රු. මි. 125 අල්ලස් නඩුව වැඩිදුර විභාගයට පියවර

219

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 125ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු රේගු නිලධාරීන් සිව් දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 13 වැනිදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා දින නියම කළේය. ලංකා ගමනාගමන මණ්ඩලයට අවශ්‍ය වාහන අමතර කොටස් සපයන ආයතනයක හිමිකරුගෙන් එකී අල්ලස් ලබාගත් අවස්ථාවේදීම එම විත්තිකරුවන් සිව්දෙනා හා මේ වන විට මියගොස් ඇති තවත් රේගු නිලධාරියකු කොටුකර ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් සමත්වී තිබිණි. එම නඩුවේ සාක්‍ෂි විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා ඉදිරියේදී මින් පෙර ආරම්භ කොට තිබූ අතර පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් අල්ලස් ලෙස ලබාගත් මුදල් සහිත බෑගය හතරවන විත්තිකාර සුදීර පරාක්‍රම පියදාස නමැත්තාගේ දෙපාමුල රඳවාගෙන සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටය විවෘත අධිකරණය හමුවේදී ප්‍රදර්ශනය කරන බව එම සාක්‍ෂිකරු මගින් තහවුරු කිරීමට නියමිතව තිබියදී විත්තියෙන් ඉදිරිපත්වූ දිවුරුම් ප්‍රකාශයක් නිසා නඩු කටයුත්තෙන් ඉවත් වීමට මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා තීරණය කර තිබිණි.

උපාලි ගුණරත්න පෙරේරා, වසන්ත විමලවීර, උපාලි සෙනහේ වික්‍රමසිංහ හා සුදීර පරාක්‍රම පියදාස යන විත්තිකරුවන් සිව්දෙනා ඊයේ (3 දා) අධිකරණය හමුවේ පෙනීසිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment