රොටි තැටියේ පිළිස්සෙන කඳුකරයේ වතු කම්කරුවෝ

774

19 වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ විසූ කම්කරු ප්‍රජාවගේ ජීවන තත්ත්වය දෙවැනි වූයේ අප්‍රිකානු වහලුන්ගේ ජීවන තත්ත්වයට පමණක් බව කියනු ලැබේ. එකී බ්‍රිතාන්‍ය කම්කරුවාගේ ජීවන මට්ටම ආහාර නමැති සාධකය මගින් විග්‍රහ කිරීමට කාල් මාක්ස් ට හැකි විය. මාක්ස් කියන පරිදි එකල බ්‍රිතාන්‍ය කම්කරුවාගේ ආහාරය පළමුවත් අර්තාපල්ය; දෙවනුවත් අර්තාපල්ය; තෙවනුවත් අර්තාපල්ය. අර්තාපල් නැති කලට එම තැන ගෝවා වලට හිමිවෙයි. ඔවුහු උදේට ගෝවා සුප් එකක් බොති. මේ සඳහා ගෝවාත් වතුරත් ලුණුත් පමණක් ප්‍රමාණවත්ය. ඔවුන් දවල්ට කන්නේ තැම්බූ ගෝවාය. මෙහිදීද ගෝවා, වතුර, ලුණු යන ද්‍රව්‍යය තුන යොදාගනු ලැබේ. ඔවුහු රාත්‍රී කාලයේදී යළිත් ගෝවා සුප් එකක් බොති. අර්තාපල් පිළිබඳ කෑම වට්ටෝරුවද මෙයමය. එකල බ්‍රිතාන්‍ය කම්කරුවා දවසකට පැය 12 ක් හෝ 18 ක් වැඩ කළ යුතු විය. සතියකට වැඩ කරන දවස් හයක් තිබිණ. මහන්සි වී ගෙදර එන කම්කරුවා රාත්‍රී කාලයේදී හොරට පෙරන මත් පැන් හෙවත් moon shine පානය කර පළමුව බයිට් එකටත්, දෙවනුව රාගය පිටකර ගැනීමටත් සිය බිරිඳ යොදා ගත්තේය. මෙය එක්තරා නාගරික model එකකි. මේ model එක 1920 පමණ වනතුරුත් ඒ ආකාරයෙන්ම පැවති අතර ටිකෙන් ටික බ්‍රිතාන්‍ය කම්කරු පන්තිය ආර්ථික වශයෙන් ඉහළට යෑමෙන් පසු ඔවුන්ගේ ආහාරයට මස්, පාන් සහ බටර් එකතු විය. නූතන බ්‍රිතාන්‍ය කම්කරුවා ශ්‍රී ලංකාවේ ඉහළ මධ්‍යම පාන්තික ධනපති සමාජය හා සමානය. අද ලන්ඩනයේ වෙසෙන හැම කම්කරුවකුටම කාර් එකක් සහ ගෙයක් හිමිය.

බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයා ශ්‍රී ලංකාව අත්පත් කරගැනීමෙන් පසු කඳුකරයේ තේ වැවීම සඳහා කම්කරුවන් ලෙස එන්නැයි සිංහලයන්ට කතා කළේය. එහෙත් අත්තමට මිස කුලියට වැඩකර පුරුද්දක් නැති සිංහල මිනිස්සු එම ඉල්ලීමට අවනත නොවූහ. සිංහල මිනිස්සුන්ගේ න්‍යාය මෙසේය. බ්‍රිතාන්‍ය තේවතු හිමියන්ගේ තේ වතුවල සිංහලයන් වැඩට යනවා නම් ඒ සඳහා කුලියක් අය කරනු නොලැබේ. ඒ වෙනුවට සිංහලයන් කුඹුරු කරන කාලයට තේ වතු හිමියන් ඒවායේ අත්තමට වැඩකළ යුතුය. එහෙත් සුදු වතුකාරයන් අර්ථපතියන් පමණක් වූ බැවින් සිංහලයන්ගේ කුඹුරුවල අමුඩ ගසාගෙන වැඩ කිරීම විහිළුවක් හා සමාන විය. ඒ අනුව ඉතා ලාභෙට දකුණු ඉන්දියාවෙන් දෙමළ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වන ලදී. එය ඉතා ශෝකජනක කතාවකි.

ඉන්දියාවෙන් වරකට දෙමළ කම්කරුවන් දාහක් පමණ නැවට පටවන ලදී. කොළඹ වරායෙන් බසින ඔවුන් කඳුකරයට ගමන් කළේ දෙපයිනි. මේ සඳහා මාසයක් හෝ ඊට වැඩි කලක් ගතවිය. මෙම ගමනේදී දෙමළ කම්කරුවන් 250 ක් පමණ කොලරාවෙන් මිය ගියහ. තවත් 250 ක් මැලේරියාවෙන් මිය ගියහ. තවත් සීයක් සර්ප දෂ්ටන වලින් මිය ගියහ. ඇත්තම කතාව නම් එක සුද්දෙකුට තේ වත්තක් සඳහා අවශ්‍යව තිබුණේ 400 ක් පමණ වූ පිරිසකි. එහෙත් සුද්දා ඉන්දියාවෙන් වරකට දෙමළ කම්කරුවන් දාහක් නැවට පටවන්නේ වත්තට යනවිට එයින් 600 ක් මගදී මැරෙන බව දැන සිටි නිසාය. මේ කෲර කතාව ඔබ මීට පෙර අසා තිබේද? අවසානයේදී වත්තේ පොල් අතු මඩු ගසාගෙන පැලපදියම් වන දෙමළ කම්කරුවන්ට හැම වේලකටම කන්නට සිදුවුණේ රොටියකි. ඒ කම්කරු ගැහැනු සහ කම්කරු පිරිමි දවසකට පැය 20 ක් පමණ වැඩ කළහ. ඔවුන් උදේට අනුභව කළේ තිරිඟු පිටි වලින් සෑදූ රොටියකි. දවල්ට කෑවේද රොටියකි. රෑට කෑවේද රොටියකි. ඒ නිසා ශ්‍රී ලංකාවේ වතුකර දෙමළ කම්කරු පන්තියේ ආහාරය පළමුවත් රොටීය; දෙවනුවත් රොටීය; තෙවනුවත් රොටීය. බ්‍රිතාන්‍ය කම්කරු පන්තිය කාලයාගේ ඇවෑමෙන් අද වනවිට අර්තාපල් සහ ගෝවා අත්හැර දමා ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ දෙමළ කම්කරු පන්තිය මේ රටට පැමිණ ශත වර්ෂ දෙකක් පමණ ගත වෙලාත් අදටත් කන්නේ රොටීමය. ඔවුන්ට කාර් නැත. ලයින් කාමර මිස ගෙවල් නැත. ඔවුන්ගේ ජීවිතවල ආර්ථික සමෘද්ධිය ඇතිවී ඇත්තේ ඉතා සුළු වශයෙන් පමණි.

ඉහත සඳහන් ඡේද දෙක අප විසින් ලියන ලද්දේ වතුකරයේ පිටි මිල තවමත් රුපියල් හාරසිය ගණන්වලම පවතින බැවිනි. එය අදටත් රොටී කන දෙමළ වතු කම්කරුවන්ට ලොකු ප්‍රශ්නයක් වී තිබේ. පසුගිය දිනවල මේ රටේ පිටි මිල කිලෝව රුපියල් 250 ක් පමණ වනතුරු පහත බැස්සේය. ඊට කලින් සමහර තැනක පිටි කිලෝව රුපියල් 485 ක් විය. ඇතැම් තැනක රුපියල් 450 කි. තවත් තැනක රුපියල් 425 කි.

වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් දහසක් හෝ ඊට අඩු ගණනකි. වතු කම්කරු පවුලක මව සහ පියාත්, මවගේ පවුලේ තවත් කිහිපදෙනකුත්, පියාගේ පවුලේ කිහිපදෙනකුත්, දූදරුවන් හතර පස් දෙනකුත් සිටින අවස්ථා තිබේ. මෙවැනි කටවල් ගොඩකට කන්නට දීම සඳහා දිනකට පිටි කිලෝ තුනක් පමණ අවශ්‍යය. වතු කම්කරු පවුලක සැමියා සහ බිරිඳ යන දෙදෙනාම වත්තේ වැඩකරන බැවින් ඔවුන්ගේ දෛනික ආදායමේ එකතුව රුපියල් දෙදහසක් පමණ වේ. එයින් රොටී සෑදීම සඳහා පමණක් දවසකට රුපියල් 1500 ක් පමණ වැය වේ. ඒ අනුව කෑම හැර අන් දෙයක් කිරීම සඳහා වතු කම්කරුවන්ට දෛනිකව ඉතිරි වන්නේ රුපියල් 500 ක් වැනි මුදලකි. එසේ නම් තර්කයක් වශයෙන් ගත්කල දහ දෙනකුගේ පමණ සාමාජිකත්වයක් ඇති වතු කම්කරු පවුලකට භාගයක් හෙළුවැල්ලෙන් සිටීමට සිදුවේ. පිටි මිල අඩුවූ නිසා කොළඹ සහ සෑම නාගරික ප්‍රදේශයකම පාන් බනිස් ඇතුළු පිටි ආහාරවල මිල අඩුවෙමින් පවතී. එහෙත් වතු කම්කරුවන්ට පිටි මිල අඩුවීමේ සහනය ලබාදීමට කඳුකරයේ වෙසෙන ප්‍රාදේශීය පිටි ජාවාරම්කරුවෝ ඉඩ නොදෙති. ආර්ථික අසහනය නමැති සාධකය බෝම්බයක් ලෙස පුපුරා ගොස් මිනිසුන් වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ මෙන්න මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම පැවතුන විටය. එබැවින් කඳුකරයේ පිටි මිල අඩුකරදී මේ රටේ තේ කර්මාන්තය වෙනුවෙන් පරම්පරා ගණනාවක ජීවිත දියකළ වතු කමකරුවන්ට සහනයක් දෙන ලෙස අපි රජයෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment