රෙඩ් වොරන්ට් පෝලිමේ කුඩු අංජුත් එයි!

1083

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාගේ ඝාතනයටත් සම්බන්ධයි

පාතාලයට ආවේ අයියා මරපු පළිය ගන්නලු

නීතිඥයන්ට කෝටි ගණන් දීලා බේරෙන්නත් දඟලයි!

කලින් කලට තමා ජීවත් වන ප්‍රදේශ මුල් කරගනිමින් විවිධ හේතු පවසමින් නමගිය පාතාල අපරාධකාරයින් මෙරටින් බිහිවේ. එයට උදාහරණ ලෙස සොත්ති උපාලි, ගෝනවල සුනිල්, නාවල නිහාල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා, ආනමාලු ඉමිතියාස්, කඩුවෙල වසන්ත, කරාටේ ධම්මික, බැද්දගානේ සංජීව, නොයෙල් අමරසිංහ, චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ, වම්බොට්ටා, පොට්ට නවුෆර්, බ්ලූමැන්ඩල් ප්‍රින්ස්, වෙලේ සුදා, මොරටු සමන්, කළු අජිත්, මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්කා, ගොනාකෝවිලේ රොහා, ගොනාකෝවිලේ කුඩු අංජු, කෙහෙල්වත්තේ දිනුක, රත්මලානේ ධර්මේ, දෙමටගොඩ චමින්ද, පුකුඩි කන්නා, වැල්ලේ සුරංග, කෙහෙල්බද්දර පද්මේ, පොඩි ලැසී, කොස්ගොඩ තාරක, රණාලේ සමයං, කොස්ගොඩ සුජී, බ්ලූමැන්ඩල් සංඛ, හතේකණුවේ බබී, හරක් කටා, ගනේමුල්ල සංජීව, හීනටියන මහෙෂ්, කුඩු සළිඳු සහ කංජිපානි ඉම්රාන් යන පුද්ගලයින් හැඳින්විය හැකිය. මේ අතරින් දැනට ජීවත්ව විදෙස් රටවල සිටින බහුතරයක් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන ලැබී ඇති අයයි.

ඒ අතර මෙම නමගිය පාතාල නායකයන් අතරින් බොහෝ දෙනකු ජීවිතයෙන් සමුගෙන ඇත. ඒ පොලිස් වෙඩි පහරකින්, එසේ නොමැති නම් ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු ගෙනි. තවත් පිරිසක් බන්ධනාගාර ගතව සිටිති. එයට අමතරව හෘදයාබාධ වැනි රෝග සැදී මිය ගිය අයද සිටී. එයට හොඳම උදාහරණය වනුයේ අංගොඩ ලොක්කා, කෙසෙල්වත්තේ දිනුක, පොට්ට නව්ෆර් ආදි පාතාල නායකයින්ය. තවත් පිරිසක් විදෙස්ගතව සැඟවී සිට තම පාතාල කටයුතු සිදුකරගෙන යති.

දැනට සති කිහිපයකට ඉහතදී මැඩගස්කරයේ දී අල්ලා ගත් හරක් කටා සහ කුඩු සළිඳු ඉන් දෙදෙනෙකි. මොවුන් දෙදෙනා ඩුබායි සහ මැඩගස්කරයේ සිට මෙරට හෙරොයින් ජාවාරම, මිනිස් ඝාතන සහ කප්පම් ගැනීම් වැනි පාතාල ක්‍රියාකාරකම් කිසිදු බියක් සැකක් නොමැතිව ජයටම සිදු කරගෙන ගියේය. ඒ මාකඳුරේ මධුෂ් මෙන් පාතාලයේ ගෝඩ් ෆාදර් කෙනෙකු වීමේ සිහිනය ද සිතේ තබාගෙනයි. එහෙත් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු ලබා සිටි එම පාතාල අපරාධකාරයින් දෙදෙනාට අවසානයේ සිද්ධවූයේ නොසිතූ මොහොතක මැඩගස්කරයේ දී එරට පොලිස් අත්අඩංගුවට පත්වීමටයි. ඉන්පසු මෙරටට ආරක්ෂක නිලධාරීන් උදර්පණ නීතියට අනුව ඔවුන් දෙදෙනාව මෙරටට රැගෙන ආවේය.

හරක් කටා සහ කුඩු සළිඳු එලෙස අත්අඩංගුවට පත් වී සති කිහිපයට යෑමට මත්තෙන් තවත් පාතාල නායකයකු වූ සිංහාර අමල් සිල්වා නොහොත් ‘ගොනාකෝවිලේ කුඩු අංජු’ ප්‍රංශයේදී පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහුද ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු ලබා සිටි අයෙකි. එලෙස අත්අඩංගුවට පත්වූ පසු ඔහු ගැන මෙරට ආරක්ෂක අංශ පමණක් නොව සාමාන්‍ය ජනතාව ද කතා කිරීමට පටන් ගත්හ. පහතින් පෙළ ගැසෙන්නේ ඒ පිළිබඳ සවිස්තරාත්මක සටහනකි.

දකුණ, කොළඹ, කඩුවෙල, මරදාන, මාලිගාවත්ත ආදී පාතාලය ගැන කතා කරද්දි මොරටු පාතාලය ගැනද කතා නොකරම බැරිය. එදා මොරටු පාතාලය ගැන කතා කරද්දී එහි ඉහළින්ම ලියැවී තිබුණ නම බවට පත්වූයේ ‘මොරටු සමන්ය.’ එකල ඔහු ඒ තරමටම පාතාල කෙරුමකු වී සිටියේය. එදා මොරටු සමන්ගේ නම ඇසූ පමණින් මොරටුවේ පමණක් නොව රත්මලාන, ගල්කිස්ස, දෙහිවල ආදී ප්‍රදේශවල ජනතාව ද බියෙන් වෙව්ලමින් සිටියේය. ඒ තරමටම ඔහු දරුණු ගණයේ පාතාල අපරාධකරුවකු විය. වර්ෂ 2007 වන විට මොරටු සමන්ගේ පාතාල ක්‍රියාකාරකම් සදහටම නතර විය. ඒ පොලිස් වෙඩි උණ්ඩයකින් ඔහු මිය යෑම නිසාය.

මොරටු සමන් මියයෑමෙන් පසු ඔහුගේ ළඟම ගෝලයකු වූ රෝහණ හැරල්ඩ් ද සිල්වා නොහොත් ‘ගොනාකෝවිලේ රොහා’ කරළියට පැමිණියේය. එලෙස ඔහු රත්මලාන, දෙහිවල, ගල්කිස්ස යන ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් සහ හෙරොයින් ජාවාරම ජයටම සිදුකරගෙන ගියේය. ඒ වන විටත් ඔහුට විරුද්ධව ප්‍රතිවාදී පාතාල කල්ලියක් බිහි වෙමින් සිටියේය. එහි නායකයා බවට පත්වූයේ සිංහාර අමල් සිල්වා නොහොත් ‘ ගොනාකෝවිලේ කුඩු අංජු’ සහ ඔහුගේ වැඩිමල් සහෝදරයා වූ සිංහාර සුරේෂ් අසංක සිල්වා නොහොත් ‘ලංසියාය.’ මොවුන් තිදෙනා පාසල් සමයේ සිට ගජ මිතුරන්ය. එහෙත් පසුකාලීනව ඔවුන් විරසක විය. එයට ප්‍රධානම හේතුව වූයේ ප්‍රේම සම්බන්ධතාවයකි.

එකල රත්මලාන ප්‍රදේශයේ අණසක පතුරාගෙන සිටියේ කුඩු අංජු සහ ලංසියා ගේ බාප්පලාය. මොවුන් දෙදෙනාගේ වැඩිමහල් බාප්පා ‘රත්මලානේ රාජා’ ලෙස හැඳින් වූයේය. 1980 වර්ෂයේ සිට එම ප්‍රදේශයේ ආධිපත්‍ය ඔහු පතුරුවාගෙන සිටියේය. අංජුලාගේ බාප්පලගෙ මුල් පුරැක ලෙස සිටි ‘රත්මලානේ රාජා’ 88, 89 භීෂණ සමයේදී ඝාතනයට ලක් විය. ඒ අංජුලාගේ පවුලේ සිදු වූ පළමු ඝාතනයයි.

රෙඩ් වොරන්ට් පෝලිමේ කුඩු අංජුත් එයි!

එම සමයේ ගල්කිස්සේ ප්‍රසිද්ධ පාසලක රොහා, ලංසියා සහ අංජු අධ්‍යාපනය හැදෑරුවේ ය. රොහා සහ ලංසියා සිටියේ එකම පන්තියේය. එකල ඔවුන් ගජමිතුරන්ය. ඒ වන විට පොඩි ළමයකුව සිටි අංජු සිටියේ පහළ පන්තියකයි. එහෙත් අයියාගේ මිතුරා නිසා ඔහු රොහාව දැන අඳුන ගෙන සිටියේය.

එකම පාසලේ එකම පන්තියේ ගජ මිතුරන් ලෙස සිටි රොහා සහ ලංසියා අධ්‍යාපන කටයුතුවලට වඩා දක්ෂතාවයක් දැක්වූයේ බාහිර කටයුතු සඳහාය. ඔවුන් දෙදෙනාගේ එකම සිහිනය වූයේ ජිම් එකකට ගොස් ඇඟවල් පුම්බා ගැනීමයි. ඒ අනුව ඔවුන් දෙදෙනා එම ප්‍රදේශයේ තිබූ කායවර්ධන මධ්‍යස්ථානයකට ගියහ. එලෙස වසර ගණනක් හොඳ මිතුරන් ලෙස ඔවුන් කාලය ගත කළේය.

එම මිතු දහමට කණකොකා හැඬීම ට පටන් ගත්තේ රොහාගේ මිතුරකු ලංසියාගේ ඥාති සහෝදරියක් සමග පෙම් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට යෑමෙනි. එහි අවසන් ප්‍රතිඵලය බවට පත්වූයේ රොහාට සහ ඔහුගේ මිතුරාට ලංසියාගේ බාප්පා කෙනකු වූ රංජි නමැති පුද්ගලයාගෙන් හොඳ හැටි ගුටිකෑමට සිදුවීමයි. එම සිද්ධියේ පිටුපස සිටියේ තමාගේ හොඳම මිතුරා වූ ලංසියා බව රොහා දැන ගත්තේය. එතැන් සිට ඔවුන්ගේ මිතුදහම වෛරයක් බවට පත්විය. එ සමගම රොහා ලංසියාගේ බාප්පලා ගෙන් පළිගන්න ‘මොරටු සමන්’ සමග එක්විය.

රොහා මොරටු සමන් සමග එක්වීමත් සමග ලංසියාගේ පොඩි බාප්පා එයට පළිගැනීමට කුමන්ත්‍රණයක් සිදු කළේය. එකල ඔහු ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රීවරයකු විය. ප්‍රදේශයේ ජනතාව ඔහුව හැඳින්වූයේ පොඩිමහත්තයා ලෙසින්ය. ඔහුගේ කුමන්ත්‍රණය වූයේ අත්බෝම්බයක් සමග රොහාව පොලිසියට කොටු කර දීමටයි. අවසානයේ එය සාර්ථක විය. ඒ අනුව කලක් රොහාට බන්ධනාගාර ගත වීමට සිදු විය. පසුව පොලිසියට ඔත්තුව දුන්නේ පොඩි මහත්තයා බව රොහා දැන ගත්තේය. එමනිසා බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණි පසු රොහා පොඩි මහත්තයා ඝාතනය කිරීමට සැලසුම් කළේය. දිනය 2007 මාර්තු මස 13 වැනිදාය. එදින රොහා රත්මලාන මැලිබන් හන්දියේ කාර්යාලයක් තුළදී පොඩිමහත්තයා ඝාතනය කර තම පළිය ගත්තේය.

එම කාලය තුළ පොලිස් වෙඩි පහරකින් මොරටු සමන් ද ඝාතනයට ලක්විය. ඒ වන විට රොහා රත්මලාන ප්‍රදේශයේ නමගිය පාතාල අපරාධකරුවකු ලෙස ප්‍රසිද්ධ වී සිටියේය. ඒ අතර කාලය තුළ රොහා නැවත පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ ලංසියාගේ බාප්පා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු ලෙසින්ය.

ඒ වනවිටත් ලංසියා ද පාතාලයට සම්බන්ධ වී සිටියේය. ඔහු සිටියේ රෝහාට වඩා බොහෝ ඉදිරියෙනි. හෙරොයින් ජාවාරම ජයටම සිදුකරගෙන ගිය නිසා මුදල් පමණක් නොව විශාල ගෝල බාලයින් ප්‍රමාණයක්ද ඔහුවටා එක්රොක්වී සිටියේය. ලංසියා සිටියේ රොහා බන්ධනාගාරයෙන් පැමිණි පසු තම බාප්පා මැරූ පලිය ඔහුගෙන් ගැනීමටයි. එහෙත් බන්ධනාගාරයෙන් පැමිණි පසු රොහා ද කිසිදු බියක් සැකක් නොමැතිව රත්මලාන ප්‍රදේශයේ හෙරොයින් විකිණීමට පටන් ගත්තේය. එයින් උරණ වූ ලංසියා තම ගෝලබාලයන් යොදවා රොහා ඝාතනය කිරීමට උත්සාහ කළේය. එය දැන සිටි රොහා ද තම ගෝලබාලයන් සමග ප්‍රහාරයකට සූදානමින් සිටියේය.

බන්ධනාගාර නිලධාරියකු වන රොහාගේ බිරිඳගේ සහෝදරයා දිනක් ත්‍රීරෝද රථයකින් රොහාගේ නිවසට පැමිණෙන්නේ තම නැගණියගේ දුක සැප විමසීමටයි. එම අවස්ථාවේදී ලංසියාගේ ඥාතියෙකු වූ විශේෂ පොලිස් බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ද මෝටර් රථයකින් රොහාගේ නිවස ඉදිරිපිට ගමන් කරමින් සිටියේය. එම අවස්ථාවේදී ත්‍රී රෝද රථයෙන් මාර්ගය අවහිර කරමින් සිටි බන්ධනාගාර නිලධාරියා සමග ලංසියාගේ ඥාති උප පොලිස් පරීක්ෂකවරයා ආරවුලක් ඇති කර ගත්තේය. අවසානයේ දී බන්ධනාගාර නිලධාරියා උප පොලිස් පරීක්ෂකයෙකු වූ ලංසියාගේ ඥාති සහෝදරයාට කම්මුල් පහරක් ගැසුවේය.

ලංසියාට මෙය සැලවීමත් සමග රොහා සමග තිබූ වෛරය තවත් තීව්‍ර විය. ඒ අනුව ඔහු තම ගෝලයින්ට නිතරම මෙලෙස පැවසුවේරෑය. “රොහා දැන් එන්න එන්නම රඟනවා වැඩියි. මගේ ඒරියා එකෙත් කුඩු විකුණනවා. ඒ මදිවට මගේ එවුන්ට සද්දෙත් දානවා. මූව ඉක්මනට ඉවරයක් කරලා දාන්න ඕනා. එහෙම නොවුණොත් විශාල කරදරයක් වෙනවා. ඉන්න තැනක් ඉක්මනට හොයාගනින්. ඊට පස්සේ කරන්න ඕන වැඩ ටික මම දන්නවා.”

ලංසියා රොහාව ඝාතනය කිරීමට එලෙස සැරසෙද්දී රොහා ද ලංසියාව ඝාතනය කිරීමට සැලසුම් කළේය. එහෙත් ලංසියාට කලින් රොහා ඉක්මන් විය. 2016 ජුනි මස 23 වැනි දා මහර බන්ධනාගාරය අසලදී රොහා ලංසියාව වෙඩි තබා ඝාතනය කළේය.

ලංසියාගේ ඝාතනයත් සමග වඩාත් දුක්වූයේ ඔහුගේ සහෝදරයා වූ අංජුය. ඒ වන විටත් පාසල් ශිෂ්‍යයකුව සිටි අංජු පාසල් ජීවිතයට සමුදී පාතාලයට සම්බන්ධ විය. ඒ තම සහෝදරයා මැරූ පලිය රොහාගෙන් ගැනීම සඳහාය. කලක් යද්දී අංජු ‘ගොනාකෝවිලේ කුඩු අංජු’ යන නමින් පාතාලයේ ප්‍රසිද්ධ විය.

තම සහෝදරයා මැරූ පළිය ‘කුඩු අංජු’ පළමුව ගත්තේ රොහාගේ හොඳම යාළුවා වූ ප්‍රභාත් ඝාතනය කිරීමත් සමඟය. ඉන්පසු ඔහු කැලණිතිස්ස විදුලි බලාගාරයේ සේවකයකු වූ රොහාගේ බාප්පා කෙනෙකුව වෙඩි තබා ඝාතනය කරන්නේ වාද්දුව ප්‍රදේශයේදීය. එතැනින්ද නොනැවතුණු කුඩු අංජු රොහාගේ ගෝලබාලයින් කිහිපදෙනෙකුද වෙඩි තබා ඝාතනය කළේය. එයින් පසු මෙරට ජීවත් වීම ඔහුගේ ජීවිතයට තර්ජනයක් වූ නිසා ඔහු මැලේසියාවට පැන ගත්තේය. මැලේසියාවෙන් ඉතාලියට පැන ගත් ඔහුගේ අවසන් නවාතැන් පොළ වූයේ ප්‍රංශයයි. කුඩු අංජු ප්‍රංශයට පැනගත්තේ දේශපාලන රැකවරණ ඉල්ලමින්ය. එයට හේතුව වශයෙන් ඔහු තම සහෝදරයාගේ ඝාතනය සහ ශ්‍රී ලංකා පොලිසියෙන් තමාව මරා දැමීමට යන බව පවසා ඇත.

දේශපාලන රැකවරණය පතමින් ප්‍රංශයේ සිටියත් කුඩු අංජු එහි සිට කෙරුවේ මෙරට සිටින සිය ගෝල බාලයින් යොදා පාතාල අපරාධ මෙහෙයවමින් මිනිස් ඝාතන සිදුකර මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත වීමයි. ඒ අතර රොහා ඝාතනය කිරීමට ද ඔහු අවස්ථා කිහිපයකදීම උත්සාහ කළේය.

පොලිස් නිලධාරියෙක් ඝාතනය කර පලා යමින් සිටියදී 2016 වසරේ දෙසැම්බර් මාසයේදී රොහා පොලිස් අත්අඩංගුවට පත්විය. ඉන්පසු ඔහු බන්ධනාගාර ගත කෙරුණි. රොහා එලෙස බන්ධනාගාර ගතව සිටින විට සයනයිඩ් විෂ ශරීරගත කර මරාදැමීමට අංජු සැලසුම් කළේය. ඔහු ඉතා සූක්ෂම ලෙස තම ගෝලබාලයින් ලවා බන්ධනාගාරය තුළට සයනයිඩ් විෂ සහ එන්නත් කටු යවා තිබුණත් බන්ධනාගාර නිලධාරීන්ට එය හසු වීම නිසා එම උත්සාහය ව්‍යර්ථ විය. ඒ සඳහා වූ රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර තිබුණි. තවත් වරක් ගල්කිස්ස අධිකරණයේ දී නඩු කටයුත්තක් සඳහා රොහාව රැගෙන එන අවස්ථාවේ දී ඝාතනය කිරීමට සැලසුම් කළේය. එයත් ව්‍යර්ථ වන්නේ එම ගිනි අවි දෙක අධිකරණ ශාලාව තුළ බංකුවක් යට තිබී පොලිසියට හමු වීම නිසාය.

එම සිදුවීම් දෙකෙන් වසර ගණනකට පසු රොහාට ඇප ලැබුණි. ඇප ලැබී එළියට පැමිණි රොහා අංජුගෙන් ආරක්ෂා වෙමින් තම පාතාල කටයුතු සිදු කරගෙන ගියේය. එහෙත් වැඩි කලක් ඔහුට එලෙස සැඟවී සිටීමට නොහැකි විය. රොහා බෝට්ටුවෙන් ඉන්දියාවට පැන යෑම සඳහා සූදානමින් මීගමුව කොච්චිකඩේ ධීවර වාඩියක සිටින බවට පොලිසියට ආරංචියක් ලැබුණි. පොලිසිය වහාම ඔහු අත්අඩංගුවට ගැනීමට එම ස්ථානයට ගියේය. එහිදී ඇතිවුණු වෙඩි හුවමාරුවකදී රොහා මිය ගියේය.

රොහාගේ මරණය ආරංචි වීමත් සමග කුඩු අංජු එය සැමරීම සඳහා උත්සව ද සූදානම් කළේය. පළමුව ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා එම මරණයට සහභාගී වන අය පවා මරා දමන බවට තර්ජනය කර තිබුණි. එතනින් නොනැවතුණු ඔහු තම සහෝදරයා වූ ලංසියාගේ සොහොන මලින් සරසා එහි සිට කේක් කැපීමට ද සූදානම් කළේය. ගල්කිස්ස වෙරළ තීරයේ ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්තුවේය. එයට අමතරව සිය ගෝලබාලයන් ලවා බජව් ද සංවිධානය කළේය.

තවත් වරක් කුඩු අංජු ගැන මෙරට ජනතාව කතා කිරීමට පටන් ගත්තේ 2018 වසරේදී ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ගේ පියා ඝාතනය කිරීමත් සමගයි. ධනංජයගේ පියා වන රන්ජන් ද සිල්වා ගල්කිස්ස මහ නගර සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි. කුඩු අංජු ඔහුව ඝාතනය කරන්නේ රොහාට රැකවරණය ලබා දුන්නා යැයි පවසමින්ය. එම අවස්ථාවේදී ධනංජය සිල්වාගේ සහෝදරයා දිවි ගලවා ගනු ලැබුවේ දිව ගොසින්ය. එසේ නොමැති වූවා නම් ඔහුව ද ඝාතනය කිරීමට කුඩු අංජු සැලසුම් කර තිබුණි.

කොවිඩ් වසංගතය පැවති සමයේ මොරටුව සොයිසා පුර හෝටලයේ අයිතිකරුට ද සහ සේවකයින්ට අනතුරක් සිදුවන ආකාරයට වෙඩි තබන්නේ ද කුඩු අංජු ගේ නියෝගයක් මතයි. එය මෙහෙයවනු ලබන්නේ ඩුබායි සිටින ඔහුගේ ප්‍රධාන ගෝලයකු වන ‘ඇල්ටෝ ධර්මේ’ විසින්ය. එලෙස ඔහු වෙඩි තබන්නේ පොලිස් ආරක්ෂාව පවා හෝටලේට ලබාදී ඇති මොහොතකයි.

කුඩු අංජුට ප්‍රංශයේ වයින් කර්මාන්ත ශාලාවක් සහ ඩුබායිවල වතුර බෝතල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඇති බව පවසයි. එහෙත් එවැනි ව්‍යාපාර කිසිවක් ඔහුට නොමැත. ඔහුගේ එකම ව්‍යාපාරය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමයි. ඩුබායි සිට ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන්නේ ජූඩ් ප්‍රියන්ත නමැති පුද්ගලයෙකි. ඔහුගේ සහායකයා ලෙස කටයුතු කරන්නේ හීනටියන මහේෂ්ය. මොවුන්ගේ ගෝලබාලයින් සිදුකරන අපරාධ සඳහා අවි ආයුධ සපයන්නේ ද කුඩු අංජුය.

කිසිදු බියක් සැකක් නොමැතිව මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ පාතාල කටයුතුවල නිරත වූ කුඩු අංජු පසුගිය සතියේ ප්‍රංශ පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නේ සිය බිරියට කළ පහරදීමක් මුල් කරගෙනයි. සිය බිරිය අතහැර සුදු ජාතික කාන්තාවක් විවාහ කරගැනීමට අංජුගේ සූදානමක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුවී ඇති බවට අනාවරණය වේ. කුඩු අංජු ට එරෙහිව ඇති රතු නිවේදනය ගැන ද ප්‍රංශ පොලිසියට සඳහන් කර ඇත්තේ ඇය විසින්මයි.

කුඩු අංජුගේ නම ඉදිරියේ ලියැවී ඇති මිනිස් ඝාතන ඇතුළු අපරාධ සංඛ්‍යාව 18කි. ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී ඇති මුල්ම අපරාධය වන්නේ විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට පත් වීමකි. ඒ 2007 වසරේදීය. එයට අමතරව එම වසරේදීම දෙහිවල පුද්ගලයෙකුට ගිනි අවි පෙන්වා රුපියල් ලක්ෂ තුනක මුදලක් මංකොල්ල කා ඇත. ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී ඇති පළමු මිනිස් ඝාතනය වන්නේ ඉන් වසර නවයකට පසු පිළියන්දල පොලිස් වසමේ දී ටී. 56 ගිනි අවියකින් ප්‍රභාත් රසාංග පෙරේරා නමැති අයකු ඝාතනය කිරීමයි. ඉන් අනතුරුව ඔහුගේ නම ඉදිරියේ අපරාධ රැසක් ලියැවී ඇත. ඒ අතර මිනිස් ඝාතන හයක් සහ ඝාතන තැත් කිරීම හයක් ඇත.

තවද කුඩු අංජු තමාට අවනත දූෂිත පොලිස් නිලධාරීන්ට තෑගිබෝග පවා ලබා දෙන විට ඔහුට එරෙහිව යන නිලධාරීන්ට මරණීය තර්ජන පවා කර තිබුණි. එයට හොඳම උදාහරණය වනුයේ 2019 වර්ෂයේ අඟුලාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි පොලිස් පරීක්ෂක අලහකෝන් නමැති අයයි.

පොලිස් පොත්වල ලියැවී ඇති මෙම අපරාධ සම්බන්ධයෙන් කුඩු අංජුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් ලබාගෙන ඇත්තේ 2020 වසරේ පෙබරවාරි 26 වැනිදා ය. එම රතු නිවේදනය ලබාගෙන ඇත්තේ 2073/2-2020 අංකය යටතේය. කුඩු අංජු ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබේ. ඒ ගල්කිස්ස මහාධිකරණයෙනි. සංවිධානාත්මකව අවි ආයුධ රැස් කරමින් ජාතික ආරක්ෂාවට හා මහජන සාමයට තර්ජනයක් වන ආකාරයෙන් සාහසික ලෙස අඛණ්ඩව ක්‍රියා කරමින් කටයුතු කරන බව ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. මෙයට අමතරව පොලිස් ගැසට් පත්‍රය
මගින් ද ප්‍රසිද්ධ කර ඇත්තේ කුඩු අංජු පොලීසියට අවශ්‍ය කරන පුද්ගලයෙක් බවයි.

දැනට ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ සිටින කුඩු අංජු මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ දරන්නේ මෙම කරුණු කාරණා ඔස්සේ ය. එහෙත් ඊට පෙර අංජු ප්‍රංශ පොලිසිය නිදහස් වීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවට ද වාර්තා වේ. ඒ සඳහා විශාල මුදලක් ද වැය කර තිබේ. වහාම ඒ පිළිබඳව සොයා බලා මෙරට ආරක්ෂක අංශ සිදු කළ යුත්තේ මෙම සංවිධානාත්මක අපරාධකරුවා මෙරටට ගෙන්වා ගැනීමයි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment