රූපවාහිනියට  බලෙන් පැන්නයි ධානිස් අලි රිමාන්ඩ් – හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගුයි

179

පසුගිය 13 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවී කාර්ය මණ්ඩලය බිය ගැන්වීම ඇතුළු චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කළ අරගලයේ ක්‍රියාකාරියකු වන ධානිස් අලි නමැත්තා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (01 දා) නියෝග කළේය.

එම සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කිරීමට ද නියෝග කළේය.

සැකකරු කොටුව මහසේත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු කර ඇත්තෙකු බවත්, ඔහුට එරෙහිව එම අධිකරණය හමුවේ තවත් නඩු කීපයක් පවතින බවත් කුරුඳුවත්ත පොලිසිය වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි චින්තක පෙරේරා මහතා අධිකරණයට පැවසීය. සැකකරු එදින රූපවාහිනී සංස්ථාවට ඇතුළුවී එහි විකාශන කටයුතවලට බාධා කිරීමෙන් රුපියල් එක්ලක්ෂ අසූඑක්දහස් හාරසිය අනූවයි ශත 25 ක අලාභයක් සිදුවී ඇතැයි ද සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම සැකකරු එදින එම ස්ථානයට ගොස් වැඩසටහනකට සහභාගි වූයේ ලැබුණු ආරාධනාවක් මත බවත් ඔහුව සාදරයෙන් පිළිගෙන කාර්ය මණ්ඩලය විසින් තේ පැන් සංග්‍රහයක්ද පවත්වා තිබියදී වර්තමාන රාජ්‍ය පාලකයන්ගේ අවශ්‍යතාවක් මත පොලිසිය එකී අසත්‍ය චෝදනාව නගා ඇතැයි ද සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කියා සිටියේය.

එම සැකකරු පමණක් නොව රටේ ජනතාවගේ බහුතරයක් එකී අරගලයට සක්‍රීයව සහාය දැක්වූ බවත් එලෙස නඩු දමන්නේ නම් අවම වශයෙන් ලක්ෂ 25 කට අධික පිරිසකටත් නඩු දැමීමට සිදුවන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණය හමුවේ පැවසීය.

නීතිඥ නුවන් බෝපගේ, මංජු ශ්‍රී චන්ද්‍රසේන, පසීර් මොහමඩ් ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment