රූම් යනකොට පෙත්තක් අරන් යන ටියුෂන් ළමයි!

2651

අනං මනං බෙහෙත් බීලා මැරෙන්න එපා…

සමාජ මාධ්‍ය යනු ප්‍රජාවන් සහ ජාල හරහා තොරතුරු, අදහස්, රුචිකත්වය, වෙනත් ප්‍රකාශන ආකාර නිර්මාණය සහ බෙදාගැනීමට පහසුකම් සපයන අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය තාක්‍ෂණය වේ. එහෙත් මෙරට ‘සමාජ මාධ්‍ය’ භාවිතාව වඳුරට දැලිපිහිය ලැබුණා හා සමානය. ඇතැම් දේශපාලන කණ්ඩායම් සමාජ මාධ්‍ය මඩ ගොහොරුවක් කරගෙනය. අසහනාකාරී මානසික රෝගීන්ට සමාජ මාධ්‍ය ගණිකා මඩමක් වැනිය. ව්‍යාපාරිකයන්ට වෙළෙඳපොළකි. ඒ කළු කඩේ විකුණන්නෙ නැති බඩමාලුවක් නැති තරම්ය. ඒ අතර ප්‍රසිද්ධියේ අලෙවි කළ නොහැකි නිෂ්පාදන බොහෝය. ලිංගික උත්තේජන නිෂ්පාදන වර්ග විශාල වශයෙන් මුහුණු පොත හරහා අළෙවි කෙරෙති. පාරිභෝගික ආකර්ෂණය දිනාගැනීම අරඹයා එම නිෂ්පාදන හඳුන්වාදීමට භාවිතා කරන රූප රාමු, වචන ඇස ගැටෙන විට හදවත හිරිවැටෙන තරම්ය.

‘කාලය, දිග, මහත, ජවය, නිසරුභාවය… සියලුම ගැටලුවලට එකම විසඳුම…’

‘ජීවිතය විඳින්න හොඳම විදිහ… දිනපතා පානය තුළින් සති හතරකින් අස්ප ජවයක්…’

‘යන්නෙම නෑ… ඇයි කියලා අහන්න එපා. ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න…’

ඒ මුහුණු පොතේ පළ කර තිබෙන ලිංගික උත්තේජන නිෂ්පාදන වර්ගවල වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් තුනක අන්තර්ගත වචන කිහිපයක් පමණි. තව බොහෝය.

ලිංගික උත්තේජන නිෂ්පාදන අලෙවිය සඳහා මුහුණුපොතේ පළ කරන ඇතැම් දැන්වීම්වල වචන මේ සටහනට අන්තර්ගත කළ නොහැකි තරමට කුණුහරුපය.

‘සිත් ගන්නා සුළු මිල… රහසිගත ආවරණයකින් ඔබගේ අතටම… දිවයින පුරා ප්‍රවාහනය නොමිලේ…’ එම වෙළෙඳ දැන්වීම් තුළ වචන හරඹය ද සිත් වසඟ කරගන්නා තරම්ය. භාණ්ඩ ළඟමට ගෙනැවිත් දීමට ප්‍රවාහන ගාස්තු අය කරන සහ නොකරන ඒ සියලු නිෂ්පාදනවල එකම මිලක්, එනම් 1999 ක් වීම ද පුදුමයකි. මායාකාරී වෙළෙඳ දැන්වීම්වල ඇතුළත් දුරකථන අංකවලට කතා කර භාණ්ඩ ලබාගන්නා ආකාරය සහ එම නිෂ්පාදන භාවිතයෙන් ලැබෙන ප්‍රථිඵල ගැන අපි විමසා සිටියෙමු.

රූම් යනකොට පෙත්තක් අරන් යන ටියුෂන් ළමයි!
මානසික වෛද්‍ය රත්නසිරි බණ්ඩාර

‘මේ බෙහෙත් එක ප්‍රංශයේ නිෂ්පාදනයක්. සියයට සියයක් ප්‍රතිඵල තියෙනවා. ඕනෑම වයසකට ගැලපෙනවා. මේ වෙනකොට හොඳ ඉල්ලුමක් තියෙනවා. භාවිතා කරන ආකාරය ගැන සටහන් පත්‍රිකාවක් නිෂ්පාදනය සමඟ අපි ලබාදෙනවා. බය නැතිව ගන්න. අපේ පේජ් එකේ කෙමෙන්ට් කියවන්න. එතකොට හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්…’ එසේ උපදෙස් ලබාදෙන කාන්තාවගේ කටහඬ ද හරි හුරතල්ය. ඒ මයාකාරී හඬ අමතක කර එම වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම ඇතුළත් ෆේස්බුක් පිටුවේ අදහස් පරීක්‍ෂා කළෙමු.

‘මේක තියෙන ප්‍රතිඵල ගැන ඇත්තටම කිව්වොත් හිතුවටත් වඩා ගොඩක් හොඳයි. මේ බෙහෙතෙ තියෙන අමුතු ආශ්වාදය මීට කලින් කිසිම බෙහෙතකින් ලැබිලා නෑ. ඔබත් මේ බෙහෙත පාවිච්චි කර මානසික සුවය ලබාගන්න…’

‘මෙච්චර කාලෙකට හම්බුන හොඳම නිෂ්පාදනය.

ගෙවපු මිලට සරිලන හොඳ නිෂ්පාදනයක්. මට තිබ්බ ගොඩක් ප්‍රශ්න මේක පාවිච්චි කරන්න ගත්තයින් පස්සෙ විසඳුනා…’

එම ෆේස්බුක් පිටුවේ පාරිභෝගිකයින් පළ කර තිබෙන අදහස් ද වෙළෙඳ ප්‍රචාරණයකි. මුහුණුපොතේ පළ කර තිබෙන සියලුම ලිංගික උත්තේජන නිෂ්පාදන සම්බන්ධයෙන් පළ කෙරෙන පාරිභෝගික අදහස් ව්‍යාජ වෙළෙඳ ප්‍රචාරණයකි. විවිධ නම්වලින් එම අදහස් පළ කර ඇත්තේ ද අදාළ ව්‍යාපාරිකයන් සහ එම වෙළෙඳ ආයතනවලින් බව එම අදහස් පරීක්‍ෂා කරන විට බුද්ධියක් ඇති අයට තේරුම් ගැනීමට අපහසු නැත. එමෙන්ම මුහුණුපොතේ පළ කර තිබෙන මෙවැනි මායාකාරී වෙළෙඳ ප්‍රචාරණයන් දැක ලිංගික උත්තේජන නිෂ්පාදනවලට රැවටෙන මෙරට තරුණ, වැඩිහිටි පිරිස ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. එමෙන්ම අන්තර්ජාලයේ අසභ්‍ය චිත්‍රපට නරඹන රටවල් අතර අපේ රට ඉදිරියෙන්ම සිටින බව ද වාර්තා වේ. නිල් චිත්‍රපට නරඹන බහුතරය සිටිනුයේ උතුරු මැද පළාතේ බව ද වාර්තා වේ. උතුරු මැද නිල් චිත්‍රපට උන්මදාය ගැන සටහන් තැබෙන විට අපූරු කතාවක් මතකයට නැඟණි. අනුරාධපුරේ එක්තරා ගමක බඩඉරිඟු ගොවීන්ගේ ගැටලු ගැන සාකච්ඡා කරමින් ගොවීන් සමඟ සුහද පිළිසඳරක නිරතව සිටියදී ‘කසිප්පු’ මතෘකාවට නැඟිණි.

‘දැන් සීල් අරක්කු බොන්න හිතන්නවත් බෑ. ඒත් සතියට තුන්හතර දවසක් අඩියක් නොගැහුවොත් ගෑනි එක්ක ඉන්න ජවයක් නෑ. මත බඩේ ඉන්නකොට අපි යක්කු වගෙයි…’ වයස අවුරුදු පනහ පැනපු ජවසම්පන්න එම ගොවියාගේ මානසික තත්ත්වය අතිශය දුර්වලය. එවැනි දුර්වල මානසික තත්ත්වයන් සහිත මිනිසුන් ජීවත්වන උතුරු මැද පළාතේ නිල් චිත්‍රපට නැරඹීමේ වැඩිවීම වෙනම කතාවකි. මෙරට ඈත දුෂ්කර ගම්මානවල ගොවීන් ලිංගික සතුට වෙනුවෙන් ගංජා, මත්පැන් පානය කිරීමට ඇබ්බැහිවීම අරුමයක් නොවේ. ඉන්දියානු, චීන, ඊජිප්තු, රෝම සහ ග්‍රීක පුරාණ ශිෂ්ටාචාරවල ජීවත් වූ මිනිසුන් පවා ලිංගික ආශාවන්, ලිංගික සතුට හෝ ලිංගික හැසිරීම් වැඩි දියුණු කරගැනීම සඳහා විවිධ කෑම, බෙහෙත් පැළෑටි වර්ග, මත්පැන්, මත්ද්‍ර්‍ය භාවිතා කර ඇති බව ඉතිහාසයේ සඳහන්ය. එමෙන්ම ලිංගික ආශ්වාදය වෙනුවෙන් නීත්‍යානුකූල සහ නීති විරෝධී ඖෂධ භාවිතා කරන මිනිසුන්ට ඒවායේ බලපෑම ද විවිධාකාරය. ලිංගික උත්තේජන භාවිතය මරණයට පවා පත්විය හැකි භායනක තත්ත්වයන් ඇති විය හැකි බව මානසික වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතා ද අප සමඟ පැවසීය.

“ලිංගික උත්තේජන ඖෂධ භාවිතයෙන් සිදු වෙන්නෙ නයිටි ඔක්සයිඩ් වැඩි වී රුධිර නහර විශාලවීම. නහරවල හැකිළීමට ලක්ව තිබුණු ස්ථාන ප්‍රසාරණ වෙනවා. එම විශාලවීම තුළ ලිංගික ඉන්ද්‍රියන්වලට රුධිර ගැලීම වේගවත් වෙනවා. රුධිර ගැලීම වේගවත්වීම තුළ ලිංගික ප්‍රදේශවල ප්‍රාණවත්භාවය වැඩි වෙනවා. ලිංගික ප්‍රදේශවලට රුධිරය ගැලීම වේගවත් වී මොළයට රුධිරය ගැලීම අඩාල වුණොත් ශරීරයේ ෆෙෂර් එක අඩු වෙනවා. එහෙම වෙනකොට ක්ලාන්තය හැදෙනවා. මොළයේ අවශ්‍ය ස්ථානවලට රුධිය ගමන් නොකිරීම නිසා මියැදෙන්න, අංශබාග තත්ත්වයන්ට පත්වෙන්න පුළුවන්. මේ වෙනකොට අපේ රටේ පුද්ගලයන් හත්දෙනකු විතර ප්‍රසිද්ධියේ මිය ගිහින් තියෙනවා. පාසල් වයසෙ ළමයිත් ඒ අතර ඉන්නවා. ඒ වගේම ලිංගික උත්තේජන ඖෂධ පානය කිරීම නිසා පහුගිය දවස්වල ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් මිය ගියා…” වෛද්‍යවරයාගේ කතාවට මම බාධා කළෙමි.

ලෝකය තුළ ලිංගික බෙලහීනතාවයට පත්ව ඇති පුද්ගලයන් විශාල වශයෙන් වැඩි වී ඇති බව වාර්තා වේ. එහෙයින් ලිංගික උත්තේජන භාවිතා කරන පිරිස ද විශාල වශයෙන් වැඩි වෙමින් සිටිති. ලිංගික උත්තේජන ඖෂධ සහ ස්ප්‍රේ වර්ගවලට ලෝකයේ රටවල ඉහළ ඉල්ලුමක් ඇති වී තිබෙන බව ද වාර්තා වේ. එහෙත් ලෝකයේ බොහෝ රටවල ඖෂධහල්වලින් බෙහෙත් ලබාගැනීමට එරට ලියාපදිංචි වෛද්‍යවරයකුගේ නිර්දේශය අවශ්‍ය වුවද මෙරටට එවැනි නීති වලංගු නැත. කැමැති ආකාරයට, ඕනෑම ප්‍රමාණයකින් ඖෂධ ලබාදීමට මෙරට ඖෂධහල් යුහුසුළුය. ලිංගික උත්තේජන ඖෂධවල නම් කියන සුනංගුවට බෙහෙත් ලබාදෙන ෆාමසි අපේ රටේ තිබෙන බව ද එම ව්‍යාපාරයේ නියුතු ව්‍යාපාරිකයෙක්ම අප සමඟ පැවසීය.

“අපේ ෆාමසියෙත් විවිධ වර්ගයේ ලිංගික උත්තේජන ඖෂධ, ස්ප්‍රේ වර්ග තියෙනවා. ඒත් මම නම් අඩු වයසෙ ළමයින්ට එවැනි නිෂ්පාදන දෙන්නෙ නෑ. සෙනසුරාදා, ඉරිදා දවස්වලට විශාල වශයෙන් ලිංගික උත්තේජන ඖෂධ වර්ග විකිණෙනවා. දැන් ගොඩක්ම පාසල්වියේ පිරිමි ළමයි ප්‍රේමවන්තියත් එක්ක ලැඟුම්හලකට යනකොට පෙත්තක් සාක්කුවේ දාගෙන යෑම විලාසිතාවක් කරගෙන තියෙන්නෙ. අපි විකුණුවේ නැති වුණාට වෙනත් ෆාමසි ඉල්ලන සුනංගුවට දෙනවා. දැන් හැදෙන ළමයිත් කිසිදු බයක්, සැකක් නැතිව පෙත්තෙ නම කියලා ඉල්ලනවා. මේ පෙති අරගෙන යන්නෙ බීලා ගෑනු ළමයා තුරුළු කරගෙන ඉඳලා එන්න නෙමෙයි. ලිංගික ආශ්වාදයේ අන්තයටම යන්න. එවැනි අවස්ථාවන්ට මුහුණදෙන ගැහැනු ළමයින්ගේ ජීවිත ගැන කතා කර ඵලක් නෑ. පව්. මේවාට වගකියන්න ඕනෑ දෙමවුපියො. ඒ වගේම පිරිමින්ට පමණක් ලිංගික උත්තේජන ඖෂධ වර්ග කාන්තාවන් ඇවිත් කාඩ් පිටින් අරගෙන යනවා. දැන් අපේ රටේ සමහර මිනිස්සු මේ ඖෂධ පාවිච්චි කරන්නෙ උනට වේදනා නාශක බොනව වගෙයි…” ව්‍යාපාරිකයාගේ කතාව එසේ ගලා යන විට විශෝධන මධ්‍යස්ථානයකදී හමු වූ තරුණයෙක් පැවසූ කතාවක් මගේ මතකයට නැඟිණි.

“අපේ තාත්තට පිටකොටුවේ හොඳ ව්‍යාපාරයක් තියෙනවා. උසස් පෙළ කරන කාලෙ ඉඳලා වැඩිපුර කඩේ හිටියේ මම. දවසක් කඩේට ලස්සන මුස්ලිම් කාන්තාවක් ඇවිත් බඩු අරගෙන හොඳට කතාබහ කරලා ගියා. ඒ ගෑනු කෙනා කිහිප දිනක්ම කඩේට එන යනකොට අපි අතර සම්බන්ධයක් ඇති වුණා. දවසක් අපි හෝටල් කාමරයකට ගිහින් ලිංගිකව එකතු වෙන්න හදනකොට ඒ ගෑනු කෙනා කුඩු ටිකක් අරගෙන ඊයම් කොළයකට දාලා රත් කර උරලා මටත් දීලා හොඳට උරන්න කිව්වා. එතකොට වැඩි වේලාවක් අපිට ඉන්න පුළුවන් කිව්වා. ඊට පස්සෙ අපි එකතුවන සෑම අවස්ථාවකදීම මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. අන්තිමේ මම හෙරොයින්වලට ඇඩික් වුණා…” එම තරුණයාට වයස අවුරුදු විසිදෙකකි. ප්‍රසන්න පෙනුමැති, කඩවසම් තරුණයෙකි. එහෙත් මත නිසා දැන් ඔහුගේ ශරීරය වැහැරී ගොස්ය. ළාබල පිරිමි ළමයින්ව දැලේ දාගන්නා කාමාතුර වැඩිහිටි කාන්තාවන් ලිංගිකව එකතුවන විට ලිංගික උත්තේජන, මත්ද්‍රව්‍ය වර්ග ඒ ළමයින්ට ලබාදෙන බව සමාජයෙන් නිතර ඇසෙන කතාවකි. මානසික වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතා ද ඒ බව අපට තහවුරු කළේය.

“ලිංගික උත්තේජන ඖෂධ භාවිතා කරන බහුතරය ක්‍ෂණික මෝචන තත්ත්වයන් ඇති පුද්ගලයන් සහ අනියම් ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යන පුද්ගලයන්. මෑත කාලෙ ඉඳලා ෆේස්බුක් මාර්ගයෙන් වැඩිහිටි කාන්තාවන් ළාබල තරුණයන් සමඟ සම්බන්ධතා ඇති කරගැනීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා. එම කාන්තාවන්ට වැඩි වේලාවක් ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යෑමට ඕන නිසා සහකරුවාට ලිංගික උත්තේජන ඖෂධ ලබාදෙනවා. අඩු වයසෙන් මෙවැනි ඖෂධ භාවිතා කිරීම තුළ වැඩිහිටි තත්ත්වයට පත්වෙනකොට ක්‍ෂණික මෝචන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ක්‍ෂණික මෝචනය කියන්නෙ ලිංගික එකතුවීමකදී ඉතා කෙටි කාලයක් තුළ ධාතු පිටවීම. එම දුබලතාවයට ප්‍රධාන හේතුව සෙරටොනික් අඩුවීම. එම තත්ත්වය මඟහරවා ගන්න වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර තියෙනවා. සෙරටොනික් අඩංගු ඖෂධ වර්ග තියෙනවා. නිසි වෛද්‍ය උපදෙස් යටතේ සෙරටොනික් අඩංගු ඖෂධ පාවිච්චි කිරීම තුළින් සතියෙන්, දෙකෙන් ක්‍ෂණිකමෝචන තත්ත්වයන් සුවපත් කර ගන්න පුළුවන්. ලිංගික උත්තේජන ඖෂධ භාවිතය පිරිමි වීරත්වය ප්‍රදර්ශනය කිරීමකි. එහෙත් කාන්තාවක් ඉදිරියේ වීරයෙක් වීමට ගොස් මැරී වැටීම පිරිමි කමට කරන අගෞරවයක් පමණක් නොව, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද පාරෙ බැස යෑමත් නැති කිරීමකි. උද්ගතව ඇති මේ මානසික ව්‍යාධිය මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමට හා සමාන ව්‍යසනයකි. එහෙයින් කඩිනමින් මුහුණුපොත හරහා කෙරෙන ලිංගික ඖෂධ අළෙවිය තහනම් කළ යුතුය. එමෙන්ම මෙරට ෆාමසිවලින් මෙවැනි ඖෂධ ලබාදීමට යම් ක්‍රමවේදයන් සකස් කළ යුතුය. යම්, යම් ලිංගික අප්‍රාණික තත්ත්වයන් තිබෙන පුද්ගලයන් වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබාගැනීමට යොමුවීමට මැලි නොවිය යුතුය. නිසි ප්‍රතිකාර මත ඔබට නිරෝගීමත් වීරයෙක් බවට පත්විය හැකිය. වෛද්‍යවරයෙක් හමුවීමට තිබෙන ලැජ්ජාවට ලිංගික දුබලතා යටපත් කරගෙන සිටීම මරණය දක්වා විඳවීමක් බව ද මතක් කළ යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment