රේගුවේ ඉබිගමනින් කන්ටේනර් පෝලිම්

284

වාප්පු ලිපිකරුවන් එන්නේ පරක්කු වෙලා – රේගු නිලධාරීහු

පෝලිම් හැදෙන්නේ යල් පැන ගිය ක්‍රම නිසයි – වාප්පු ලිපිකරුවෝ

භාණ්ඩ නිෂ්කාශනයේ දී ශ්‍රී ලංකා රේගුවේ පවතින යල්පැන ගිය ක්‍රමවේද නිසා මෙරටට ආනයන කරන භාණ්ඩ නිදහස් කර ගැනීම් ප්‍රමාදවී ඔරුගොඩවත්ත හා ග්‍රෑන්ඩ්පාස් කන්ටේනර් අංගණවල ඊයේ (11 දා) ඉතා දිගු කන්ටේනර් පෝලිම් නිර්මාණය වී තිබිණි. මේ නිසා ආනයනික භාණ්ඩ නිදහස් කරගත නොහැකිව ආනයනකරුවෝ දැඩි අසීරුතාවට ලක්ව සිටියහ.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත් සිල්වා මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේ දී ඒ මහතා කියා සිටියේ වාප්පු ලිපිකරුවන් සෑම දිනකම පාහේ උදය වරුවේ සේවයට වාර්තා නොකිරීම නිසා කලක සිට රේගු නිෂ්කාශන කටයුතු ප්‍රමාද වන බවය.

ශ්‍රී ලංකා රේගුවට අනුයුක්තව වාප්පු ලිපිකරුවන් හයදහසක් පමණ සිටින බවත් ඔවුන් තමන්ට ඉටුකළ නොහැකි තරම් වැඩ ප්‍රමාණයක් භාරගෙන රෑ වන තුරු වැඩකරන බවත් ඒ මහතා කීය.

මෙරටට ගෙන එනු ලබන භාණ්ඩ ඇතුළත් කන්ටේනර් සියල්ලම ඔරුගොවත්ත හෝ ග්‍රෑන්ඩ්පාස්වල තිබෙන කන්ටේනර් අංගණ වෙත ගෙනා පසු ඒවායේ අඩංගු බඩු බිමට ගෙන අදාළ ලියකියවිලි සකසන්නේ මෙම වාප්පු ලිපිකරුවන් විසිනි.

වාප්පු ලිපිකරුවන් ඇතුළු සෑම සේවකයකුම පෙරවරු 8.30 ට රාජකාරිවලට කැඳවා තිබුණත් වාප්පු සේවකයන් සේවයට වාර්තා කරන්නේ පැය ගණනක් පමාවී යැයි ද රේගු නිලධාරීහු චෝදනා කරති.

වාප්පු ලිපිකරුවන්ට එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් ආනයන අපනයන නිෂ්කාශන සංගමයේ සභාපති උවලේඩ් සම්සුඩීන් මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ එම චෝදනාව ප්‍රතික්‍ෂේප කරන බවයි. වාප්පු ලිපිකරුවන් ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රියත් පහුවී අලුයම දක්වා රාජකාරී කරන බවත් එවැනි අවස්ථාවක පෙරවරු 8.30 ට යළි රාජකාරිවලට පැමිණීමට නොහැකි බවත් ඔහු කීවේය.

ස්කෑන් යන්ත්‍ර මගින් ආනයනික කන්ටේනර්වල අඩංගු භාණ්ඩ පරීක්‍ෂාවලට ලත් කළ හැකිව තිබිය දී සෑම කන්ටේනරයකම අඩංගු භාණ්ඩ එකින් එක බිමට ගෙන පරීක්‍ෂාවට ලක් කිරීම නිසා මෙම ප්‍රමාදයන්වලට හේතුවන බව ද ඔහු කීවේය.

එනිසා මෙම ප්‍රමාදයන් වැළැක්වීමට නවීන ක්‍රම භාවිත කළ යුතු බවත් රේගු ප්‍රධානීන් වාප්පු ලිපිකරුවන් ඉලක්ක කොට කරන චෝදනාව ප්‍රතික්‍ෂේප කරන බවත් ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ, ඡායාරූපය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment