‘රේඛාවේ’ මැවුම්කරු හිටියා නම් 104 යි

74

චිත්‍රාගාර තුළ සිරකරුවකු බවට පත්ව තිබූ ශ්‍රී ලාංකීය සිනමාව එළිමහන් දර්ශන තලයට රැගෙන ගොස් කලාත්මක සිනමාවක දේශීය උපත සටහන් කළ සිනමාවෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තිය දිනා දුන් අග්‍රගන්‍ය සිනමාවේදී දිවංගත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විද්වතාගේ 104 වැනි ජන්ම දින සැමරුම අදට (05) යෙදී ඇත.

1956 වසර දෙසැම්බර් 28 වැනිදා තිරගත වූ සිංහල සිනමාවේ රිදී ‘රේඛාව’ චිත්‍රපටය තුළින් ස්වකීය සිනමා ගමන ඇරඹූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අනතුරුව සංදේශය, ගම්පෙරළිය, ගොළු හදවත, නිධානය ඇතුළු තවත් විශිෂ්ට සිනමා කෘතීන් රැසක් දේශීය සිනමාවට දායාද කළේය.

ප්‍රංශයේ කෑන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල ලන්ඩන් සිනමා උළෙල, මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළ අග්‍රගන්‍ය සිනමා නිර්මාණ රැසක නිර්මාණවේදියා වූ ඒ මහතා 2001 වසරේදී ආසියාවේ සිනමාවට දක්වන ලද දායකත්වය වෙනුවෙන් ‘ස්වර්ණ පද්ම’ සම්මානයෙන් පිදුම් ලැබුවේය.

2002 අප්‍රේල් 05 වන දින එතුමන් නමින් මුද්දරයක් ද නිකුත් කළ අතර 2003 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ඒ මහතා වෙත ගෞරව ආචාර්ය පදවියක් පිරිනැමීය. එතුමන්ගේ දිවි ගමනේ මෙන්ම සිනමා ගමනෙහිද සහකාරිය වූ සුමිත්‍රා පීරිස් නම් වූ සිනමා කිවිඳිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අභාවයෙන් වසර පහකට පසුව 2023 ජනවාරි මස 19 වැනිදා අභාවප්‍රාප්ත වූවාය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment