රුසියාව පහරදීම අරඹයි: යුකේ‍්‍රන් අර්බුදය ලෝකයම රත්කරයි  

63

සීත සෘතුව හේතුවෙන් යුරේසියානු තැනිතලාව සුදෝසුදු හිමෙන් වැසී යද්දී ඒ මත ඊයේ (24 දා) අලූයම සිට දකින්නට ලැබෙන දසුන් හිම මෙන් සුසිනිඳු නැත. රුසියානු – යුකේ‍්‍රන දේශසීමාව වෙත හැල්මේ ඇදෙන අඳුරු පැහැති නවීන යුද රථවල දසුන් දෙවන ලෝක යුද්ධයේ කළු සුදු රූපරාමු සිහිගන්වයි. යුරේසියානු කලාපය මතු නොව සීතල යුරෝපයම මහා යුද්ධයක පෙර නිමිතිවලින් ගිනියම් වෙමින් රුසියාව යුකේ‍්‍රනයේ ඩොන්බාස් ප‍්‍රදේශයට කඩාවැදී යුකේ‍්‍රනයට පහර දීම අරඹා ඇත. මේ වන විට යුකේ‍්‍රනයේ මර්මස්ථාන රැුසක් රුසියානු ප‍්‍රහාරවලට ගොදුරුවී මේ මොහොත වන විටත් ගිනිගෙන දැවෙමින් පවතී. ඊට එරෙහිව බටහිර කඳවුර අවි අමෝරා ගනු ඇත. රුසියාව යුකේ‍්‍රනයට මේ තරම් අත පොවන්නේ හේතු දෙකක් නිසාය. පළමුවැන්න එහි ඇති උපාය මාර්ගික වැදගත්කමයි. දෙවැන්න යුකේ‍්‍රනය සමඟ ඇති දේශ සීමා අර්බුදයයි. කළු මුහුදේ පිහිටා ඇති යුකේ‍්‍රනයට අයත් ක‍්‍රිමියානු අර්ධද්වීපය වර්ෂ 2014 දී රුසියාවට ඈඳා ගන්නා ලදී. ඒ සමගම නැගෙනහිර යුකේ‍්‍රනයේ රුසියාවට මායිම්ව ඇති ඩොන්බාස් ප‍්‍රාන්තයේ බලය ද යුකේ‍්‍රනයෙන් ගිලිහී ගියේය. ඩොන්බාස් ප‍්‍රාන්තය ඩොන්ට්ස්ක් සහ ලූහාන්ස්ක් යනුවෙන් උප කලාප දෙකකට බෙදී ඇත. මෙම කලාප දෙක රුසියානු ආධාර ලබන කැරලිකරුවන් විසින් වෙන වෙනම පාලනය කෙරේ. ඒ අනුව ක‍්‍රිමියාව මෙන්ම ඩොන්බාස් ප‍්‍රාන්තය ද වසර අටක් තිස්සේ ස්වයංපාලිත ප‍්‍රදේශ ලෙස කටයුතු කරන අතර ඒවා අනියම් ආකාරයෙන් පාලනය වන්නේ ක්‍රෙම්ලිනයෙන් බව රහසක් නොවේ. තවද මෙකී කලාපවල ජීවත්වන බහුතරය රුසියානු සම්භවයක් සහිත අය නිසා ඔවුන්ගේ වැඩි නැඹුරුව ඇත්තේ රුසියාව දෙසට බව කිව යුතුය.

රුසියාව පහරදීම අරඹයි: යුකේ‍්‍රන් අර්බුදය ලෝකයම රත්කරයි  

සෝවියට් පේ‍්‍රමයේ අවසානය

යුකේ‍්‍රනය දශක ගණනාවක් තිස්සේ සෝවියට් සංගමයට අයත් සමූහාණ්ඩුවක් ලෙස පැවතුණි. වර්ෂ 1991 දී සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමග මොස්කව් හි කොමියුනිස්ට් පාලනය යටතේ පැවැති සමූහාණ්ඩු පහළොවම සී සී කඩ විසිරී ගියේය. ඒ අනුව යුකේ‍්‍රනය ද ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. සෝවියට් සංගමයෙන් වෙන්ව ආ යුකේ‍්‍රන කුමරියට යුරෝපා සංගමයේ ඇල්ම බැල්ම වැටුණි. නමුත් සියවස් ගණනාවක් තිස්සේ රුසියාව සමග තිබුණු සමාජ, සංස්කෘතික හා දේශපාලන බැඳීම්වලින් ලෙහෙසියෙන් ගැළවීමට යුකේ‍්‍රනයට හැකි වූයේ නැත. රුසියානු හා යුකේ‍්‍රන ජනතාව වෙන්කර හඳුනාගැනීමට බැරිතරම් සම්මිශ‍්‍රණය වී ඇත. ඒ නිසා කීව් නගරයේ යුකේ‍්‍රන ආණ්ඩුව කෙතරම් බටහිරට සමීප වීමට උත්සාහ කළ ද නැගෙනහිර කලාපයේ ජීවත් වන බහුතරය තවමත් රුසියාවට ලැදිය.

සෝවියට් යුගයේදී වඩාත්ම කාර්මීකරණයට ලක්වූ සමූහාණ්ඩුව යුකේ‍්‍රනයයි. රතු හමුදාවට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනය කළේ යුකේ‍්‍රන කම්හල් තුළය. එසේම සෝවියට් පාලනයේ වගකිවයුතු නායකයන් බොහොමයක් යුකේ‍්‍රනයෙන් බිහිවූ බව පෙනෙන්නට තිබේ. සෝවියට් දේශයේ ස්වර්ණමය යුගයේ එහි නායකයා ලෙස කටයුතු කළ නිකිතා කෲෂෙෆ් රුසියානුවෙකි. නමුත් ඔහු දේශපාලනය ආරම්භ කළේ යුකේ‍්‍රනයෙන් වන අතර එහි කොමියුනිස්ට් පක්ෂ නායකයා ලෙසත් කටයුතු කළේය. කෲෂෙෆ් යුකේ‍්‍රනයට කෙතරම් ඇලූම් කළා දැයි කිවහොත් එතෙක් රුසියාවට අයත්ව තිබූ ක‍්‍රිමියානු අර්ධද්වීපය යුකේ‍්‍රනයට පවරා දුන්නේය. කෲෂෙෆ්ගෙන් පසු සෝවියට් නායකයා බවට පත් වූ ලියනොඞ් බ්‍රෙෂ්නෙව් ද යුකේ‍්‍රන ජාතිකයෙකි. ඔහු වසර දහඅටක් සෝවියට් දේශය පාලනය කළේය. අවසාන සෝවියට් පාලකයා වූ මිහායෙල් ගොර්බචොව් ද මව් පාර්ශ්වයෙන් යුකේ‍්‍රන ජාතිකයෙකි. මේ අනුව සෝවියට් සංගමය තුළ ප‍්‍රබල භූමිකාවක් යුකේ‍්‍රනයට හිමිව තිබුණා යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

රුසියාව පහරදීම අරඹයි: යුකේ‍්‍රන් අර්බුදය ලෝකයම රත්කරයි  

මුල් යුගයේදී යුකේ‍්‍රන සමාජය තුළ රුසියානු හිතවාදීන් හා බටහිරවාදීන් ලෙස කැපී පෙනෙන වෙනසක් නොතිබුණි. යකඩ තිරයෙන් වැසී තිබූ නැගෙනහිර යුරෝපය පුරා ධනවාදයේ හා නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැවුම් ආශ්වාදය පැතිරෙමින් තිබුණි. මොස්කව් මූලිකත්වයෙන් ගොඩනැ`ගුණු පැරණි වෝර්සෝ යුද ආර්ථික සන්ධානයට තවදුරටත් පැවැත්මක් නැත. වෝර්සෝ සංවිධානයට අයත් පැරණි සමාජවාදී රටවල් එකින් එක භ්ඔධ සංවිධානය වෙත ඇදෙමින් පැවතුණි. සැමටම වුවමනා වූයේ වෙනසකි.

රුසියාවේ බලය අල්ලා ගෙන තිබූ ජනාධිපති බොරිස් යෙල්ට්සින් උග‍්‍ර කොමියුනිස්ට් විරෝධියෙකි. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර කඳවුර සමග ඔහුගේ තිබුණේ දැඩි මිත‍්‍රත්වයකි. නමුත් 2000 වසරේදී කිසිවකු නොසිතූ මොහොතක රුසියාව ව්ලැදිමීර් පූටින්ට භාරදුන් යෙල්ට්සින් ගෙදර ගියේය. සෝවියට් යුගයේදී කේජීබී ඔත්තු සේවා නිලධාරියකු ලෙස කටයුතු කළ පුටින් රුසියානු ජාතිකවාදය ඔස්සේ කෙමෙන් කෙමන් බලසම්පන්න නායකයකු බවට පත්විය. බටහිර නායකයන් සිතුවේ ඔහු යෙල්ට්සින්ගේ අනුප‍්‍රාප්තිකයා වනු ඇති බවයි. නමුත් පුටින් ඇත්තටම අනුප‍්‍රාප්තිකයා වූයේ පැරණි සෝවියට් නායකත්වයේය. බටහිරට අභියෝග කළ හැකි ලෙස රුසියාව නැවතත් යුදමය වශයෙන් බලගැන්වීමට ඔහුට හැකිවිය.

රුසියාව පහරදීම අරඹයි: යුකේ‍්‍රන් අර්බුදය ලෝකයම රත්කරයි  

පශ්චාත් සෝවියට් යුකේ‍්‍රනය

යුකේ‍්‍රනය සෝවියට් සංගමයෙන් ඉවත් වූ වහාම එක්සත් ජනපදය විසින් එය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා ලදී. රුසියාවේ සිදුවූ දේශපාලන පෙරළිය නිසා නොසිතූ මොහොතක ලැබුණු ස්වාධීනත්වයෙන් යුකේ‍්‍රන ජනතාව අන්ද මන්ද වී සිටි බවක් පෙනෙන්නට තිබුණි. මෙතෙක් කලක් යුකේ‍්‍රනය සම්බන්ධයෙන් වූ සියලූ උපාය මාර්ග තීරණය වූයේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයෙනි. යුකේ‍්‍රන දේශපාලනඥයන් ක‍්‍රියාකොට ඇත්තේ තමන්ගේ තරම නොදන්නා අලියකු මෙන් බව කිව හැකිය.

සෝවියට් දේශයට අයත් න්‍යෂ්ටික අවිවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් යුකේ‍්‍රනය තුළ ඉතිරිව තිබුණි. ඒ නිසාම කල් නොයවා ගනුදෙනු බේරාගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය විය. ඒ වන විට ඇමෙරිකානු ජනාධිපති ධුරය දැරුවේ බිල් ක්ලින්ටන්ය. රුසියාව යෙල්ට්සින්ගේ පාලනය යටතේ පැවතුණි. ඒ දිනවල ඇමෙරිකානු හා රුසියානු නායකයන් නිතර නෑදෑ ගම් ගිය බව පෙනෙන්නට තිබේ. යුකේ‍්‍රනයේ තිබූ සෝවියට් න්‍යෂ්ටික අවි විනාශ කිරීම සඳහා රුසියාවත් යුකේ‍්‍රනයත් අපහසුවකින් තොරව එකඟ කරවා ගැනීමට ක්ලින්ටන් මහතාට හැකි විය. කොහොමත් න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් අමිහිරි අත්දැකීමක් ඒ වන විටත් යුකේ‍්‍රනයට ලැබී තිබුණි. වර්ෂ 1986 දී සිදු වූ චර්නොබිල් න්‍යෂ්ටික අනතුර නිසා උතුරු දිග යුකේ‍්‍රනයේ විශාල විනාශයක් සිදුවිය. ඒ මොහොතේ වාද බේද ඉවතලා සෝවියට් දේශයේ පිළිසරණට පැමිණි ඇමෙරිකාව පිළිබඳව යුකේ‍්‍රනයට ඒ තරම් සැකයක් නොතිබුණි. තවද 1997 දී යුකේ‍්‍රනය සමග න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමක් අස්සන් කිරීමටත් ඇමෙරිකාවට හැකිවිය. කලාපීය සුරක්ෂිතභාවය යන වචනයට මුවා වී ක්ලින්ටන්ලා එසේ අඩව් අල්ලන යුගයේ අනාගතයේ බලයට පත්වන පුටින් කෙනකු ගැන සෙසු ලෝකයා තබා රුසියානුවන්වත් දැන සිටියේ නැත.

රුසියාව පහරදීම අරඹයි: යුකේ‍්‍රන් අර්බුදය ලෝකයම රත්කරයි  

ඒ සමගම යුකේ‍්‍රනය කෙමෙන් කෙමෙන් බටහිරටම ඇදී ගියේය. නේටෝ – යුකේ‍්‍රන සම්බන්ධතා වර්ධනය විය. ඇමෙරිකාවට සහය පළ කරමින් ඉරාකයට හමුදා ඒකක යැවීමට පවා යුකේ‍්‍රනය කටයුතු කළේය.

වර්තමාන අර්බුදය තේරුම් ගැනීමට නම් 2010 සිට යුකේ‍්‍රනයේ දේශපාලනය ගැන අදහසක් තිබීම ප‍්‍රමාණවත්ය. මේ වන විට එහි දේශපාලන පක්ෂ ප‍්‍රධාන වශයෙන් කඳවුරු තුනකට බෙදී ඇති බව පෙනෙන්නට තිබේ. මෙම කඳවුරු තුනේ දේශපාලන මතවාද එකිනෙකට වෙනස්ය. 2010 සිට මේ දක්වා යුකේ‍්‍රනයේ ජනාධිපතිවරුන් තිදෙනකු පත් වී ඇති අතර ඔවුන් තිදෙනාගේ දේශපාලන මතවාදයන් ද එකී කඳවුරු තුනට සමපාත වන බව කිව හැකිය.

රුසියාව පහරදීම අරඹයි: යුකේ‍්‍රන් අර්බුදය ලෝකයම රත්කරයි  

එක් කඳවුරක් තනිකරම රුසියානුවාදී, පැරණි සෝවියට් සංස්කෘතිය අගයන පිරිසගෙන් සමන්විතය. ඔවුන් යුරෝපා සංගමයට විරුද්ධය. එසේම ලිබරල් ලක්ෂණ අඩුය. දෙවැනි කඳවුර බටහිරවාදී හා රුසියානු විරෝධී ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගෙන් සමන්විතය. ඔවුන් යුරෝපා සංගමයට හා නේටෝවට පක්ෂපාතීත්වය දක්වයි. ප‍්‍රධාන වශයෙන් පවතින මේ කඳවුරු දෙකට අමතරව මධ්‍යස්ථ මතධාරී කලාපීය හා දේශීය මතවාදයෙන් පෝෂණය වූ නව කඳවුරක් ද මේ වන විට ඉස්මතුව ඇත.

සෝවියට් දේශයෙන් වෙන් වූ පසුව යුකේ‍්‍රනයට රුසියාව සමඟ විසඳා ගැනීමට ප‍්‍රශ්න රාශියක් ඉතිරි විය. එයින් වඩා වැදගත් වූයේ කළු මුහුදේ සෝවියට් නාවික බලය බෙදාගන්නා ආකාරයයි. මුල් යුගයේදීම යුකේ‍්‍රනය විසින් කළු මුහුදේ පිහිටි වරායවල් රුසියාවට භාවිතා කිරීමට ඉඩ දී ගිවිසුම්ගත වී තිබුණි. සෙමස්ටපෝල් නාවික කඳවුරත් රුසියාවට හිමි වූයේ එකී ගිවිසුම් අනුවය. නමුත් යුකේ‍්‍රනයටත් මේ කඳවුර වැදගත් නිසා ඔවුන් බලාසිටියේ මෙම බදු කාලය හමාර වෙනතුරුය. එවැනි තත්ත්වයක් තුළ සෙමස්ටපෝල් කඳවුර තවත් අවුරුදු 25කට රුසියාවට බදු දීම පිළිබඳව ජනතාව සිටියේ කෝපයෙනි. ලාභ ගෑස්වලට කෑදර වී ක‍්‍රිමියානු අර්ධද්වීපයේ රුසියාවට ඕනෑම නැටුමක් නටා ගැනීමට ඉඩදීම පිළිබඳව යුකේ‍්‍රනියානුවන් පරළ විය. ජනතාව ජනාධිපතිවරයාගෙන් ඈත් විය. රුසියානු හිතවාදී රජයේ ඉවත්වීමත් සමග පුටින් මහතා ක‍්‍රියාත්මක විය. ඔහු පහසුවෙන්ම ක‍්‍රිමියාව ආක‍්‍රමණය කර රුසියානු හිතවාදී පාලනයක් එහි ස්ථාපිත කළේය. එසේම නැගෙනහිර යුකේ‍්‍රනයේ සිටින රුසියානු ජාතිකයන් වෙනුවෙන් ද තමා පෙනී සිටින බව පුටින් ප‍්‍රසිද්ධියේ පවසා සිටියේය. ඊයේ 24 ඇරඹි පුටින්ගේ යුකේ‍්‍රන් ප‍්‍රහාරය ඒ සඳහාය.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment