රේගුවට ජය වේවා

1891

තමා අමාරුවේ වැටුණු වෙලාවේ ආණ්ඩුව තමා බේරා නොගත් නිසා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබි්‍ර රහිම් පවසා තිබේ.

ඉහත සඳහන් වාක්‍ය අපේ පාඨකයාට පැහැදිලි කර දිය යුතු 60 හැවිරිදි අලි සබි්‍ර රහීම් යනු ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙකි. මීට දින කිහිපයකට පෙර කටුනායක ගුවන්තොටුපළේ වීඅයිපී පර්යන්තයෙන් ලංකාවට ඇතුළුවීමට එද්දී රේගු නිලධාරීහු ඔහුගේ බෑග් සෝදිසි කළහ. ඒවායේ රත්‍රං කිලෝ තුන හමාරක් පමණ ද උසස් තත්ත්වයේ ස්මාර්ට් ෆෝන් අනූ ගණනකුත් විය. මේ බඩු තොගය රේගුවට ප්‍රකාශ නොකර තීරු බදු නොගෙවා මෙරටට ඇතුළු කිරීමට තැත් කළ බඩු ලෙස ගණන් ගන්නා බැවින් රේගු නිලධාරීහු අලි සබි්‍රව ද ඔහු සමග එමින් සිටි ගෝලයකු ද බඩු තොගය ද අත්අඩංගුවට ගත්හ. මේ වෙලාවේදී තමා ජනාධිපති ලේකම්ටත්, අග්‍රාමාත්‍ය ලේකම්ටත් කතා කර තමා බේරා ගන්නා ලෙස ඉල්ලුව ද එම ඉල්ලීම ඉටු නොවුණු බව අලි සබි්‍ර මන්ත්‍රීතුමා පසුව කීවේය. ඒ අතර එතුමාට මිලියන 7.5ක දඩයක් ද ගසන ලදී. අලි සබි්‍ර රහීම් සිද්ධිය නිසා ලංකා ආණ්ඩුවට සිදුවූ ලාභය රුපියල් කෝටි දහයකට කිට්ටුය. මෙවැනි මන්ත්‍රීන් වැඩි වැඩියෙන් රටට අවශ්‍ය බව අපි ඊයේ කතුවැකිය මගින් කීවෙමු. මෙවැනි එක මන්ත්‍රී කෙනෙක් දවසකට කෝටි දහය බැගින් රටට දුන්නොත් අවුරුද්දකට ඔවුන්ගෙන් ලැබෙන ආදායම රුපියල් බිලියන 36 ය ඉක්මවයි. දැන් අලි සබි්‍ර රහීම්ගේ කතාවේ ඉතුරු ටික ගැන බලමු. ජනාධිපති ලේකම් සහ අග්‍රාමාත්‍ය ලේකම් තමා බේරා නොගත් නිසා අලි සබි්‍ර රහීම් ආණ්ඩුව කෙරෙහි බලවත් වෛරයෙන් සිටින බව දැනගන්නට තිබේ. ඊට පළිගැනීම සඳහා ඔහු මුලින්ම කළේ ජනක රත්නායක එළවීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීමයි. මෙහි ඊළඟ පියවර වශයෙන් සජබට හෝ ජාජබෙට යෑමට අලි සබි්‍ර රහීම්ට කල්පනා කළ හැකිය. සජබ කෙසේ වෙතත් ජාතික ජනබලවේගය නම් අලි සබි්‍ර තමන් වෙත එන්නට හැදුවොත් ඔහුට පහරදී එලවා දැමීමට ඉඩ තිබේ.

අලි සබි්‍ර රහීම් කියන්නේ රත්‍රං සහ දුරකථන පැනවීමට තැත් කිරීම තමාගේ වරද නොව ගෝලයකුගේ වරද බවය. ස්වකීය බෑග් පැක් කිරීමේදී ගෝලයා තම බෑග් එකට මේ බඩු දැමුවේද? බූරුවා ගැහුවත්, බූරු පොළේ සිටියත් කුදලාගෙන යෑම පොලිසියේ සිරිතය. කසිප්පු බිව්වත් කසිප්පු බොන තැන සිටියත් ජීප් එකේ දමාගෙන යෑම පොලිසියේ සිරිතය. අලි සබි්‍ර රහීම් මේ තරම් පුංචි බබෙක් වුණේ කොහොමද? මීළඟ දවසේදී රත්‍රං කිලෝ 200ක් පමණ කස්ටම් එක හරහා රැගෙන එන්නට තැත් කරන පුද්ගලයකු අත්අඩංගුවට පත්වූ විට එම බඩු තමාගේ නොවන බවත්, ගෝලයා විසින් තම බෑග්වලට දමන්නට ඇති බවත් කියා බේරෙන්නට පුළුවන්ද? අලි සබි්‍ර මන්ත්‍රීතුමාගේ වයස අවුරුදු 60කි. යමක් කතාකරන විට තමාගේ වයස සහ තමාගේ තනතුර ගැන කල්පනා කර ඔහු කතාකළ යුතුය. අලි සබි්‍ර රහීම්ගේ මෝඩ ජන ගී අසන්නට රේගු නිලධාරීන් කිසිසේත්ම සූදානම් නැත. අලි සබි්‍ර රහීම් අත්අඩංගුවට ගත් රේගු නිලධාරීන් ගැන අපට විශාල ගෞරවයක් තිබේ. ඕනෑ නම් ඩීල් එකක් දමා ඔහු මුදාහැරීමට ඔවුන්ට අවස්ථාව තිබිණ. එක රත්‍රං කිලෝ එකකින් අලි සබි්‍ර රහීම්ට බේරී යෑමටත් කස්ටම් එකට ගොඩයෑමට පුළුවන. ඒත් මේ නිලධාරීන් රත්‍රං හෝ ස්මාර්ට් ෆෝන් එදිරියේ ඇඹරුණේ නැත. ඒ පිළිබඳව අපේ ගෞරවය නැවතත් සඳහන් කරමු.

1948 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලනය අවුරුදු 70ක් ඉදිරියට පැමිණ ඇත. ඇත්තම කතාව නම් අපේ දේශපාලනය ඉදිරියට පැමිණ නැති බවත් පසුපසට ගොස් ඇති බවත්ය. පාර්ලිමේන්තුවේ සිටින වගකිව යුතු මන්ත්‍රීවරුන් 225 දෙනකුගෙන් එක් අයකු රත්‍රං සහ දුරකථන තොගයක් මෙරටට ගෙනවිත් බයිලා කියමින් බේරී යන්නට හදන්නේ නම් මේ රටේ තත්ත්වය කුමක්ද? මෙබඳු මිනිසුන් ගැන ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිටින ඡන්දදායකයන් නැවතත් කල්පනා කර බැලිය යුතුය. ඊළඟ අවස්ථාවේදී මෙතුමන්ලාට ඡන්දය දෙනවා ද නැත්නම් රත්‍රං බඩු සහ ටෙලිෆෝන් කර්මාන්තය දිගටම කරගෙන යෑම සඳහා මෙතුමන්ලා ගෙදර යවනවා ද යන කාරණය ගැන ඡන්දදායකයන් කල්පනා කළ යුතුය. සමහර විට මේ ආකාරයේ මන්ත්‍රීවරුන්ගෙන් ගමේ මිනිසුන්ට ලොකු සහයෝගයක් ලැබෙනවා ඇත. ජනී ජනයාගේ මඟුලේදී, මරණයේදී, ගේ කඩාවැටීමේදී, වැසිකිළිය ගිලාබැසීමේදී සහ විවිධාකාරයේ දුෂ්කරතාවලදී මේ මන්ත්‍රීවරුන් ජනතාවට උපකාර කරනවා විය යුතුය. එහෙත් අප රටක් වශයෙන් පස්සට ගෙනයෑමට මේ මන්ත්‍රීවරුන්ගේ චර්යාව ඉවහල් වන බව සියලු දෙනාම සිතට ගත යුතුය. මන්ත්‍රීවරයකු යනු සදාචාර සම්පන්න දේශපාලන චර්යාවක් තිබිය යුතු කෙනෙකි. රට තුළට හොර බඩු පන්නාගෙන ඒම හෝ වෙනත් ජල්බරි වැඩ කිරීම මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරයකුගේ සිරිත නොවිය යුතුය. හැම දවාලකම කොළඹ තරු පහේ හෝටල්වලින් කන ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටිති. එසේම එළවළුවක් බතක් මාළුවක් හරියාකාරව උයාගෙන කෑමට බැරි විදිහේ ඇමැතිවරු ද මේ රටේ සිටිති. ඒ මිනිසුන් අතේ හදිසියකට ගැනීමට රුපියල් දාහක් දෙදහක්වත් නැත. පොදු ජනතාවට මුදලින් උදව් කිරීමට බැරි නිසා එවැනි මන්ත්‍රීවරුන්ට හෝ ඇමැතිවරුන්ට සමාජයේ විශාල පිළිගැනීමක් හෝ තැනක් නොලැබේ. අවසන් විග්‍රහයේදී මේ මිනිසුන්ට නරක හීන නොපෙනී රැය පහන් කළ හැකිය.

අලි සබි්‍ර රහීම් මන්ත්‍රීතුමා තරුණ කොල්ලෙකු නොවේ. ඔහුගේ වයස අවුරුදු 60කි. මේ වයසට එනවිට හෝ පරෙස්සමෙන් ජීවත් වීමට එතුමා දැන නොසිටීම ලොකු ඛේදවාචකයකි. 1948 පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය පුරා මේ ඛේදවාචකය මෙසේම තිබිණ. මෙය නැතිවන දවසක රටක් වශයෙන් සදාචාරසම්පන්න ලෙස ඉදිරියට යෑමට අපට හැකිවනවා ඇත.

ඊයේ (25) කතුවැකිය පිළිබඳවයි

කෝටි අටක් පමණ වටිනා රත්‍රං සහ ලක්‍ෂ 42ක ජංගම දුරකථන තොගයක් මෙරටට රැගෙන එමින් සිටිය දී අලි සබි්‍ර රහිම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්වීම අලලා ඊයේ (25දා) අප පුවත්පතේ පළවූ කතුවැකියේ දී 1978 දී එවැනිම චෝදනාවකට ලක්ව මන්ත්‍රී ධුරය අහිමි කරගත් අනුර ඩැනියෙල් මහතාගෙන් පසු පුරප්පාඩු වූ හේවාහැට මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රියානි ඩැනියල් පත් කරනු ලැබුයේ අතුරු මැතිවරණයකින් නොව, පක්‍ෂය මගින් නම් කළ අයකු හට මන්ත්‍රී ධුරය පිරිනැමීමට එකළ තිබූ ව්‍යවස්ථාමය හිමිකම ඔස්සේ බවට නිවැරැදි විය යුතුය. ඒ අනුව ශ්‍රියානි ඩැනියල් එජාපය මගින් නම් කොට පත්කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment