රු. බිලියන 229ක සහන පැකේජයක්

886

* රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක දීමනාවක්

* වතු ප‍්‍රජාවට පාන් පිටි සහනයක්

* ගෙවතු වගාවන්ට ආධාර

* විනිමය අර්බූදය විසඳගන්න ලෝක බැංකුව අයි. එම්. එෆ්. සහ ඒ. ඩී. බී. සමගත් සාකච්ඡා


සියලූම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධවල බදු ඉවත්කර නාමික බද්දක් පමණක් පවත්වාගෙන යෑමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

එසේම පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 229 ක සහන පැකේජයක් ලබාදීමට ද පියවර ගන්නා බව ද කීවේය.

ඊයේ (03 දා) රාතී‍්‍ර පැවැති කැබිනට් රැුස්වීමෙන් පසු මුදල් අමාත්‍යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මුදල් අමාත්‍යවරයා මේ බැව් සඳහන් කළේය.

ඒ අනුව ලබාදෙන සහන පැකේජයට අනුව රජයේ සියලූම සේවකයන්ට මෙම මස සිට රුපියල් පන්දහසක විශේෂ දීමනාවක් හිමිවේ.

මෙම දීමනාව විශ‍්‍රාම වැටුප්ලාභීන්ට සහ ආබාධිත සෙබළුන්ට ද හිමිවේ.

සමෘද්ධිලාභීන්ට ද මෙම මස සිට රුපියල් දහසක විශේෂ අතිරේක දීමනාවක් ලබාදේ.

ගොවීන්ගේ අස්වැන්නට සිදුවිය හැකි හානිය සලකා බලා වී කිලෝවක සහතික මිල රු. 50 සිට රු. 75 දක්වා රු. 25 කින් වැඩි කිරීමට ද ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.

වතු කම්කරු ජනතාවට මාසිකව පාන්පිටි කිලෝ 15ක් රුපියල් 80 බැගින් වූ මිලට ලබාදීමට ද පියවර ගනු ලබයි.

වෙළෙඳපොළේ දැනට පාන් පිටි කිලෝවක මිල රුපියල් 120 කි. ඒ අනුව වතුකරයේ ජනතාවට පාන් පිටි කිලෝවක් රුපියල් 40 ක් අඩුවෙන් ලබාදේ.

පර්චස් 20 ට අඩු ගෙවතුවල වගා කටයුතු සඳහා රුපියල් පන්දහසක මුදලක් ද පර්චස් 20 ට වැඩි සහ අක්කරයක් දක්වා ගෙවතුවල වගා කටයුතු සඳහා රුපියල් දසදහසක මුදලක් ද රජය විසින් ලබා දීමට ද ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ සේවකයන්ට ලබාදෙන දීමනාවට අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද අතිරේක දීමනාවක් මාසිකව ලබා දෙන ලෙස පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගෙන් තමා රජය වෙනුවෙන් ඉල්ලීමක් කරන බවද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව සමග සහ විදේශ රටවල් සමඟ සාකච්ඡුා කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළවූ බවද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම සඳහා අමාත්‍ය මණ්ඩලය තීරණයක් නොගත් බවද මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් ඇමැතිවරයා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (03 දා) සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ තීරණ ගත් බවද මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී තවදුරටත් ප‍්‍රකාශ කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment