රුසියාවෙන් අඩුවට තෙල් මගේ කාලයේ තිබුණේ නෑ – ගම්මන්පිල කියයි

180

රුසියාවෙන් අඩුවට තෙල් මගේ කාලයේ තිබුණේ නෑ – ගම්මන්පිල කියයි

අඩු මිලට රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී ගැනීමේ ස්වර්ණමය හැකියාව තමා බලශක්ති ඇමැති ධුරය දැරූ සමයේ නොතිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි.

බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටී.

ගම්මන්පිල මහතා නිවේදනය මගින් මෙසේ ද සඳහන් කරයි.

ආණ්ඩුව විසින් රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ විමල් වීරවංශ මන්ත්‍රිතුමා විසින් 2022 ජූනි 22 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ප්‍රශ්න කළේ “ඔබතුමාගේ සංධානයේ සිටින හිටපු බලශක්ති ඇමැතිවරයා තමයි පසුගිය වසර එකහමාරක් කටයුතු කළේ. එතුමා රුසියාවෙන් තෙල් නොගත්තේ ඇයි” යනුවෙනි.

ස්වාධීන පක්ෂ එකමුතුවේ සිටින එකම හිටපු බලශක්ති ඇමැතිවරයා මා බැවින් මාගේ නම සඳහන් නොකළ ද එය මට එරෙහිව නැගූ චෝදනාවක් ලෙස ජනතාව තේරුම් ගෙන ඇත. එබැවින් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීම මගේ යුතුකමකි.

රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය අරඹන්නේ 2022 පෙබරවාරි 24 දිනය. යුරෝපීය රටවල් විසින් රුසියාවට සීමිත වෙළෙඳ සම්බාධක පනවන්නේ පෙබරවාරි 26 දිනය. රුසියාව විසින් ඈත පෙරදිග රටවලට තම ඉන්ධන සැපයීම ඇරඹුවේ සමීපයේ තිබෙන යුරෝපියානු වෙළඳපොළ අහිමි වීමෙන් පසුවය. ජනාධිපතිතුමා විසින් මා බලශක්ති ඇමැති ධුරයෙන් ඉවත් කරන්නේ මාර්තු 3 දිනය. එනම් රුසියාවට සම්බාධක පනවා දින පහකට පසුවය. එබැවින් අඩු මිලට රුසියානු ඛනිජතෙල් මිල දී ගැනීමේ ස්වර්ණමය අවස්ථාව මා ඇමැති ධුරය දරණ සමයේ නොතිබුණු බව දිනපතා ප්‍රවෘත්ති නරඹන පාසල් දරුවන් පවා දන්නා කරුණකි.

මෙරට ඛනිජතෙල් හිඟයක් 2021 ජූලි මාසයේ දී ඇති වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂය විසින් අනතුරු අඟවන ලදී. නමුත් ඉන්දියාවෙන් සහ චීනයෙන් ණය පහසුකම් ලබා

ගනිමින් ද සැපයුම්කරුවන්ගෙන් දිගුකාලීන ණය පහසුකම් ලබා ගනිමින් ද එකී ඛනිජතෙල් හිඟය මාස අටකින් කල් දමා ගැනීමට අපට හැකි විය. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ඉන්ධන මිල දී ගැනීම සඳහා ණය පහසුකම් ලබා ගැනීමට හොඳම රට රුසියාවයි. එක් පැත්තකින් රුසියාවට ඉන්ධන අතිරික්තයක් ඇත. අනිත් පැත්තෙන් විදේශීය ජංගම ගිණුමේ පළමු මාස පහ තුළ දී පමණක් ඩොලර් බිලියන 120ක් ඉක්ම වූ අතිරික්තයක් ඇති බැවින් ණය පහසුකමක් ලබා දීමේ ශක්තිය ද ඇත. නමුත් ශ්‍රී ලංකාව මෙතෙක් රුසියාවෙන් එවැනි පහසුකමක් ඉල්ලා නොමැති බව 2022 ජුනි 21 දින අප සමග රුසියානු තානාපතිතුමා විසින් පවසන ලදී. ජනතාව තෙල් සහ ගෑස් පෝලීම්වල මිය යන පසුබිමක එවැනි ඉල්ලීමක් නොකිරීම ඇත්තෙන්ම අපරාධයකි.

advertistmentadvertistment
advertistmentadvertistment