පෙන්ටගනය පවසයි.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment