රු. ලක්‍ෂ 50ක් සාවද්‍ය පරිහරණය: නාලක ගොඩහේවාට එරෙහි නඩුව අගෝ. 3ට කල් යයි

320

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදුන් ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් සිලෝන් ප්‍රිමියර් ස්පොර්ට්ස් ලිමිටඩ් ආයතනයට අයත් ගිණුමකට බැරකොට සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන අගෝස්තු 3 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා ඊයේ (17) නියෝග කළේය.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ රොහි ඉබ්‍රාහිම් යන මහත්වරුන් ඊයේ (17) අධිකරණයට පැමිණ සිටියමුත් පළමු වන විත්තිකාර ආචාර්ය නාලක ගොඩහේවා මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එලෙස නඩු විභාගය කල්තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

සිය සේවාදායකයා පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයකට සහභාගී වන බැවින් අධිකරණය හමුවේ පෙනී නොසිටින බව නාලක ගොඩහේවා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කල්ප විදානගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

එම නඩුවේ 3 වන සහ 19 වන පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට ලබන අගෝස්තු 3 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමටද විනිසුරුවරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment