රුසියාවේ මෙහෙයුම්වලින් ලෝක බැංකුව ඉවත් වෙයි

302

යුක්රේනය ආක‍්‍රමණය කිරීම ඇරඹීම හේතුවෙන් රුසියාවට හා එරටට ආධාර කරන බෙලරුස් රාජ්‍යයට ලබා දෙන ආධාර නතර කිරීමට ලෝක බැංකුව විසින් පියවර ගෙන තිබේ. මේ අනුව ලෝක බැංකුව විසින් රුසියාවේ ක‍්‍රියාත්මක කළ සියලූ වැඩසටහන් නතර කර ඇති අතර ‘ස්පොටිෆයි’, එච් ඇන්ඞ් එම් හා ‘සිටි ගෘප්’ යන ආයතන ද රුසියාවේ ක‍්‍රියාත්මක කළ මෙහෙයුම් නතර කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර රුසියානු අධ්‍යාපන අමාත්‍යංශය විසින් රට පුරා විසිරී සිටින පාසල් දරුවන්ට යුක්රේනය මුදා ගැනීම සඳහා රුසියාව විසින් දියත් කර ඇති යුද මෙහෙයුම අත්‍යවශ්‍ය වන්නේ මන්ද යනුවෙන් නම් කළ විශේෂ දේශනයක් පැවැත්වීමට ඊයේ (03දා) දිනයේ පියවර ගෙන තිබිණි. යුක්රේනය ආක‍්‍රමණය කිරීමට එරෙහිව රුසියාවට හා බෙලරුස් රාජ්‍යයට චීනයේ බීජිං නගරයේ පැවැත්වෙන 2022 ශීත ඍතු පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගී වීම තහනම් කිරීමට ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුව විසින් තීරණය කර තිබේ.

මේ අතර ප‍්‍රකට ටයිම් සඟරාව විසින් සිය නවතම කලාපයේ මුල් කවරය යුක්රේනයට හා එහි ජනාධිපති වොලෝඩිමයිර් සෙලෙන්ස්කි උපහාර පිදීම සඳහා වෙන් කර තිබේ. යුක්රේන ජනාධිපතිවරයා විසින් ඉකුත් අඟහරුවාදා යුරෝපා පාර්ලිමේන්තුව අමතා කළ කථාවෙහි සඳහන් කළ වැකියක් උපුටා දක්වමින් යුක්රේන ජාතික ධජයේ වර්ණයන්ගෙන් සිය මුල් කවරය සැරසීමට ටයිම් සඟරාව පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment