රුහුණේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයට අලුත් මුහුණුවරක් !

146

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අද්විතීය මෙහෙවරක් සිදු කරනු ලබන රුහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ පරිපාලන කටයුතු ඉතා නුදුරු දිනක දී ඓතිහාසික මාතර කොටුවේ පිහිටි නව පරිශ්‍රයක් වෙත රැගෙන යෑමට සියලු කටයුතු මේ වන විට සූදානම්ව පවතී. පුරාවිද්‍යාත්මක ලක්ෂණවලට කිසිදු හානියක් නොවන අයුරින් ප්‍රතිනිර්මාණය කරන ලද මෙම පෞරාණික ගොඩනැගිල්ල මාතර කොටුවේ ධර්මාරාම මාවතේ, අංක 15 දරන පරිශ්‍රයේ පිහිටා ඇත.

රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන ඒකකයේ ඉංග්‍රීසි භාෂා උපදේශකවරියක ලෙස සේවය කළ ඊ.ජේ.පී. විජේතුංග මහත්මියට මෙම ගොඩනැගිල්ලේ මුල් අයිතිය හිමිව තිබුණි. ඇයගේ ඇවෑමෙන් පසුව මෙහි අයිතිය රුහුණ විශ්වවිද්‍යාලයට හිමිවන පරිදි කටයුතු කර තිබූ බැවින් මෙහි පසුකාලීන අයිතිය රුහුණ විශ්වවිද්‍යාලය සතු විය. ඇයගේ අභාවයෙන් පසුව මෙම ගොඩනැගිල්ල විශ්වවිද්‍යාලය වෙත ලබා ගැනීමේ දී නීතිමය ගැටලු ද පැන නැගී ඇති අතර එම නීතිමය කටයුතු සියල්ල අවසානයේ දී වර්ෂ 2003 අගෝස්තු 15 වන දින සිට මෙහි අයිතිය නිල වශයෙන් රුහුණ විශ්වවිද්‍යාලය වෙත හිමි විය. එලෙස රුහුණ විශ්වවිද්‍යාලය වෙත ලැබුණු මෙම ගොඩනැගිල්ල සහිත භූමිය රුහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම පිණිස භාවිතයට ගැනීමට යෝජනා වූ අතර, ඊට බලපාන ලද ප්‍රධානතම හේතුව වූයේ පැවති පරිපාලන ගොඩනැගිල්ලෙහි පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීමයි.

මාතර ඓතිහාසික ඕලන්ද කොටුවේ පිහිටි ජැස්මින් විජේතුංග වලව්ව නමින් හැඳින්වෙන මෙම ඉදිකිරීම, වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව මෙය වසර සියයකට වඩා පැරණි බවත් විසිවන ශතවර්ෂයේ මුල් භාගයේ ඉදි කරන ලද බවටත් හඳුනාගත හැකි ය. එය මුහුදු වෙරළට මීටර 130 ක් පමණ නොදුරින් පිහිටා තිබීමෙන් නිරන්තර මුහුදු සුළංවල බලපෑමට ලක් වීම නිසාත්, නිසි නඩත්තුවක් නොවුණ නිසාත් දිරා පත්වෙමින් පැවතුන නමුත්, සුනාමි ව්‍යසනයෙන් ඊට එතරම් බලපෑමක් නොවූ බවත්, සුනාමි ව්‍යසනයෙන් පුරාවිද්‍යා ස්ථානවලට වූ හානි පිළිබඳ ඇගයීම් වාර්තාවක විජේරත්න බෝහිංගමුව (2004) විසින් සඳහන් කර ඇත. මෙම ඉදිකිරීම බි්‍රතාන්‍ය වාස්තු විද්‍යාත්මක ලක්ෂණවල අභාෂය පෙන්නුම් කරනු ලබයි. මෙම ගොඩනැගිල්ල ඉපැරණි සංස්කෘතික වටිනමකික් යුත් ගෘහ නිර්මාණ රැසකින් ද සමන්විතව තිබූ අතර කාලයත් සමග ඒවා අභාවයට යමින් පැවැතිණි. එය නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලැබුණ ප්‍රධානතම නිර්දේශය වූයේ මෙය පෞරාණික වටිනාකමක් සහිත බැවින් පුරාවිද්‍යාත්මක ලක්ෂණවලට කිසිදු හානියක් නොවන අයුරින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතු බවයි.

රුහුණේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයට අලුත් මුහුණුවරක් !

මෙම ක්‍රියාවලියේදී උපදේශන ආයතනය ලෙස ක්‍රියා කරනු ලැබුවේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්යාංශයයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අමතරව නාගරික සංවර්ධන අධිකාරිය, මාතර නගර සභාව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද මේ සඳහා අනුමැතිය ලබා දෙන ලදි.

මෙම සියලු අනුමැතීන් ලැබීමෙන් අනතුරුව මෙම පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණ හා නවීකරණ කටයුතු වර්තමාන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 2021 නොවැම්බර් 15 වැනි දින මුල් ගල තැබීමේ උත්සවයෙන් අනතුරුව ආරම්භ කෙරිණි. මෙම අලුත්වැඩියා කටයුතු සිදු කිරීමේ දී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සියලු ඉපැරැණි සංස්කෘතික අංගයන් ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමෙහිලා අති විශේෂ සැලකිල්ලක් දක්වන ලදි. එසේම මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිරන්තර අධීක්ෂණයට ද ලක්විය.

පියවරෙන් පියවර අලුත්වැඩියා කටයුතු සිදුවන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වී ඇත. උප කුලපතිතුමන්ගේ ප්‍රධාන නායකත්වයෙන් යුතු කණ්ඩායමක නිරන්තර අධීක්ෂණය ද මෙම ක්‍රියාවලිය පුරාවට තිබීම ද මෙය සාර්ථකව අවසන් කිරීමට ඍජුවම බලපාන ලදි. වර්තමානය වන විට මෙම පෞරාණික ගොඩනැගිල්ල නැවතත් ප්‍රදේශයටම ප්‍රෞඪත්වයේ නව මුහුණුවරක් එක්කරමින් නැගී සිටීමට සමත්ව තිබේ.

පශ්චාද් උපාධිලාභීන්ගේ වාචික පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙන්ම කුඩා කණ්ඩායම් සඳහා දේශන පැවැත්වීමේ ඉඩකඩ ද මෙම නව පරිශ්‍රය තුළ පවතී. පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය දැනට පවතින වැල්ලමඩම පරිශ්‍රයට සාපේක්ෂව ගත් කල නව පරිශ්‍රය මාතර බස් නැවතුම්පොළේ සිට ඉතා කෙටි දුරකින් එනම්, කිලෝ මීටරයකටත් අඩු දුරකින් පිහිටා ඇති බැවින් ඉතා පහසුවෙන් ළඟා වීමේ හැකියාව ද පවතී. එමෙන්ම නීති, කළමනාකරණ හා විද්‍යා ක්ෂේත්‍රවලට අදාළව නව පාඨමාලා හඳුන්වාදීම ද නව පීඨ පරිශ්‍රය තුළ සිදුවනු ඇත.

උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබාදෙන මෙම රුහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය ළඟදීම එහි නව පරිශ්‍රයේ සිට සුවහසක් විද්‍යාර්ථීන් දැයට බිහිකිරීම වෙනුවෙන් ඉදිරියටත් කැපවනු ඇත.

ඉඳුනිල් තාරුකා පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment