රුසියාවෙන් බැටකන යුකේ‍්‍රනයේ අතීත විත්ති

681

නැගෙනහිරින් රුසියාව, උතුරින් බෙලරූස් රාජ්‍යය, බටහිරින් පෝලන්තය, ස්ලෝවැකියාව, හංගේරියාව, නිරිත දෙසින් රුමේනියාව, මෝල්ඩෝව හා දකුණින් කළු මුහුද හා අසෝ මුහුදට මායිම් වන යුකේ‍්‍රනය පොදුවේ නැගෙනහිර යුරෝපා රාජ්‍යයක් වශයෙන් පිළිගැනේ. වත්මන් අගනුවර ”කිවේයි” වන අතර ඒකාබද්ධ රාජ්‍යයක් ලෙස ප‍්‍රාන්ත 24කින් යුතුව අර්ධ ජනපති ක‍්‍රමයක් සහිත සමූහාණ්ඩුවක් ඔස්සේ වත්මන් යුකේ‍්‍රනය පාලනය වේ. වර්ග කි. මී. 603,628කින් සමන්විත මෙම රාජ්‍යය තුළ ජනගහනය මිලියන 44.7ක් පමණ වේ. අතීතයේ යුකේ‍්‍රනයට අයත් වූ භූමි ප‍්‍රදේශයේ ජීවත් වූ, එමෙන්ම 20 වන සියවස වන විටත් එම ප‍්‍රදේශයේ ජීවත් වන ජනයා ”යුකේ‍්‍රන” නම් ජාතිකත්වය තුළට ගොණු කොට ”යුකේ‍්‍රන

වාර්ගිකත්වයක්” නිර්මාණය කිරීමට එරට දේශපාලනය එවකට සමත් විය. ඒ අනුව,

යුකේ‍්‍රන වාර්ගිකත්වය = 77.5%

රුසියානු වාර්ගිකත්වය = 17.2%

රුමේනියානු = 0.8%

බෙලරුසියානු = 0.6%

ක‍්‍රිමියානු ටාටර්වරු = 0.5%

බල්ගේරියානු = 0.4%

හංගේරියානු = 0.3%

පෝලන්ත = 0.3%

යුදෙව් = 0.2%

ආමේනියානු = 0.2%

යනා දී වශයෙන් වාර්ගික කණ්ඩායම් ප‍්‍රතිශතයන් වත්මන් යුකේ‍්‍රනයේ ජීවත් වේ.

රුසියාවෙන් බැටකන යුකේ‍්‍රනයේ අතීත විත්ති

”යුකේ‍්‍රන බස” මෙහි රාජ්‍ය භාෂාව වන අතර එය අතීතයේ සිට මෙම රට අයත් කලාපයේ වාසය කළ කොෂැක්, ස්ලාවික, නෝඩික් ආදී වශයෙන් වූ සංක‍්‍රමණික ප‍්‍රජාවන්ගේ භාෂාවන්හි සම්මිශ‍්‍රණයකි. රුසියානු බසෙහි මෙන්ම සිරිලික් ස්ලැවික සම්භවයක් මෙහි පවතින අතර බස හැසිරවීම හා ව්‍යාකරණ නීති ආදිය බහුතරයක් යුරෝපා හා ආසියානු එනම් ‘‘යුරේසියානු” භාෂාවන්ට සමානකම් දක්වයි.

යුකේ‍්‍රන ඉතිහාසය ලොව අනෙකුත් රාජ්‍යයන් හා සාපේක්ෂව වසර දහසකට වැඩි ඈතකට දිවෙයි. නූතන යුකේ‍්‍රනියානුවන්ගේ ආදි කාලීනයන් ලෙස ස්ටෙප්ස් තෘණ භූමි හරහා පැමිණි සංක‍්‍රමණිකයන්, කළු මුහුද ඔස්සේ පැමිණි වෙළෙඳුන්, වයිකිංවරුන්, නිපර් නදිය ආශ‍්‍රිතව සංක‍්‍රමණය වූ පිරිස් ආදීන් සලකනු ලැබේ. රෝම අධිරාජ්‍යය ආක‍්‍රමණයට කටයුතු කරනු ලැබූ විවිධ ගෝත‍්‍රයන්ගේ ආභාෂය ලත් ස්ලැවික වැසියන් යුකේ‍්‍රනය ආශ‍්‍රිත භූමි කලාපයේ ජනපද පිහිටුවාගෙන ඇති අතර පසුව වයිකිංවරුන්ගේ ආක‍්‍රමණයන් හේතුවෙන් ස්ලාවික හා වයිකිං හවුල් පාලනයක් මෙම කලාපයේ නිර්මාණය වී ඇත. මෙම පාලන ක‍්‍රමය වයිකිං ප‍්‍රභූන් යටතේ සිදු වූ අතර ”Kievan Rus” යනුවෙන් එම රාජ්‍යය හඳුන්වා ඇත.

යුකේ‍්‍රන කලාපය වෙත නැගෙනහිර ඕතොඩොක්සවාදී ක‍්‍රිස්තියානි ආගම ව්‍යාප්ත වන්නේ ද මේ යුගයේය. නැගෙනහිර රෝම අධිරාජ්‍යයෙන් පැමිණි සංක‍්‍රමණික ගුරුවරුන් ඔස්සේ මෙම භූමි කලාපයේ නැගෙනහිර ක‍්‍රිස්තියානි ආගම ව්‍යාප්ත වී ඇත. එබැවින් නූතන යුකේ‍්‍රනයේ ජනගහනයෙන් 72%ක ප‍්‍රමාණයක් මෙම ආගම අදහනු ලබන අතර 8.8%ක් පමණ කතෝලික ආගම අදහනු ලැබේ.

ක‍්‍රි.ව. 13 වන සියවසේ නැගෙනහිර ආසියාවේ මොංගෝල අධිරාජ්‍ය වර්ධනය වීමත් සමඟ එය ජපන් මුහුදේ සිට නැගෙනහිර යුරෝපය දක්වා ව්‍යාප්ත වී ඇත. ඒ අනුව ක‍්‍රි.ව 1237-1240 කාලයේ මොංගෝලවරු Kievan Rus භූමිය ආක‍්‍රමණය කොට ඇති නමුත් ක‍්‍රි.ව 1285-1300 කාලයේ මොංගෝල බලය බිඳ වැටීමත් සමඟ ඔවුන් යුරේසියාව අත්හැර ගොස් ඇත. හිස් වූ යුරේසියානු බල අධිකාරිය පිරවීම සඳහා ලිතුවේනියානු රාජාණ්ඩුවක් කටයුතු කොට ඇති අතර එය ලිතුවේනියාව හා Kievan Rus භූමිය එක් කොට ‘‘රූතිනියාව” නමින් බිහි විය.

1569 වසරේදී පෝලන්-ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය ((Polish-Lithuanian Commonwealth)) පිහිටුවා ගැනීමෙන් යුකේ‍්‍රනය පෝලන්ත පාලනයට නතු කර ගෙන ඇත. මේ අතරතුර කාලයේ යුකේ‍්‍රනයට නැගෙනහිරින් පිහිටි රාජ්‍යයක් ලෙස රුසියාව වර්ධනය වීමත් බටහිර කලාපය තුළ යුරෝපා බලවතුන්ගේ නැගීමත් සිදු වී ඇත. ඉන් පසුව ක‍්‍රි.ව 1600දී පමණ පෝලන්ත-ලිතුවේනියාව තුළ යුකේ‍්‍රනයට පක්ෂ රණකාමී කණ්ඩායමක් ලෙස කොෂැක්වරු ඉස්මතු වී ඇති අතර ඔවුන් පෝලන්ත-ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවරත්වය තරමක් අඩපණ කිරීමට සමත් වූ කණ්ඩායමක් ද වේ. එනමුත් 18 වන සියවසේ යුකේ‍්‍රනයේ
නැගෙනහිර කලාපය රුසියානු අධිකාරයට නතු වී ඇති අතර එහි බටහිර අර්ධය යුරෝපා සන්ධානයේ රාජ්‍යයන්ට නතු වෙමින් පැවතිනි. විශේෂයෙන්ම යුකේ‍්‍රනය අද මුහුණ දෙනු ලබන රුසියාව හා යුරෝපය අතර ඝට්ටනයට ඉතිහාසය පුරාම ඔවුන් මුහුණ දී ඇති අතර එම ඝට්ටනයන් කෙරෙන් සිය භූමි කලාපයේ ස්වාධීනත්වය අහිමි කර ගැනීමට යුකේ‍්‍රනියානුවන්ට එදත් අදත් විදු වී ඇත. 1856-1859 කාලය තුළ යුකේ‍්‍රනයට දකුණින් පිහිටි ක‍්‍රිමියානු අර්ධද්වීපයේ දී බටහිර බලවතුන් රුසියාවට එරෙහිව සිදු කළ ක‍්‍රිමියානු යුද්ධයෙන් රුසියාව පරාජයට පත් විය. 1917 වන විට රුසියන්-ජපන් ගැටුමත්, පළමු ලෝක සංග‍්‍රාමයත් හේතුවෙන් රුසියානු බලය තවදුරටත් පවත්වා ගැනීම තීරණාත්මක වූ අතර අභ්‍යන්තරයේ

සිදු වූ බොල්ෂෙවික්වරුන්ගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් රුසියානු අධිරාජ්‍යය ක‍්‍රමයෙන් අඩපණ වෙමින් පැවතිනි. ලද අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනු ලැබූ යුකේ‍්‍රන වාමවාදී ව්‍යාපාර කිහිපයක් එක්ව ‘‘සෙන්ට‍්‍රල් රාඩා කවුන්සිල්” නමින් කම්කරු ජනයාගේ පක්ෂ රැසක එකමුතුවෙන් සංවිධානයක් පිහිටුවා අගනුවර වූ කිවේයි නගරයේ බලය අල්ලා ගන්නා ලදී. ඊට පිළිතුරු ලෙස නැගෙනහිර යුකේ‍්‍රනයේ දේශපාලන හා සන්නද්ධ සංවිධානයන්ට රුසියාව සහාය ලබා දුන් අතර යුකේ‍්‍රනයේ ‘‘කාර්කිෆ්” නගරය මුල් කොට ගෙන රුසියාවට එක් වීමට කැමති රුසියානු සම්භවයක් සහිත ජනයා විකල්ප ජනරජයක් ලෙස සංවිධානය කළේය. එසේ වූවත් 1918 ජනවාරි මස 16 දින යුකේ‍්‍රනය සිය නිදහස පළමු වරට ප‍්‍රකාශ කළ අතර පසුව එය ක්ෂණික සිවිල් අරගලයකට හේතු විය.

ඒ අනුව රතු හමුදාවන් සමඟ එක් වූ සෝවියට්වරුන් යුකේ‍්‍රනයේ තුනෙන් දෙකක බලය අත්පත් කර ගනු ලැබීය. ඉතිරි කොටස පෝලන්තය හිමි කර ගැනීමත් සමඟ යුකේ‍්‍රනයට ස්වකීය නිදහස පූර්ණ වශයෙන්ම අහිමි විය. 1922 දෙසැම්බර් මස 30 යුකේ‍්‍රනයේ සෝවියට් පාලනයට නතු වූ කොටස සෝවියට් ඒකකයක් බවට පත් කළේය. 1932-1933 මහා සාගතය නොහොත් ‘‘හොලදමෝර්” සාගතය (Holodomor Famine) ඇති වීමත් සමඟ මිලියන 5ක පමණ මිනිස් ජීවිත අහිමි වීම ඔස්සේ යුකේ‍්‍රනය සිය ඉතිහාසයේ දුෂ්කරතම කාල පරිච්ෙඡ්දයකට මුහුණ පෑවේය.

දෙවන ලෝක සංග‍්‍රාමයට පෙර රුසියාව හා ජර්මනිය අතර වූ සම්මුතිය හේතුවෙන් යුකේ‍්‍රනයේ බටහිර කොටස නාසි ආක‍්‍රමණයට නතු විය. යුකේ‍්‍රන ජාතික සංවිධාන නිදහස උදෙසා සටන් කරනු ලැබුවත් ලෝක යුද්ධය අවසන් වන විට සිවිල් යුද්ධ, ස්ටාලින්, නාසි හා සෝවියට් බලාධිකාරයන් නිසාවෙන් යුකේ‍්‍රනියානුවන් මිලියන 9ක් පමණ සිය දිවියෙන් වන්දි ගෙවා තිබිණි.

රුසියාවෙන් බැටකන යුකේ‍්‍රනයේ අතීත විත්ති

කෙසේ නමුත් 20 වන සියවස අග භාගයේ අඩපණ වූ සෝවියට් සංගමය හා හමුදා කුමන්ත‍්‍රණ මැද දුර්වල වූ රුසියාවෙන් වෙන් වූ යුකේ‍්‍රනය 1991 අගෝස්තු 24 දින දෙවන වරට ද සිය ස්වෛරීත්වය ප‍්‍රකාශ කළේය. ඒ වන විට යුකේ‍්‍රනය තවදුරටත් රඳවා ගැනීමට රුසියාවට හැකියාවක් නොතිබි අතර නිදහස් හා ස්වෛරී රාජ්‍යයක් ලෙස එවක් පටන් යුකේ‍්‍රනය නැගෙනහිර යුරෝපයට හා රුසියානු ප‍්‍රදේශන්ට මැදිව සිය දේශපාලන බලය ව්‍යාප්ත කරනු ලැබීය.

යුකේ‍්‍රනය යනු ස්වභාවික සම්පත් බහුලව පවතින රාජ්‍යයකි. ඒ හේතුවෙන්ම 19වන සියවසේ සිට ආක‍්‍රමණිකයන්ගේ හස්තය නිරතුරුව යුකේ‍්‍රනය වෙත දිගු විය. ගල් අඟුරු, ස්වභාවික ගෑස්, මැංගනීස්, ටයිටේනියම්, නිකල්, රසදිය, සල්ෆර්, යකඩ වැනි සම්පත් යුකේ‍්‍රනයේ විසිරී පැවතීම ස්ටාලින්ගේ පස් අවුරුදු සැලසුම් සඳහා මෙන්ම වත්මන් කාර්මික, ලෝහ, විදුලි හා අවි ආයුධ නිෂ්පාදන සඳහා ද සෝවියට් සමූහාණ්ඩුවට විශාල දායකත්වයක් සපයනු ලැබේ. මේ වන විට හිස ඔසවා ඇති රුසියානු – යුකේ‍්‍රන ගැටුම් කෙරෙහි මෙම තත්ත්වය සෘජුවම බලපාන අතර ඊට අමතරව යුකේ‍්‍රන භූමියේ පවතින දේශපාලනික හා සංග‍්‍රාමික උපක‍්‍රමික ස්වභාවය ද බටහිර ජාතීන් හා රුසියානුවන් අතර යුකේ‍්‍රනය අරබයා නිරන්තරව ඉස්මතු වන යුද ගැටුම් සඳහා ප‍්‍රධාන වශයෙන්ම හේතු වේ. එබැවින් යුකේ‍්‍රනයේ අද පවතින පසුබිම වර්තමානයට පමණක් සීමා වූවක් නොව අතීතයේ පටන් යුකේ‍්‍රන ඉතිහාසය පුරාම නැවත නැවත සිදු වන ක‍්‍රියාදාමයක් බවත්, වර්තමාන තත්ත්වය එහි තවත් එක් ජවනිකාවත් පමණක් බවත් කිව හැකි වේ.

අන්තර්ජාල මූලාශ‍්‍ර ඇසුරිනි
කේ. කාරියවසම්
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment