රූම්වලට ගිහින් කෝටිපතියෙක් බ්ලැක්මේල් කළ රූමතිය…

1360

බේරුවලින් ඇසෙන මැණික් ව්‍යාපාරිකයකු ගේ කතාව…

ෆාතිමා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තරුණියකි. වයස අවුරුදු තිස් දෙකකි. ඉතා රූමත් ඇය දෙදරු මවකි. ස්වාමිපුරුෂයා ත්‍රිරෝද රථ රියැදුරෙකි. ඇය වසර කිහිපයක සිට ව්‍යාපාරයක් පවත්වාගෙන ගියාය. ඒ රෙදිපිළි සහ රන් ආභරණ ආශ්‍රිත ව්‍යාපාරයකි.

ඇය විටින් විට ඉන්දියාවට ගොස් රන් ආභරණ සහ සාරි ආදිය ගෙනැවිත් මෙරට වෙළෙඳාම් කළාය. එයින් ඇය සැලකිය යුතු ආදායමක් ලැබුවාය. පසුගිය දොළොස් වැනිදා ඇය සුපුරුදු පරිදි යළිත් ඉන්දියාව බලා පිටත් වූවාය. එලෙස ගිය ඇයට මෙරට කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු මුණගැසුණි. ඔහු නමින් රිස්වාන්ය.

රිස්වාන් බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. වයස අවුරුදු පනස් දෙකකි. විවාහක ඔහු කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකි. ඔහු ද තම ව්‍යාපාරික කටයුතු සඳහා නිරතුරුවම ඉන්දියාව බලා පිටත්වන අයෙකි. එලෙස ගිය ඔහුට ඉන්දියාවේදී ෆාතිමාව මුණගැසෙන්නේ අහම්බෙනි. එලෙස පළමුවර මුණගැසුණු දෙදෙනා මෙලෙස කතා බස් කළහ.

“හායි, ඔයා ලංකාවේ ද?.”

“ඔව් මම ලංකාවේ.”

“ඒක තමයි. දැක්ක ගමන් මට හිතුන ලංකාවේ කියලා. ඒකයි කතා කළේ.”

“ආ එහෙමද?”

“ඔව්. ඔයා ලංකාවේ කොහෙද?”

“මම කොළඹ.”

“ඇත්තද. මෙහෙ මොකද කරන්නේ.”

“මම බිස්නස් වැඩවලට ආවේ.”

“ඒක නොවෙයි කතා කළාට ඔයාගේ නමවත් අහගන්න බැරි වුණානෙ.”

“මම ෆාතිමා.”

“ලස්සන නමක් මම රිස්වාන්. පදිංචිය බේරුවල.”

“එතකොට මෙහෙ මොකද ඔයා කරන්නේ.”

“මමත් බිස්නස් වැඩවලට නිතරම මෙහෙ යනවා එනවා.”

“රිස්වාන් ඔයා මොනවද කරන බිස්නස්.”

“මැණික් බිස්නස් තමයි මම කරන්නේ.”

“හා එහෙනං කෝටිපතියෙක් වෙන්න ඇති.”

“ටිකක් විතර. ඒක නොවෙයි ඔයා කරන බිස්නස් මොනවද?”

“මම ලොකු බිස්නස් එකක් කරන්නෙ නැහැ. සාරි, ස්වර්ණාභරණ වගේ දේවල් මෙහෙන් අරන් යනවා.”

“ඒකත් හොඳ බිස්නස් එකක්නේ.”

“ඒක මැණික් වගේ ලාභ ගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. දන්නෙ නැද්ද පොඩියට කරගෙන යනවා.”

“හොඳයි. ඒක නොවෙයි ඔයා කැමතිනම් අපි යමු මොනවා හරි බොන්න. මේ ළඟ තියෙනවා හොඳ එකක්. කෑම බීම රහට තියෙනවා. එන හැම පාරකම මම ඒකට යනවා.”

“අපි දැන හඳුනාගත්තේ දැන්, කමක් නැද්ද මං ආවට.”

“අයියෝ ඒකට මොනවා වෙනවද?. අපි එක රටේ මිනිස්සුනේ.”

“හරි එහෙනම් යමු.”

ඒ අනුව දෙදෙනා එම අවන්හලට ගියහ. එලෙස ගිය දෙදෙනා විවිධ කෑම බීම කමින් පැය ගණනක් එහි ගත කළහ. ඒ අතරතුර ඔවුන් කතාබහ කරමින් තව තවත් මිත්‍රශීලී විය. අවසානයේ රිස්වාන් ෆාතිමාගෙන් සමු ගත්තේ යළි හවස ඇයව මුණගැසීමට එන පොරොන්දුව මතයි.

රිස්වාන් ගිය පසු ඇය මෙලෙස කල්පනා කළාය.

“මිනිහා හොඳ දළ කාරයෙක් වගේ. සල්ලි හොඳට වියදම් කළා. වෙන අය වගේ නෙමේ හොඳට ඇඳලා පැලඳලත් ඉන්නවා. අතාරින්න නරකයි. මිනිහව දැලේ දාගෙන සල්ලි ටිකක් කඩාගන්න ඕනා. එහෙම කළොත් මට මෙහෙම දුක් විඳින්න ඕන නැහැ. හවසට මාව හම්බෙන්න ආවම මම බලාගන්නම්.”

ඇය එලෙස කල්පනා කළ අතර රිස්වාන් මෙලෙස කල්පනා කළේය.

“ඒකී හරිම ලස්සන කෙල්ල. මට කැමැත්තකුත් තිබුණා වගේ. නැත්නම් හවස එන්න කිවුවහම බැහැ කියනවානෙ. හවස මුණගැහුනම සල්ලි ටිකක් විසි කරලා තවත් ටිකක් ළං කර ගන්න ඕනෑ. අනික එයා තනියමනෙ ඇවිල්ලා තියෙන්නෙත්.”

රිස්වාන් එදින සවස් කාලය උදාවන තුරු ෆාතිමා ගැන සිතමින් සිටියේ දැඩි නොඉවසිල්ලකිනි. වෙලාව වෙනදා මෙන් නොව ඉතා සෙමින් ගමන් කරනවායි ඔහුට හැඟුණි. ඒ තරමටම ඔහුගේ සිත එදින මුණගැසී කතාබහ කළ පාතිමා නැමැති සුරූපිනිය වෙත ඇදී තිබුණි.

නියමිත වේලාව ළඟාවෙමින් තිබුණි. රිස්වාන් තමා ළඟ තිබූ වටිනාම ඇඳුමෙන් සැරසී ජේත්තුවට ඇඳ පැළඳ ඉස්තරම් වර්ගයේ සුවඳ විලවුන්ද ඇඟලාගෙන දහසක් බලාපොරොත්තු සිතේ ගුළිකරගෙන ෆාතිමා මුණගැසීමට ගියේය.

රිස්වාන් පැමිණ මිනිත්තු දහයකට පමණ පසු ෆාතිමාද එම ස්ථානයට පැමිණියාය. එලෙස පැමිණි ඇයව රිස්වාන් ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය. දෙදෙනා මිනිත්තු කිහිපයක් එම ස්ථානයේ රැඳී සිට කතාබස් කළහ. ඉන්පසු ඇය තමා නවාතැන් ගෙන සිටින හෝටලය වෙත යෑමට ඔහුට ආරාධනා කළාය. එම ආරාධනාව ඉතා කැමැත්තෙන් පිළිගත් රිස්වාන් ද ඇය සමඟ එම හෝටලය වෙත ගියහ.

හෝටල් කාමරය තුළට ගිය දෙදෙනා යළි මෙලෙස කතාබස් කළහ.

“මටනම් ඔයා ගැන දුකයි ෆාතිමා.”

“ඇයි රිස්වාන්.”

“ඔයා මෙච්චර ලස්සන වෙලත් තනියම මේ කරන බිස්නස් ගැන.”

“ඒක නම් එහෙම තමයි.”

“ඇයි හස්බන්ඩ් උදව් කරන්නෙ නැද්ද?”

“අනේ එයා ගැන කතාකරලා වැඩක් නැහැ. එයා කවදාවත් මාව තේරුම් ගත්තේ නැහැ.”

“එහෙමද? ඒක නම් මහා පිස්සෙක්.”

“ඇයි එහෙම කියන්නේ.”

“ඔයා වගේ මෙච්චර ලස්සන කෙනෙක්ව තේරුම් ගන්න බෑහැ කියන්නේ.”

“ඒකනම් ඇත්ත.”

“ඔයා බයවෙන්න එපා. දැන් මම ඔයාට ඉන්නවනෙ.”

“ඔය ඇත්තමද කියන්නෙ.”

“ඔව් මම ඇත්ත කියන්නේ.”

“ඒ කියන්නේ ඒ තරම් මට කැමතියි කියලද?”

“ඔව්, කැමති නැත්නම් මම එනවද ඔයාව බලන්න.”

එලෙස පැවසූ රිස්වාන් ෆාතිමාගේ වම් අත රැගෙන තමන්ගේ පපුව මත තබා ගත්තේය. ෆාතිමාද එයට අකමැත්තක් පෙන්නුවේ නැත. ඉන්පසු රිස්වාන් ඇයව තමන් ළඟට රැගෙන ආදරයෙන් වැළඳගත්තේය. එවිට ඇය “ඉන්න පොඩ්ඩක් මගේ ෆෝන් එක තියලා එනකම්” යැයි පැවසුවාය.

එලෙස ජංගම දුරකථනය තැබූ පසු රිස්වාන් යළිත් ඇයව ආදරයෙන් තුරුල් කර ගත්තේය. එතැන් සිට දෙදෙනා රාත්‍රිය පහන් වනතුරු අඹු සැමියන් ලෙස හැසුරුණහ. එදින රිස්වාන් තමාගේ සිතේ තිබූ කාමුක හැඟීම් සිත්සේ ඇයගෙන් ඉටු කරගත්තේය. එලෙස දින දෙකක් ගත කළ පසු යළි දෙදෙනාම මෙරටට පැමිණියහ.

මෙරටට පැමිණි පසුත් ලද සෑම මොහොතකම දෙදෙනා ජංගම දුරකථනයෙන් සුවදුක් විමසූහ. එලෙස සතියක් පමණ ගත විය. දිනක් ෆාතිමා රිස්වාන්ට ඇමතුමක් ලබා දී මෙලෙස පැවසුවාය.

“රිස්වාන් මට සල්ලි හදිස්සියක් ලක්ෂ දහයක් දෙන්න පුළුවන්ද? මම සති දෙකකින් දෙන්නම්.”

“අනේ ෆාතිමා තරහ වෙන්න එපා. මේ වෙලාවේ එච්චර මුදලක් ළඟ නැහැ. තියෙන සල්ලි ටික බිස්නස්වලට හිර කරලා තියෙන්නේ.”

“ඉන්දියාවේදි මාත් එක්ක එකට ඉන්නකොට ඔය වගේ කතා කිව්වේ නැහැනේ. ඕන උදව්වක් කරන්නම් කියල කිව්වෙ.”

“හරි මම ඔයාට උදව් කරන්නම්. ඒත් මේ වෙලාවේ මගේ අතේ සල්ලි නැහැ.”

“බොරු කියන්න එපා රිස්වාන්. ඔයා පවුලේ විස්තර එක්ක තියෙන සියලු දේවල් මට කිව්වා.”

“කිව්වා තමයි ඒ වුණාට දැන් සල්ලි නැහැ.”

“එහෙම කරන්න එපා රිස්වාන්. මම ආපහු දෙන්නනේ ඉල්ලන්නේ.”

“ඒක මම දන්නවා. ඒත් දැන් ළඟ සල්ලි නැත්නම් මම මොකද කරන්නේ.”

“ඔයා ළඟ සල්ලි නැති වෙන්න බැහැ. කෝටි ගණන් තියෙන්නෙ. ඒක මම හොඳටම දන්නවනේ.”

“ෆාතිමා කියන දේ අහලා මට කරදර නොකර ඉන්න ඔයාට කියන දේ තේරෙන්නේ නැහැනේ. තියෙනවා නම් මම නොදී ඉන්නෙත් නැහැ.”

“එහෙමද දැන් ඕවා මට කියන්නේ.”

“කියන දේ තේරෙන් නැත්තං එහෙම තමයි කියන්න වෙන්නේ.”

“එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා.”

“ඇයි මට මොනවා කරන්නද?”

“කරන දේ බලාගන්නවා තව ටිකකින්”

එලෙස තර්ජනාත්මක ස්වරූපයෙන් පැවසූ ඇය දුරකථනය විසන්ධි කළාය. ඉන්පසු තම ජංගම දුරකථනයේ තිබූ වීඩියෝ පටයක් රිස්වාන් ගේ වට්ස්ඇප් ගිණුමට ඇය යැව්වාය. එය දුටු රිස්වාන්ට උන් හිටි තැන් අමතක විය. එහි තිබුණේ තමා ෆාතිමා සමඟ ලිංගිකව හැසිරෙන අයුරුය. වහාම ඔහු ෆාතිමාට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙලෙස විමසුවේය.

“මම හිතුවේ නෑ ඔයා ඔච්චර පහත් ගෑනියෙක් කියලා.”

“මම හිතුවෙත් නෑ ඔයා ඔච්චර පහත් මිනිහෙක් කියලා.”

“ඔයා මාත් එක්ක ඉඳලා තියෙන්නෙ සල්ලි ඉල්ල ගන්න එහෙනම්.”

“නැහැ මම හදිස්සියකටනේ සල්ලි ඉල්ලුවෙ. ඒ දුන්නැති නිසා තමයි ඕක එව්වේ.”

“නැති සල්ලියක් මම කොහොම දෙන්න ද?”

“නැති සල්ලි ගන්න විදිහ මම දන්නවා.”

“මේවා එවලා මාව බය කරලා සල්ලි ගන්නනම් හිතන්න එපා. මොකද මමත් මේ ගෙන්දගම් පොළොවේ හොඳට පය ගහපු කෙනෙක්. ඒක හොඳට මතක තියාගන්න.”

“එහෙමද රිස්වාන්. එහෙනම් ඔයා මේකත් හොඳට මතක තියාගන්න. අද හවස් වෙන්න කලින් මම මේ එවන

ගිණුමට ලක්ෂ දහයක් දාන්න ඕනා. එහෙම නැති වුණොත් මම මේ වීඩියෝ එක ඔයාගේ වයිෆ්ටයි ළමයින්ටයි යවනවා.”

“එහෙමනම් කරන්න එපා ෆාතිමා.”

“එහෙම නොකර ඉන්නනම් සල්ලි දාන්න.”

“මම කිව්වනේ ෆාතිමා දැන් ළඟ සල්ලි නැහැ කියලා. පස්සේ දෙන්නම් එතකන් පොඩ්ඩක් ඉවසන්න.”

“තවත් බොරු කියන්න එපා. මම ඕවට රැවටෙනනේ නැහැ. පහ වෙනකොට සල්ලි වැටිලා තිබුණේ නැතොත් මම නරක ගෑනි කියලා කියන්නත් එපා.”

එලෙස පැවසූ ඇය දුරකථනය විසන්ධි කළා ය. රිස්වාන් යළි කිහිපවරක්ම ඇයව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළේය. එහෙත් පලක් වූයේ නැත. ඇයගෙන් පිළිතුරක් නොමැත. ඉන්පසු රිස්වාන් දස අතේ කල්පනා කළේ කුමක් කරන්නද කියාය. එක්වරම ඔහුට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. මෙම සිද්ධිය මිතුරෙකුට වත් පැවසීමට නොහැකිය. පැය ගණනක් කල්පනා කළ ඔහු අවසානයේ ලක්ෂ 10 ක මුදල ෆාතිමාට ලබාදීමට තීරණය කළේය.

ෆාතිමාගේ ගිණුමට මුදල් බැර කළ ඔහු ඇයගෙන් ඉල්ලා සිටියේ යළි තමන්ට කරදර නොකරන ලෙසයි.

සති කිහිපයක් ගත විය. ඇය යළිත් ලක්ෂ 70 ක මුදලක් ඉල්ලා රිස්වාන් ට කරදර කරන්න පටන් ගත්තාය. එහෙත් රිස්වාන් එම මුදල ලබා දීමට කිසිසෙත් කැමැති වූයේ නැත. ඔහු එම මුදල ලබා දීම ප්‍රතික්ෂේප කරන සෑම මොහොතකම ඇය එම වීඩියෝ පටය ඔහුගේ බිරිඳට සහ දරුවන්ට යවන බව පවසමින් තර්ජනය කළාය. ව්‍යාපාර කටයුතු පසෙකින් දැමූ රිස්වාන් මෙම ගැටලුව විසඳා ගන්නේ කෙසේදැයි කියා දස අතේ කල්පනා කළේය. ඒ අතර ෆාතිමා දිනපතාම ලක්ෂ හැත්තෑවක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඔහුට කරදර කළේය.

අවසානයේ ෆාතිමාගෙන් කිසිදු ආකාරයකින් ගැළවීමක් නොලැබෙන බව ඔහුට අවබෝධ විය. එම නිසා නීතියේ පිහිට පැතීමට ඔහු තීරණය කළේය. ඒ අනුව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකයට ගොස් මෙම සිද්ධිය පිළිබඳව ඔහු පැමිණිලි කළේය. පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීහු පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ. පොලිස් නිලධාරීන්ගේ උපදෙස්වලට අනුව ලක්ෂ හැත්තෑවක මුදලෙන් ලක්ෂ දහයක් පළමුව දෙන බව පවසා එම කාන්තාව උපායශීලීව බේරුවල නගරයට ගෙන්වා ගැනීමට එම ව්‍යාපාරිකයා කටයුතු කළේය. ඒ අනුව ලක්ෂ දහයක මුදල දෙන දවස සහ වෙලාව පිළිබඳව ද ව්‍යාපාරිකයා ඇයව දැනුවත් කළේය.

නියමිත දිනය උදා විය. ෆාතිමා තවත් පිරිමි පුද්ගලයකු සමඟ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් බේරුවලට පැමිණියහ. ඒ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදල ලබාගැනීම සඳහාය. ව්‍යාපාරිකයා පැවසූ ස්ථානයට පැමිණි ඇය ලක්ෂ දහයක මුදල කප්පම් ලෙස ලබා ගැනීමට සැරසුණි. ඒ සමඟම සිවිල් ඇඳුමෙන් එම ස්ථානයේ රැඳී සිටි පොලිස් නිලධාරීහු ඇයව අත්අඩංගුවට ගත්හ. ඒ සමඟම ඇයගේ සහයට පැමිණි පුද්ගලයා සහ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථය ද අත්අඩංගුවට ගත්හ. සැකකාරිය සමග පැමිණි අනෙක් පුද්ගලයා වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සැකකාරිය දෙදරු මවක් වන අතර ඇයගේ ස්වාමි පුරුෂයා ත්‍රිරෝද රථ රියැදුරෙකි.

පසුව සැකකරු සහ සැකකාරිය කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු නොවැම්බර් මස පළවෙනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඔබත් මෙවැනි අපහසුතාවයකට පත් වූ අයෙක් නම් අදම ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරන්න. නීතියේ පිහිට ඔබට හිමිවනු ඇත.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක වීරසේන සහ සැරයන් ජයන්ත (11700), පොලිස් කොස්තාපල් ගුණවර්ධන (85848), උපුල් ( 45627), ඉහළගේ (24054), කාන්තා කොස්තාපල් දිව්‍යාංජලී (11287), සහ පොලිස් රියැදුරු තාරක (15307) යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment