රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

210

අවසන් කටයුතු 16 දා

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කළුතර දිස්ත්‍රික් නායක මෙන්ම හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයකු ද, හිටපු ආණ්ඩුකාරවරයකු වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා පෙරේදා (12 දා) රාත්‍රි අභාවප්‍රාප්ත විය. ඒ මහතා මියයන විට 75 වැනි වියේ පසු වූ අතර හේ තිදරු පියෙකුද වේ.

පෙරේදා රාත්‍රි වාද්දුව හෝටලයක පැවැති රැස්වීමක් අතරතුර හිටපු ඇමැතිවරයා හදිසි හෘදයාබාධයකට ලක්වී රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

වාද්දුව හෝටලයේදී ඉදිරි මැතිවරණය ගැන හා අපේක්‍ෂකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබී ඇත.

එම රැස්වීම අතරතුර පපුව අල්ලාගෙන සිට ඇති හිටපු අමාත්‍යවරයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. පසුව ඔහුගේ තත්ත්වය බරපතල වූ බැවින් ගිලන් රථයකින් කළුතර රෝහලට යොමු කිරීමට පියවරගෙන තිබේ.

රෙජිනෝල්ඩ් කුරේ මහතා දෙනියාය මධ්‍ය මහා විiාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරීය. පසුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයේ පරිපාලන විශේෂවේදී උපාධිය ලබා ගත්තේය. බැංකු නිලධාරියකු ලෙස කටයුතු කළ ඒ මහතා පසුව ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ප්‍රසිද්ධියට පාත්‍රවිය. පසුව දේශපාලනයට පිවිසි ඒ මහතා බස්නාහිර පළාත් සභාවට තරගවැද ජයගත්තේය.

1994 වසරේදී පොදුජන එක්සත් පෙරමුණෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත් කැබිනට් ඇමැතිවරයකු ලෙසත් කටයුතු කළේය. ඊටපසුව රූපවාහිනි සංස්ථා සභාපති ඇතුළු තනතුරු කිහිපයක්ද දැරීය.

කුරේ මහතා සිය දේශපාලන දිවිය ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණෙනි. ඔහු 1977 දී පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස බේරුවලට තරග කළ නමුත් තේරී පත් නොවීය. එහෙත් පසුව ඔහු විජය කුමාරණතුංගයන්ගේ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයට සම්බන්ධ විය. අනතුරුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්විය.

1988 දී ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය. 1994 දී පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේය.

මැතිවරණයෙන් පසු ඔහු වාර්ගික කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස පත්විය.

ඉන්පසු ඔහු 2000 දී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බවට පත්විය.

ඒ මහතා 2004 දී පාර්ලිමේන්තු මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයකු ලෙස තරග කර නැවත පාර්ලිමේන්තුවට තේරීපත් විය.

මැතිවරණයෙන් පසු ඒ මහතා තොරතුරු හා මාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කරන ලදි.

දේශපාලකයකු ලෙස කටයුතු කළ ඒ මහතා ගීත ගායනයට ද දක්‍ෂතා දැක්වීය. මියුරු සංගීතයට අනුව ගීත ගයමින් ඔහු තම හිතවතුන් සතුටු කරන්නට ද විය.

දේහය පලයන්ගොඩ බෝඹුවල පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

අභාවප්‍රාප්ත රෙජිනෝලඩ් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 16 වැනිදා සඳුදා බෝඹුවල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. ඒ මහතාගේ මරණ පරීක්‍ෂණය කළුතර නාගොඩ රෝහලේ එස්. ඒ. කොමසාරු මහතා හමුවේ ඊයේ පැවැත්විණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment