රු. 2000 එන්නත් කුප්පිය රු. 90000 ගණනේ අරන්!

435

මිලියන 22ක පාඩුව ගැන විමර්ශනයක් කරන්න – රවි කුමුදේශ් සෞඛ්‍ය ලේකම්ගෙන් ඉල්ලයි

රුපියල් 2000ක් පමණ වටිනා ‘එස්මෝලොල්’ එන්නත් කුප්පියක් සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රුපියල් අනූදහසක් තරම් වැඩි මිලක් ගෙවමින් සිදු කර ඇති මිලදී ගැනීමක් හේතුවෙන් රජයට රුපියල් මිලියන 22ක පාඩුවක් සිදුව ඇති බවට පවතින චෝදනාව පිළිබඳව වහා විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ.

අදාළ එන්නත් කුප්පියක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රුපියල් 2000ක මිලක් නියම කර තිබියදී එම මුදල මෙන් 40 ගුණයක පමණ වැඩි මුදලක් ගෙවමින් එන්නත් කුප්පියක් මිල දී ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව කුමුදේශ් මහතා කීවේය.

මේ අතර රුධිර කැටි ගැසීම පිළිබඳ පරීක්ෂණයක් සඳහා ප්‍රතික්‍රීයක මිලදී ගැනීමට ඖෂධ සංස්ථාව විසින් පසුගිය අගෝස්තු මාසයේ කැඳවූ ටෙන්ඩරය වසා දමා, එම ප්‍රතික්‍රීයක වර්ගයේම වැඩි තොගයක් මිල දී ගැනීම සඳහා නැවත එම සංස්ථාව විසින්ම, නොවැම්බර් තුන් වැනිදා ටෙන්ඩරයක් කැඳවා ඇති බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.

‘ප්‍රතික්‍රීයක නොමැතිවීම හේතුවෙන් රෝහල්වල එම පරීක්ෂාව කළ නොහැකි තත්ත්වයක් තිබියදී, වලංගු කිරීමේ පරීක්ෂණ සිදු නොකර කල් හරිමින් සිට ටෙන්ඩරය අහෝසි කර ඇත. විශේෂඥයන් බොරු කඹ ඇදීමක් පෙන්වා, තමන්ට අවශ්‍ය සමාගමට අවස්ථාව ලැබෙන තුරු මෙලෙස ටෙන්ඩර් අවලංගු කිරීම සහ නැවත පළ කිරීම සැලසුම් සහගත හොරකමක එක් අදියරයක් විය හැකි බැවින් මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලමි යැයි ද එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment