රුසියාවෙන් ඉන්ධන ගන්න ද්වීපාර්ශ්වික සාකච්ඡා අරඹන්න: පක්‍ෂ නවය ජනපතිට ලියයි

190

ශ්‍රී ලංකාව සඳහා රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් පක්‍ෂ 09 එකමුතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික කොංග්‍රසය, විජයධරණි ජාතික සභාව, යුතුකම ජාතික සංවිධානය, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය යන පක්‍ෂ 09 විසින් ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.

එම පක්‍ෂ 09 විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යොමුකළ ලිපියේ මෙසේ සඳහන් වේ.

ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කරනු ලැබූ ඉල්ලීමකට රුසියානු රජය එකඟතාවය පළ කොට ඇති බව විශ්වාස කටයුතු මාර්ගවලින් අපට දැනගන්නට ලැබී ඇත. එහෙත් රජය මේ පිළිබඳව ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග අපැහැදිලිය. රුසියානු තෙල් මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ කෝපයට ලක් විය හැකි බවට ඇතැම් වගකිවයුත්තන් සිතන බව ප්‍රකාශ වී ඇත. මේ ආකාරයට ඇමෙරිකානු හා බටහිර ගැති මනෝභාවයන් පුද්ගලයන් තුළ තිබීම ප්‍රශ්නයක් නොවුණ ද, එම අදහස් ප්‍රතිපත්තීන් බවට පත් කරගෙන අපගේ ජීවිත පවත්වාගෙන යෑමට නොහැකි ආකාරයට රටේ පාලක පිරිස් ක්‍රියාකිරීම අප පක්ෂ අනුමත නොකරති. කොතරම් ගැටුම් පැවතිය ද, යුරෝපයේ දිනපතා මිලියනයකට (ලක්ෂ දහයකට) අධික බොරතෙල් බැරල් ප්‍රමාණයක් දැනුදු රුසියාවෙන් මිලදී ගනියි.

එබැවින්, මෙම ලිපියට අත්සන් තබන පක්ෂ ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි රුසියානු රජය ලබා දී ඇති එකඟතාවය අනුව යමින්, දීර්ඝකාලීන පදනමෙන් රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීම සඳහා වහා ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කරන ලෙසයි. එසේ ක්‍රියාකිරීමට අපොහොසත් වන්නේ නම්, රුසියානු ඉන්ධන මිලදී ගෙන රට පත්ව ඇති දුක්ඛිත තත්ත්වයෙන් මුදා ගැනීමට බලකිරීම සඳහා, ජනතාව සමඟ එක්ව ක්‍රියා කරන්නට අප පක්ෂ නොපැකිලෙන බව ඔබතුමන් වෙත මෙයින් දන්වා සිටිමු. අප මෙම ලිපියෙන් මතු කරන ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබා දෙන්නේ නම් කෘතඥ වෙමු.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment