රේගුවේ වාහන පෙන්වලා කෝටි ගණන් මුදල් ගරලා!

298

රේගුව විසින් වෙන්දේසි කිරීම සඳහා වෙන්කර ඇති විදේශවලින් ගෙනෙන ලද වාහන අඩු මිලකට මිලදී ගත හැකි බව කියමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කළ පුද්ගලයෙකු පොලිස් වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

තමා රේගු නිලධාරියකු යැයි කියමින් මෙම පුද්ගලයා මෙසේ පුද්ගලයන් රවටා මුදල් ලබාගෙන ඇත්තේ රේගු දෙපාර්තමේන්තුවේ අමුත්තන් සඳහා වෙන්කළ ස්ථානය තුළදී බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. මෙම පුද්ගලයාගේ වංචාවට අවසන් වරට හසුවී ඇත්තේ බැංකු නිලධාරියෙකි.

රුපියල් ලක්‍ෂ 35ක් මුලින්ම ගෙවා වාහනය ලබා ගන්නා අවස්ථාවේදී ඉතිරි මුදල් අයකරන කොන්දේසිය පනවමින් මෙම සැකකරු මෙසේ මුදල් ලබාගෙන ඇත.

මුදල් ගෙවීමෙන් පසු බැංකු නිලධාරියා වෙත සැකකරු භාරදුන් කොන්දේසි අඩංගු ලියවිල්ල පිළිබඳව සැක පහළ වීම නිසා ඔහු ඒ ගැන පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර තිබේ. පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් රේගුවට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයකු බවත් අනාවරණය වී තිබේ.

මොහු සම්බන්ධව පැමිණිලි දෙකක් දැනට ලැබී ඇතැයි පොලිස් වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. මොහුගේ මෙම වංචාවට හසුවූ පුද්ගලයන් වෙතොත් වංචා විමර්ශන කාර්යාංශයට පැමිණ පැමිණිලි කරන ලෙසද පොලිසිය ඉල්ලීමක් කරයි.

මේ වන විට සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment