රුසියාවට එරෙහිව සම්බාධක ශ‍්‍රී ලංකාවට බලපාන්නේද?

549

ශ‍්‍රී ලංකාවට සහ ඉන්දියාවට ඉතා අඩුවෙන් බොරතෙල් ලබාදීමට රුසියාව එකඟවී ඇත.

මෙයට වසර ගණනකට පෙර මෙරටින් ෂෙල්, එසෝ සහ කැල්ටෙක්ස් සමාගම් පිටව යෑමෙන් පසු මෙරටට තෙල් සැපයුවේ රුසියාවයි. මේ බව මෙරට බොහෝ දෙනකුට අමතක වී තිබේ. යුක්රේන ආක‍්‍රමණය නිසා ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සම්බාධක පැනවීම හේතුවෙන් මෙරට ඇතැම් පාර්ශ්ව ද ශ‍්‍රී ලංකාවට රුසියාවෙන් කිසිදු දෙයක් මිලට ගැනීමට හෝ ශ‍්‍රී ලංකාවේ සිට තේ රුසියාවට අපනයනය කිරීමට නොහැකිවන බව සිතුවත් එවැන්නක් සිදු වී නැත.

පනවා ඇති මෙම සම්බාධක එක්සත් ජාතීන්ගේ සම්බාධක නොවන නිසා එවැනි සම්බාධක ශ‍්‍රී ලංකාවට බලපාන්නේ නැත. මේ නිසා ශ‍්‍රී ලංකාවට පමණක් නොව, ඉන්දියාවට ද බොරතෙල් ලබාගත හැකිය. රජය දැනටමත් රුසියානු බලධාරීන් සමග බොරතෙල් අඩුමිලට ලබාගැනීමට සාකච්ඡා කරන බව වාර්තා විය. හැකි නම් මෙලෙස අඩුමිලට බොරතෙල් ලබාගැනීමෙන් ජනතාවට අඩුමිලට තෙල් ලබාදීමට හැකිවේ.

බි‍්‍රතන්‍යය විසින් රුසියානු තෙල් ලබාගැනීමට ක‍්‍රියා නොකිරීම නිසා රුසියාවේ තෙල් අතිරික්තයක් ඇතැයි අනාවරණය වී ඇත. මේ නිසා ශ‍්‍රී ලංකාවට බොරතෙල් ලබාගැනීමට හැකිවී තිබේ.

මෙහිදී නැගෙන බරපතළ ප‍්‍රශ්නය නම් ශ‍්‍රී ලංකාව හා රුසියාව අතර සබඳතා ආරම්භ වී වසර 50කට අධික කාලයක් ගතවී ඇතත් ශ‍්‍රී ලංකාව රුසියාවෙන් තෙල් ලබා නොගන්නේ මන්ද යන්නයි.

ආරංචි මාර්ග දක්වන අන්දමට ශ‍්‍රී ලංකාව අතරමැදියන් හරහා තෙල් ලබාගැනීමට ක‍්‍රියා කළ අතර රුසියාව විසින් තෙල් ලබාදීමට තීරණය කිරීම නිසා මෙරට ජනතාවට වාසියක් සැලසේ. රුසියානු රජය ශ‍්‍රී ලංකාවට තෙල් ලබාදෙන්නේ රජයෙන් රජයට යන පදනම යටතේය. මේ නිසා අතර මැදියන්ට කොමිස් කුට්ටි ලබාගැනීමට හැකියාවක් නැත. ඩොලර් සංචිතය අඩුවීම නිසා ශ‍්‍රී ලංකාව ඩොලර් හිඟයකට මුහුණ දී ඇති අවස්ථාවේ රුසියාවේ බොරතෙල් මෙරටට ලබාගැනීමට හැකිවීම විශාල ලාභයකි.

යුක්රේන යුද්ධය නිසා තෙල් මිල ඩොලර් 130ක් දක්වා වැඩි වී ඇති අවස්ථාවක රුසියාව විසින් ඉන්දියාව හා ශ‍්‍රී ලංකාවට තෙල් ලබාදීම සිය මිත‍්‍ර රටවල්වලට සහය වීමකි. ශ‍්‍රී ලංකාව සමග විවිධ ගිවිසුම් අත්සන් කිරීමට ඉදිරිපත්වූ ඇමරිකාව සහ මැද පෙරදිග රටවල් ද සෘජුව ශ‍්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ක‍්‍රියා කළේ නැත. මෙයට වසර ගණනාවකට පෙර ඇමරිකාව විසින් රුසියාවට සම්බාධක පනවනු ලැබූවත් රුසියාවෙන් අවශ්‍ය යුද අවි ලබාගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවිය. එසේම වන්නි මෙහෙයුමට එරෙහි සටන් වැදීම සඳහා ඇමරිකාව ප‍්‍රහාරක හෙලිකොප්ටර් ලබාදීමට ක‍්‍රියා කළේ නැත.

ඊශ‍්‍රායලය විසින් ශ‍්‍රී ලංකාවට කෆීර් ප‍්‍රහාරක යානා සැපයීමට තීරණය කළ අවස්ථාවේ කොටිඩයස්පෝරාව ඊට එරෙහිවීම නිසා ඇමරිකානු රජය ඊශ‍්‍රායලයට පැවසුවේ ශ‍්‍රී ලංකාවට කෆීර් යානා නොදෙන ලෙසත් ඊට හේතු වූයේ කෆීර් යානාවල ඇත්තේ ඇමරිකානු නිෂ්පාදිත ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් එන්ජිම නිසාය. එහෙත් ඊශ‍්‍රායල් රජය ඇමරිකාවේ විරෝධය නොතකා කෆීර් ප‍්‍රහාරක යානා මෙරටට සපයනු ලැබීය.

මෙම පසුබිම මැද යුක්රේනයේ ඇන්ටනොව් කම්හල විනාශවීම නිසා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටනොව් 32 බී යානා නඩත්තු කිරීම බිඳ වැටෙන බව සිතුවත් ඇන්ටනොව් අමතර කොටස් සහ එන්ජිම රුසියාවේ නිපදවයි. මේ තත්ත්වය මත රුසියානු රජය ඩොලර් 25ක් අඩුවෙන් බොරතෙල් මේ රටට ලබාදීමට ඉදිරිපත්වීම ශ‍්‍රී ලංකාවේ තෙල් අර්බුදයට විසඳුමකි.

රුසියාව ලෝක තෙල් සැපයුමෙන් සියයට 12ක් නිපදවන අතර ඇමරිකාව සහ යුරෝපා සංගමය ද රුසියානු තෙල් මිලට ගෙන තිබුණි. ඉන්දීය ආරංචි මාර්ග පැවසුවේ ඉන්දියා තෙල් සඳහා මුදල් ගෙවන්නේ ඉන්දීය රුපියල්වලිනි. එම ක‍්‍රමවේදය ශ‍්‍රී ලංකාවට ද උචිතය.

රුසියාවේ සර්ගුප්ට්නෙට් සමාගම චීනයට ද තෙල් අලෙවි කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා ණයවර ලිපි අවශ්‍ය නොවේ. ලොව තෙවැනි විශාලතම තෙල් නිපදවන්නා රුසියාවයි. එසේම ලොව තෙල් වෙළෙඳපොළට තෙල් සපයන විශාලතම නිෂ්පාදකයාද වේ.

රුසියාවේ තෙල් නිෂ්පාදනය මෙසේය.

දිනකට තෙල් බැරල් 11262746 යි.

2016 වසර වනවිට රුසියාව සතුව බැරල් 80,000,000,000ක තෙල් සම්පත් තිබුණි.

රුසියාව තමන් සතු තෙල්වලින් සියයට 45ක් ම අපනයනය කරයි. මේ අතර ඉන්දියාව විසින් රුසියාවෙන් තෙල් ගැනීමට ඉදිරිපත්වීම නිසා ඇමරිකානු රජය ඉන්දියාවට අනතුරු අඟවමින් රුසියාවෙන් ඈත්ව සිටින ලෙස ඉල්ලා තිබේ. යුක්රේන ආක‍්‍රමණය නිසා යුරෝපා සංගමය රුසියාවට සම්බාධක පනවනු ලැබුවත් යුරෝපා සංගමයේ සියලු රටවලට තෙල් සපයන්නේ රුසියාවයි.

මේ තත්ත්වය මත සම්බාධක හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ තේ අපනයනය නතර වී නැත. ශී‍්‍ර ලංකාව විසින් රුසියාවට තේ සපයනු ලැබුවේ හැම්බර්ග් වරාය ඔස්සේයි. එතැන් සිට පින්ලන්තයේ කොර්සොට් දේශසීමාව ඔස්සේ බහාලුම් මගින් රුසියාවට තෙල් ප‍්‍රවාහනය කෙරේ. එසේම ඇමරිකානු සහ යුරෝපා සංගමය පැනවූ සම්බාධක ශ‍්‍රී ලංකාවේ තේවලට බලපාන්නේ නැත.

මෙවන් පසුබිමක් මැද රුසියාවට එරෙහිව හඬ නඟන රටවල් රුසියාවෙන් ද බොරතෙල් මිලයට ගෙන තිබේ. ඔස්ටේ‍්‍රලියාව, ජපානය, කොරියාව, නවසීලන්තය, කැනඩාව – චිලී, මෙක්සිකෝ, ඇමරිකාව, ඔස්ට්‍්‍රයාව, බෙල්ජියම, චෙක් ,ඩෙන්මාර්කය, එස්ටෝනියව, පින්ලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, ග‍්‍රීසිය, හංගේරියාව, අයිස්ලන්තය, අයර්ලන්තය, ඊශ‍්‍රායලය සහ ඉතාලිය යන රටවල්වලට රුසියාව තෙල් අලෙවි කර තිබේ. ගතවූ කාලයේ ඉන්දියාව සහ තුර්කිය විසින් රුසියාවෙන්් මිසයිල පද්ධති මිලයට ගත් අතර ඊට අමතරව ටී. 72 යුදටැංකි ද ලබාගෙන තිබුණි. රුසියාවේ රොස්බොරන්පොස් නමැති රාජ්‍ය ආයුධ අලෙවි කරන සමාගමට ඇමරිකාව සම්බාධක පනවා තිබූ බව අනාවරණය විය. මෙයට පෙර ද ඇමරිකාව විසින් රුසියාවට සම්බාධක පනවා තිබියදී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා රුසියාවේ සංචාරයක නිරත විය.

මේ අතර බටහිර රටවල් රුසියාවට පැනවූ සම්බාධක බටහිර රටවලට සහාය දක්වන රටවලට බලපාන අතර ආසියාවට අනිකුත් රටවල් ඒ සඳහා පැනවිය යුතු යැයි දැක්වෙන නීතියක් නැත.

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේදී රුසියාවට එරෙහිව ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මේ නිසා මෙරට හිටපු බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩව්රිස් ශ‍්‍රී ලංකාවට පරිභව කළේය.

මේ තත්ත්වය මැද අද රුසියාවට චෝදනා කරන පාර්ශ්ව යුක්රේනය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට එරෙහි වූයේ බටහිර රටවල් සමග එක්ව ක‍්‍රියා කිරීම නිසා බව දැනගත යුතුය. මේ අතර බටහිර රටවල අරමුණ වී ඇත්තේ රුසියාව ප‍්‍රමුඛ රුසියානු ජනතාව තනිකිරීමයි. රුසියාවේ ජනපති යුද අපරාධකරුවකු කරමින් ඇමරිකාවේ කොංග‍්‍රස් මණ්ඩලය ජනපති පුටින් යුද අපරාධකරුවකු කළේය. ඊට පෙර ඇමරිකාව මෙරට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරීන් තිදෙනකුට යුද අපරාධ චෝදනා එල්ලකරමින් ඔවුන්ට පමණක් නොව පවුලේ අයට ද සම්බාධක පනවනු ලැබීය.

මේ යුද අපරාධ චෝදනා එල්ලකිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් අනුගමනය කරන්නේ දෙබඩි පිළිවෙතකි.

ඉරාකයට ලිබියාවට සහ සර්බියාවට ඇමරිකාව බි‍්‍රාතාන්‍යය ඇතුළු රටවල් ප‍්‍රහාර එල්ල කළේ එක්සත් ජාතීන්ගේ අවසරයකින් තොරවය. එහෙත් කිසිදු රටක් ඇමරිකාවට සහ බි‍්‍රතාන්‍යයට එරෙහිව සම්බාධක පැනවූයේ නැත. ඉහත කීි ඉරාකය, ලිබියාව වැනි රටවල්වල ද යුද අපරාධ විශාල ලෙස සිදුවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බටහිර රටවල් ඒ ගැන කිසිදු පියවරක් ගත්තේ නැත. බි‍්‍රතාන්‍ය අධිකරණය ඉදිරියේ හිටපු බි‍්‍රාතන්‍ය අගමැති ටෝනි බ්ලේයාර්ට යුද අපරාධ චෝදනා එල්ලවූ විට අධිකරණය අපූරු තීන්දුවක් දුන්නේය. ඒ බි‍්‍රතාන්‍ය ව්‍යස්ථාවේ ආක‍්‍රමණය යනුවෙන් වචනයක් නැති බවට තීරණය කරමිනි.

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධනය සර්බියාව නමැති ස්වෛරී රාජ්‍යයට ප‍්‍රහාර එල්ල කර මහා විනාශයක් කරන අවස්ථාවේ මුළු ලොව ම බලා සිටියේය.

අවසානයේ සර්බියානු නායක මිලොසොවික්ව පසුව පැමිණි සර්බියානු රජය හේග් ජාත්‍යන්තර අධිකරණයට පවා දුන්නේ ලොව අංක එකේ බිහිසුණු අපරාධකරු කරමිනි. මිලොසොවික් හේග් සිර ගෙදර දී අබිරහස් ලෙස මිය ගියේය. පසුව ජාත්‍යන්තර අධිකරණය තීරණය කළේ මිලොසොවික්් යුද අපරාධ කර නැති බවයි.

මේ අයුරින් ස්ලෝවේනියාවට සහ ක්‍රෝෂියාවට ද යුද අපරාධ චෝදනා එල්ලවිය. එහෙත් එම රටවල් යුද අපරාධ කර නැතැයි තීන්දු විය.

ඒ අනුව තහවුරු වන්නේ යුද අපරාධ ගැන තීන්දු කරන පැමිණිලිකරු සාක්ෂිකරු සහ විනිසුරුකරු ඇමරිකාව බවයි. මෙවන් පසුබිමක් මැද මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ පසුගිය දිනක ඇෆ්ගනිස්තානයට ගියේය. එහිදි ඇය මානව හිමිකම් උල්ලංඝනය කළ කිසිම තාලිබාන් ත‍්‍රස්තයකුට එරෙහිව සම්බාධක පනවන ලෙස මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල්වලින් ඉල්ලීමක් කළේ නැත.

මේ නිසා ඇය අනුගමනය කරන්නේ දෙබඩි පිළිවෙතක් බව සනාථ විය. මානව හිමිකම් කොමසාරිස්වරිය බටහිර රටවල අවශ්‍යතා මැද රුසියාවට එරෙහිව ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ක‍්‍රියාකළේ යුක්රේන ආක‍්‍රමණයට එරෙහිවය. එහෙත් ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාවක් ගෙන ආවේ කොටි පරාජය කිරීම නිසාය. එහිදී නඩු විභාගයකින් තොරව මෙරට හමුදා නිලධාරීන් 28 ක් ඇය විසින් යුද අපරාධකරුවන් කර ඇත.

ඒ සඳහා 120,000ක් සාක්ෂිකරුවන් පිරිසක් ද ඇය සූදානම් කර තිබේ. මේ තත්ත්වය මැද සම්බාධක සහ යුද අපරාධ චෝදනා අද ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල දේශපාලන මෙහෙයුමක් බව තහවුරු වේ.

මේ අතර මෙයට කලකට පෙර ඇමරිකානු රජය රුසියාවට සම්බාධක පනවා තිබියදී ඉන්දියානු රජයට රුසියාව රජයෙන් තෙල් මිලයට ගැනීමට ඇමරිකාව අවසර දුන්නේය. මෙවරද ඇමරිකාව අනුගමනය කරන්නේ එම පිළිවෙතයි. ඇමරිකානු රජය බි‍්‍රතාන්‍යයට සම්බධක පනවා තිබියදී ඉරානයෙන් තෙල් මිලයට ගැනීමට ශ‍්‍රී ලංකාවට නොහැකි විය.

එවන් වාතාවරණයක් මැද රුසියාවේ දේශ සීමා අසලට පැමිණියේ නේටෝ සංවිධානය බව අමතක කළ යුතුද? නේටෝ සංවිධානයට එරෙහි වීමට වෝර්සෝ සංවිධානය සහ පැරණි සෝවියට් ප‍්‍රාන්ත වූ ලැට්වියාව, එස්ටෝනියාව, ලිතුවේනියාව සහ යුක්රේනය සම්බන්ධ විය. එහෙත් අද සිදුවී ඇත්තේ කුමක් ද? පෝලන්තය ද බටහිර කඳවුරට සම්බන්ධවී තිබේ. රුමේනියාව ද ඊට අයත්වී ඇත. පෝලන්තය තුළ ඇමරිකානු බළකායක් ද ස්ථාපිත වී ඇත. එසේම යුක්රේන භටයන්ට පුහුණුව ලබාදෙන්නේ හිටපු බි‍්‍රතාන්‍ය සහ ඇමරිකානු භටයන් නම් මෙය යුද ගිනි ව්‍යාප්ත කිරීමක් නොවේද? ඉන් තහවුරු වන්නේ නේටෝ කඳවුරේ ව්‍යාප්ත ජාලයයි.

ඇමරිකාව ඩොලර් මිලියන 300ක් වටිනා අවි ආයුධ යුක්රේනයට සැපයූවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට නොවේ. මේ තත්ත්වය මැද රුසියානු තෙල් ශ‍්‍රී ලංකාවට ලබාගැනීම ගැන බටහිරට ගැති පාර්ශ්වවල විරෝධයක් මතුවීමට ඉඩ තිබේ.

එහෙත් ඩොලර් සංචිතය පහළ බැස ඇති අවස්ථාවක ඇමරිකාව හෝ මැද පෙරදිග රටවල් අඩුමිලට මෙරටට තෙල් සපයන්නේ නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment