රේඛාවෙන් මතකය රැන්දූ ඒ ආදරණීය හඬ

499

අපට සිටි ප‍්‍රවීණතම ගායිකාවක් වූ ඉන්ද්‍රාණී සේනාරත්න හෙවත් අප ආදරණීය ඉන්ද්‍රාණි අක්කා අපෙන් සමුගෙන අදට දෙවසරකි.
 
 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ”‍රේඛාව”‍ චිත‍්‍රපටයේ ”‍වෙසක් කැකුළු අතු අග…………”‍ ගීතයෙන් රසික සිත් සතන් අමන්දානන්දයට පත් කළ ඇය ගායිකාවක් ලෙස වසර 62 ක කාලයක් අප මතකයේ රැඳී තිබෙන ගී සමුදායක් ගැයුවාය. ”‍ඔබ ගතින් මා ළඟයි….”‍ ගීතය ඇගේ ගීත අතරින් මගේ ප‍්‍රියතම ගීතයයි.
 
 සිය සැමියා වන අභාවප‍්‍රාප්ත ප‍්‍රකට සංගීතාවේදි සහ ගායක සිසිර සේනාරත්නයන් සමගින් ඇය ගායනා කළ ගීත අපේ සවනේ සැමදා රැව් පිළි රැව් දෙනු ඇත.
 
 ”‍රේඛාව”‍ ප‍්‍රමුඛව ඇරඹෙන ඇගේ සිනමා පසුබිම් ගායනාවන් තුළ ඇය බොහෝ නිළියන් හට ගී හඬ දායක කර ඇත. ඇගේ දෙවැනි චිත‍්‍රපටය වූයේ ”‍ශූරයා”‍ චිත‍්‍රපටයයි. එහි සෝමා මහවලගේ වෙනුවෙන් ඉන්ද්‍රාණිය ගයන ”‍හිතන්නකෝ අයියේ……….”‍ ගීතය එම චිත‍්‍රපටයේම කාන්ති ගුණතුංග වෙනුවෙන් ජමුනා රාණි ශිල්පිණිය ද ගැයුවාය. කෙසේ වුව ද ඉන්ද්‍රාණි විජේබණ්ඩාරයන් හෙළ සිනමාවේ අමරණීය ගීත කෝකිලාවියක් වනුයේ හෙළ සිනමා නිළි රැුජින වන මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ සිනමා ප‍්‍රවිශ්ටයේ ඇය හට මුල්වරට ගී ගැයූ ශිල්පිණිය ලෙසින් ය. ඒ තිස්ස ලියනසූරියගේ ”‍පුංචි බබා”‍ චිත‍්‍රපටයේ මාලනිය වෙනුවෙන් ගැයුණු ”‍පෙම් මදිරා මේ ජීවිතේ……….”‍ ගීතයෙනි. නිළි රැුජිණට මෙන්ම ඉන්ද්‍රාණිය, ”‍දෙයියන්නේ රටේ”‍ සහ ”‍ශ‍්‍රී 296”‍ චිත‍්‍රපටය සඳහා පුණ්‍යා හීන්දෙණියට ද, ”‍හඳපාන”‍ සහ ”‍හිතට හිත”‍ චිත‍්‍රපට සඳහා විජිත මල්ලිකාට ද, ”‍සෙනෙහස”‍ චිත‍්‍රපටය සඳහා ජීවරාණී කුරුකුලසුරියට සහ ජානකී කුරුකුලසුරියට ද, ”‍සුහද පැතුම”‍, ”‍මගෙ රන් පුතා”‍ සහ ”‍දීපාන්ජලී”‍ චිත‍්‍රපට වෙනුවෙන් සුමනා අමරසිංහට ද, ”‍දීපාංජලී”‍ චිත‍්‍රපටය සඳහා ගීතා කුමාරසිංහට ද මෙන්ම තවත් ශිල්පිණියන් රැුසකට සිනමාවේ පසුබිම් ගී ගැයුවාය.
 
 එනමුත් මා සිතන අයුරින් ඇගේ කොමල ගී හඬ වඩාත් කදිමට ගැළපුණේ විජිත මල්ලිකා හට ය. ඉන්ද්‍රාණි සේනාරත්නගේ වයස අවුරුදු 30කට ආසන්න කාලයේත් ඇය සිනමාවේ ළමා සිනමා චරිතයන්ට සිය හඬ මුසු කළාය. හැට දශක අවසානයේ තිරගත වූ ”‍ප‍්‍රවේසම්වන්න”‍ චිත‍්‍රපටය වෙනුවෙන් ශ්‍යාමා ආනන්ද හට ඇය ගී ගයන කළ ඇය එවකට තාරුණ්‍යයේ කෙළවර සිටියත් ඇගේ හඬ ශ්‍යාමාට කදිමට ගැළපුණි. ඉන්ද්‍රාණි අක්කා සිංහල සිනමාවේ තමාටම ආවේණික ලක්ෂණයන්ගෙන් සුගායනීය පුරාවෘත්තයක් වූ චරිතයකි.
 
 සරසවිය රණතිසර සම්මානය සහ කලාභූෂණ රාජ්‍ය ගෞරව සම්මානය ආදියෙන් ගරු බුහුමනට ලක්වූ ඇය සදාතනිකව අප මතකයේ රැුෙ​ඳන ගී ලොව ආදරණීය දම්මි ය.
 
 තෙරක් නොපෙනෙන මේ රුදුරු සසර කතරේ නිර්වාණ ක්ෂාන්තිය වෙත ඉක්මණින් ළඟාවන්නට ඉන්ද්‍රාණී අක්කාට හැකිවේවායි පිංපෙත් පමුණුවමි !!!
 
 දයාන් විතාරණ
 (මුහුණු පොතේ සටහනක් ඇසුරිනි)

advertistmentadvertistment
advertistmentadvertistment