රේගු පත්වීම් දෙන බව කියා මුදල් ගරන වංචනිකයන්ට අහුවෙන්න එපා

41

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට සහකාර රේගු අධිකාරීවරුන් සහ රේගු පරීක්ෂකවරුන් බඳවා ගැනීම සඳහා මේ දිනවල කටයුතු කරගෙන යන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් තරග විභාගයක් පවත්වා වැඩිම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව බඳවා ගන්නා බවත්, වංචනික පුද්ගලයන් මෙම අයදුම්කරුවන් සොයා ගොස් ඔවුන්ගෙන් මුදල් ලබාගෙන මෙම පුරප්පාඩු සඳහා රැකියා ලබා දෙන බවට ගෙන යන කූට වැඩපිළිවෙළක් තමන්ට හෙළි වී ඇති අතර එවැනි වංචනිකයන්ට හසු නොවන ලෙසත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් එම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට සහකාර රේගු අධිකාරීවරුන් සහ රේගු පරීක්ෂකවරුන් බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පසුගියදා විභාගයක් පවත්වා තිබේ. එයින් වැඩිම ලකුණු ලබාගත් අපේක්ෂකයන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් සිදු කර තිබේ.

එහිදී ඔවුන්ගේ අධ්‍යාපන සහතික පත් පරීක්ෂා කිරීම සිදු කෙරෙන අතර ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා සුදුසුකම් පරීක්ෂා කිරීම යටතේ ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් ලබා ඇති ක්‍රීඩා ජයග්‍රහණ වෙනුවෙන් ලකුණු 05 ක උපරිමයකට යටත්ව ලකුණු ලබා දීමට ද පියවර ගෙන තිබේ.

මෙම ක්‍රියාදාමයෙන් පරිබාහිරව කිසිදු ආකාරයකින් රේගු දෙපාර්තමේන්තුවට නිලධාරීන් බඳවා නොගන්නා බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරයි. එහෙත් වංචනික පුද්ගලයන් ඇතැම් අයදුම්කරුවන් සොයා ගොස් ඔවුන්ගෙන් මුදල් ලබාගෙන මෙම රැකියා ලබාදිය හැකි බව පවසන බවට තම දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති බවත් මෙවැනි වංචනිකයන්ට හසු නොවන ලෙසත් එම නිවේදනය මගින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටී.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment