රුසියා – යුකේ‍්‍රන ගැටුමට පාර කැපූ නේටෝ සංවිධානය

1881

නේටෝ සංවිධානයේ ලාංඡනය

NATO හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (North Atlantic Treaty Organization) බිහි වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු 1949 අපේ‍්‍රල් මස 04 වන දින වේ. ඇමරිකාවේ වොෂිංටන් අගනුවර උතුරු අත්ලාන්තික ගිවිසුම ඇති කර ගැනීමත් සමඟ මෙම සංවිධානයේ කාර්යභාරය ආරම්භ වී ඇත. සාමාජික රටවල්වල ආරක්ෂාව වෙනුවෙන් පිහිටු වූ සංවිධානයක් වූ මෙහි ආරම්භක සාමාජිකයන් ගණන 12ක් විය. වර්තමානය වන විට මහලේකම් වූ ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් ගේ ප‍්‍රධානත්වයෙන් රටවල් 29ක් මෙහි සාමාජිකත්වය දරනු ලැබේ.

රුසියා - යුකේ‍්‍රන ගැටුමට පාර කැපූ නේටෝ  සංවිධානය

මෙම සංවිධානය පිහිටුවීමට මූලික හේතුව වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාව ඇතුළු වාමවාදී කොමියුනිස්ට් කඳවුර බටහිර යුරෝපයට එල්ල කරන ලද තර්ජනයන් වේ. රුසියාව ආසන්නයේ පවතින කුඩා යුරෝපා රාජ්‍යයන් කොමියුනිස්ට් බලපෑමට නතු වේ යැයි යන බිය මෙම සංවිධානය බිහි වීමට බලපා ඇත. ඒ අනුව 1949 දී,

  • ඇමරිකා එක්සත් ජනපදය * කැනඩාව
  • බි‍්‍රතාන්‍යය * ප‍්‍රංශය * ඉතාලිය * නෙදර්ලන්තය
  • ලක්සම්බර්ග් * නෝර්වේ * පෘතුගාලය
  • ඩෙන්මාර්කය * බෙල්ජියම * අයිස්ලන්තය

යන රටවල් 12 එක් වී ”මේ කවර හෝ රටකට යුද ප‍්‍රහාරයක් එල්ල වුවහොත් එම ප‍්‍රහාරය සංවිධානයට එල්ල කළ ප‍්‍රහාරයක් සේ සලකා කටයුතු කරන බව” ගිවිස ගන්මින් නේටෝ සංවිධානය පිහිටුවා ගෙන ඇත.

මෙම රටවල් අතුරෙන් ස්ථිර හමුදාවක් නොමැති අයිස්ලන්තය හා එවකට පැසිස්ට් පාලනයකට නතු වී පැවති පෘතුගාලය එක් වීම ද සුවිශේෂී අවස්ථාවක් වේ. එමෙන්ම 1952 එකිනෙකට විරුද්ධ රටවල් වූ තුර්කිය හා ග‍්‍රීසිය ද ඇතුළත් වී ඇති අතර 1955 බටහිර ජර්මනිය එක් වීම ද ආන්දෝලනයට තුඩු දුන් හේතුවක් විය. මන්ද යත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය නැවත සන්නද්ධ වීම ගැන බටහිර රටවල් සැක පළ කළහ. නමුත් සෝවියට් තර්ජන එයට වඩා බරපතළ වූ නිසාවෙන්ම ජර්මනියට යුද හමුදාවක් සකස් කර ගැනීමට ඉඩ ලබා දීම හා එහි දිගුවක් ලෙස ජර්මනිය නේටෝ සංවිධානයට එක් කර ගැනීම සිදු විය. කෙසේ වුවත් අද වන විට නේටෝ සංවිධානයට අයත් රටවල් 29 අතර ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, නොර්වේ, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවෙනියාව, ස්පාඤ්ඤය, තුර්කිය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අයත් වේ. මේ සෑම රටක්ම සංවිධානයේ නිල භාෂාව ලෙස ඉංග‍්‍රීසි බස භාවිත කරනු ලබයි.

නේටෝ සංවිධානයේ සාමාජික රටවල්වල ව්‍යාප්තිය
නේටෝ සංවිධානයේ ක‍්‍රියාකාරීත්වය

නේටෝව සෝවියට් කඳවුරට එරෙහිව ගොඩනැංවූ සංවිධානයක් වුවත් සෝවියට් කඳවුර ක‍්‍රියාකාරීව සිටි කාලයේ දී එයට දැඩි බලපෑමක් එල්ල කළේ නැත. එහෙත් කොරියානු යුද්ධය හා වියට්නාම් යුද්ධ කාලයේ දී තම හමුදාමය සහාය ඒ වෙත ලබා දී ඇත. පොදු සතුරාට අමතරව වෙනත් පක්ෂ කෙරෙහි ද නේටෝවේ අවධානය යොමු වී ඇති අතර ඒ අනුව බොස්නියානු යුද සමයේ සයිබීරියාවට එරෙහිව නැඟී සිටීමට කටයුතු කර ඇත. එමෙන්ම ගැටුම් අවසන් වීමෙන් පසු සාම සාධක කාර්යයේ ද නේටෝව නිරතව සිට ඇත.

ඊට අමතරව යුගෝස්ලෝවියාවේ යුද මෙහෙයුම්, ඇෆ්ගනිස්තානයේ සාම සාධක කටයුතු, ඒඩ්න් බොක්කේ සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් මර්දනය ආදී කාර්යයන් රැසක් සඳහා ද නේටෝව තම දායකත්වය ලබා දී ඇත.

විශේෂයෙන්ම කලක් නිහඬව සිටි නේටෝව මෑත කාලීනව කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේ 2011 දී ලිබියානු නායක ගඩාෆිට එරෙහි කැරලිකරුවන්ට සහාය ලබා දෙමින් ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමටයි. එබැවින් ගඩාෆි මරා දැමීමේ හස්තයෙහි කොණක් නේටෝව වෙත එල්ල වන්නේ ද මේ හේතුව නිසාවෙනි.

නේටෝ සංවිධානයේ වෙනත් කාර්යයන්

නේටෝ හමුදා එක් ධජයක් යටතේ ක‍්‍රියාත්මක වන හමුදාවක් නොවූවත් මේ වන විටත් හමුදා වර්ධනය කර ගැනීම, හමුදා අභ්‍යාස දියුණු කර ගැනීම නේටෝව විසින් සිදු කරනු ලබයි. ඒ තම සංවිධානයට අයත් රටකට අවශ්‍ය වූ මොහොතක හමුදාවන් යැවීමේ පරමාර්ථය මුල් කර ගෙන වේ. කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය නිසා කිසිදු රටකට තවත් රටක් යටත් කර

ගැනීමට නොහැකි බව සඳහන් කළත් පැහැදිලි හේතු පවතින්නේ නම් රටක් තුළ යුද කටයුතු සිදු කිරීමට නේටෝ සංවිධානයට හැකියාව ඇත.

නේටෝව හා ඇමරිකාව අතර ගැටුම් ඇතිවීම

වසර කිහිපයකට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා නේටෝවට අයත් අනෙකුත් රටවල් සමඟ

ගැටුමක් ඇති වූයේ සංවිධානයට අයත් එක් රටකට අභියෝගයක් එල්ල වූ විට එය සියල්ලන්ටම අභියෝගයක් ලෙස සලකා කටයුතු කිරීම නිශ්ඵල බව ට‍්‍රම්ප් පැවසීමත් සමඟයි. එමෙන්ම නේටෝවේ ආරක්ෂක වියදම සඳහා අනෙකුත් සාමාජික රටවල් ප‍්‍රමාණවත් මූල්‍ය දායකත්වයක් ලබා නොදීම ද ට‍්‍රම්ප් විවේචනය කළේය. මේ හේතුවෙන් ට‍්‍රම්ප් හා නේටෝ බලධාරීන් අතර සම්මේලන කිහිපයකදීම උද්වේගකාරී මත ගැටුම් කිහිපයක් නිර්මාණය වී ඇත.

කෙසේ නමුත් වත්මන් ඇමරිකානු පාලක ජෝ බයිඩ්න් නේටෝ සංවිධානය තුළ තම ආධිපත්‍ය පවත්වා ගැනීමට කටයුතු කරන ආකාරය දැකිය හැකිය. ඇෆ්ගනිස්තානයෙන් තම හමුදා ඉවත් කර

ගැනීම ආදී කටයුතු සඳහා බයිඩ්න් හට නේටෝ සංවිධානයේ සහාය පළ කිරීමෙන් එය පෙනී යයි.

යුකේ‍්‍රනය හා රුසියාව සම්බන්ධයෙන් නේටෝවේ මැදිහත්වීම

2014 වසරේ සිට රුසියාව යුකේ‍්‍රන කලාපය ආක‍්‍රමණය කිරීමට කටයුතු කළ නිසාවෙන් නේටෝවේ අවධානය ඒ කාලයේ සිටම යුකේ‍්‍රනයට පක්ෂපාතී ලෙස ක‍්‍රියාත්මක විය. විශේෂයෙන්ම රුසියානු පාලක ව්ලැඩ්මීර් පුටින්ගේ සයිබර් යුද කටයුතු බිඳ හෙළීම ආදිය සඳහා මෙලෙස නේටෝව මුල් කාලයේදී යුකේ‍්‍රනය ඇතුළු අනෙකුත් රටවල්වලට සහාය ලබා දී ඇත. කෙසේ නමුත් දැන් උද්ගත වී ඇති තත්ත්වය තුළ නේටෝ තර්ජනය නැගෙනහිර යුරෝපයට ද ව්‍යාප්තව ඇති නිසා තමාට යුකේ‍්‍රනය ආක‍්‍රමණය කිරීමේ පියවරට යෑමට හේතු වූ බව පුටින් සඳහන් කර ඇත. එමෙන්ම නේටෝව තවදුරටත් යුකේ‍්‍රනයට මැදිහත් වුවහොත් තත්ත්වය තවත් දරුණු විය හැකි බවට රුසියාව අනතුරු හඟවා ඇත. විශේෂයෙන්ම සෝවියට් දේශය බිඳී යෑමත් සමඟ ස්වාධීන වූ රටක් වශයෙන් යුකේ‍්‍රනය යුරෝපා රටවල් සමඟ

සහයෝගයෙන් ක‍්‍රියා කරමින් නේටෝ සාමාජිකත්වය ගැනීමට ද අපේක්ෂාවෙන් සිටියේය. එහෙත් රුසියාවේ ස්ථාවරය වූයේ එලෙස යුකේ‍්‍රනයට නේටෝවේ සාමාජිකත්වය ලබා නොදිය යුතු බවයි. කෙසේ නමුත් රුසියාවේ මෙම ස්ථාවරත්වය එක්සත් ජනපදය හා නේටෝ මහ ලේකම්වරයා ප‍්‍රතික්ෂේප කළ අතර එය ද රුසියාව මෙලෙස යුදවාදී ප‍්‍රවේෂයකින් යුකේ‍්‍රනය දෙස බැලීමට හේතු විය. කෙසේ නමුත් පසුගිය සති කිහිපය තුළ නේටෝ සංවිධානය රුසියාවට එරෙහිව සිය හමුදා රුසියානු දේශ සීමා ආසන්නයේ ස්ථානගත කොට ඇති අතර මේ පිළිබඳ රුසියානු පාලකයාගේ අදහස වූයේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට එරෙහිව යුද වැදීමට තමා සූදානම් බවයි.

කෙසේ නමුත් අද වන විට දැකිය හැකි තත්ත්වය නම් රුසියානු යුද බලය හමුවේ නේටෝව ද නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. යුකේ‍්‍රනය බිල්ලට තබා නේටෝවට අයත් රටවල් රුසියාවට සම්බාධක පැනවීමට ගත් උත්සාහයක් ලෙස යුකේ‍්‍රනය තුළ පවතින නේටොවේ ක‍්‍රියාකාරීත්වය ඔස්සේ හඳුනාගත හැකි වේ. විශේෂයෙන්ම දැන් රුසියාවේ ආක‍්‍රමණයන් පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වූවත් රුසියානු දෘෂ්ඨි කෝණයෙන් බැලීමේ දී නේටෝවේ ආක‍්‍රමණකාරී ව්‍යාප්ත වීම පිළිබඳ බොහෝ දෙනකුගේ අවධානය යොමු වී නැත. යුකේ‍්‍රනය නේටෝවේ සාමාජිකත්වය ලබා ගැනීමට ආසන්නව සිටි කාලයක රුසියාව විසින් යුකේ‍්‍රනය ආක‍්‍රමණය කරද්දී ඇමරිකාවේ ජෝ බයිඩ්න් ඇතුළු නේටෝවට අයත් යුරෝපා රටවල් රැසක් තවදුරටත් යුකේ‍්‍රනය වෙනුවෙන් තම හමුදා නොයවන බවට ස්ථාවර ප‍්‍රකාශයක් නිකුත් කිරීම නම් යුකේ‍්‍රනය සම්බන්ධයෙන් නේටෝවේ සාධාරණත්වය ඉටු කිරීමට වඩා කල දුටු කල වළ ඉහ ගැනීමක් ලෙස පෙන්වා දිය හැකි වේ.

අන්තර්ජාල මූලාශ‍්‍ර ඇසුරිනි.

කේ. ටී. කල්ශාරා කාරියවසම්
ශාස්ත‍්‍රවේදී (ගෞරව) ඉතිහාසය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment